මැතිවරණ උණුසුමත් සමඟ මේ දිනවල ඓතිහාසික සෙංකඩගල පුරවරය උණුසුම් කරමින් කන්ද උඩරට නිලමේවරුන් අතර නව පූජනීය ධුරයක් සඳහා පවත්වන්නට යෙදී තිබෙන නිලවරණයක තරගකාරී උණුසුම් තත්ත්වයක් උද්ගත වී තිබේ.
ශ්‍රී දළදා වහන්සේගේ ඓතිහාසික උරුමයක් හා ගිහි භාරකාරත්වය හිමිව තිබෙන දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුරු සඳහා මෙම උණුසුම් තරගකාරී වාතාවරණය හටගෙන ඇත.
දෙස් විදෙස් බොහෝ දෙනකුගේ විශේෂ අවධානයකට යොමුව තිබෙන ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය ලොව පුරා ප්‍රචලිතව ඇත්තේ වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර හේතුවෙනි.
සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි විහාර පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන්ගේ පැවිදි භාරකාරත්වයට පත්ව ශ්‍රී දළදා වහන්සේගේ එකී පැවිදි භාරකාරත්වයට අමතරව ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් භාරකාරත්ව ධුරයට අදාළ ගිහි ප්‍රභූවරයාගේ සේවාව ද නිතැතින්ම ලැබෙයි.
එම ධුරයේ වර්තමාන නිල කාලය 2025 වසරේ සැප්තැම්බර් මස 02 වැනි දින අවසන් වීමට නියමිතව ඇත. දියවඩන නිලමේවරයාගේ නිල කාලය අවසන් වීමත් සමඟ එම ධුරයට නව දියවඩන නිලමේවරයකු තෝරා පත්කර ගන්නා තෙක් ධුරයේ වැඩ බැලීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් දළදා මාලිගාවේ පරිපාලන කටයුතු සහ දළදා වහන්සේගේ භාරකාරත්වයට වැඩ බලන දියවඩන නිලමේවරයකු පත් කරනු ඇත.
නව දියවඩන නිලමේවරයකු තෝරා පත්කර ගැනීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අධීක්ෂණය යටතේ ඡන්ද විමසීමක් ද සිදු කෙරෙයි. එම ඡන්දය ලබාදීමේ හිමිකම දිස්ත්‍රික්ක 18 ක ප්‍රාදේශීය ලේකම්වරුන්ට ද ලැබෙති.
1931 අංක 19 දරණ විහාර දේවාලගම් පනතේ ප්‍රකාර 4/01 වගන්තිය යටතේ පාලනය වන ලංකාවේ බෞද්ධ සිද්ධස්ථානවල සියලුම ගිහි (දේවාලවල) පැවිදි භාරකරුවන්ටද දියවඩන නිලමේවරයකු පත් කිරීම සඳහා ඡන්ද බලය හිමිව තිබේ.
සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි මහා විහාර පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන්ටද උන්වහන්සේලාගේ පාර්ශ්වයට අයත් බෞද්ධ සිද්ධස්ථානයන්හි විහාරාධිකාරී හා භාරකාරත්වය හිමි පැවිදි පාර්ශ්වයට ද මෙම ඡන්ද ප්‍රකාශ කිරීමට අයිතිය ඇත.
ඌව පළාත, මධ්‍යම පළාත, සබරගමු පළාත, මාතර මොරවක් කෝරළේ හිනිදුම්පත්තුව (ගාල්ල) සහ උතුරු පළාතේ වවුනියාව සිංහලපත්තුව යන ලේකම්වරුන්ටද ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිව තිබේ.
අභිනව දියවඩන නිලමේවරයකු පත්වීම සඳහා ඒ අනුව ඡන්ද 310 ත් 318 ත් අතර ප්‍රමාණයක් ලබාගත යුතුව ඇත.
ඓතිහාසික සබරගමුව ශ්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේ ධුරය ද ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරය ද හොබවා පසුව මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට පත්වූ නිලංග දෑල මේ වන තෙක් එම ධුරයේ කටයුතු කරමින් සිටී.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට අනුබද්ධිත සිව්මහා දේවාල වූ ශ්‍රී කතරගම දේවාලයේ වත්මන් බස්නායක නිලමේ (පස්ගම දේවාලයේද බස්නායක නිලමේ ධුරය දරයි) දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා ද, මහනුවර ඓතිහාසික ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ අධිකාරම් වලව්වේ සරත් බණ්ඩාරනායක මහතා ද මෙවර දියවඩන නිලමේ තරගයට ඉදිරිපත් වී සිටිති.
තවත් ඍජුව ඉදිරිපත් නොවූ කිහිප දෙනෙක් තමන් උඩරට ප්‍රභූ පවුල්වල සාමාජිකයන් බව පවසමින් දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණයට ඉදිරිපත් වන බව පවසති. කෙසේ වෙතත් දියවඩන නිලමේ ධුරය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් මෙම ධුරය ලබාගැනීම සඳහා අත දිගහැර මුදල් වියදම් කිරීමක් සිදු කරන බව නම් ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය විය.
ඍජුව මෙම ධුරය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් ලෙස ප්‍රසිද්ධියේම මේ දිනවල රට පුරා ඇවිදිමින් ඒ ඒ සිද්ධස්ථාන වෙත යන එනු ලබන්නේ, ඡන්දයට හිමිකම් ඇති ප්‍රාදේශීය ලේකම්වරු හමුවන්නේ ඉතා ප්‍රසිද්ධ චරිත තුනකි. එනම් ප්‍රදීප් නිලංග දෑල, සරත් බණ්ඩාරනායක සහ දමින්ද උඩුරාවණ යන මහත්වරුන් බව මේ ලිපිය සකසන අවස්ථාවේද දැනගන්නට ලැබිණි.
දැනට මෙම ඓතිහාසික තනතුර සඳහා රජයේ බලපෑමක් හෝ දේශපාලන වශයෙන් අතපෙවීමක් සිදුව නැති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය විය.
මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්ටත්, ඒ ඒ විහාරස්ථාන භාරකාරත්වයටත්, දේවාලවල බස්නායක නිලමේවරුන්ටත් සිතැඟි පරිදි මෙම නිලවරණයේදී තමන් කැමැති නිලමේ අපේක්ෂකයාට ඡන්දය ලබාදීමට අවස්ථාව උදා වෙයි.
ප්‍රබල ව්‍යාපාරිකයන්, ඉඩම් හිමියන්, මැණික් ව්‍යාපාරිකයන්, වාහන සේල් ආයතන හිමිකරුවන්, විදෙස් රටවලින් ඖෂධ ව්‍යාපාරයට සම්බන්ධ වූවන්, තමන්ට අතීතයේ උඩරට රදළ පරම්පරාවෙන් උරුමයක් ඇතැයි පවසන ප්‍රභූ පවුල්වල සම්බන්ධතා ඇතැයි කියන පුද්ගලයන් සහ ශ්‍රී දළදා වහන්සේ මෙරටට වැඩමවූ හේමමාලා කුමරියගේ ලේ උරුම ඥාතිත්වයක් ඇති බව පවසන පරපුරෙන් පැවත එන්නන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට හිමිකම් කියමින් නිලවරණයට ඉදිරිපත් වී සිටිති.
• ජේ.ඒ.එල්. ජයසිංහ