සාමාන්‍යයෙන් බැංකුවකට යන්නේ මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් ගනුදෙනුවක් සඳහාය. දැන් ලාංකිකයන්ට ශුක්‍රාණු ගනුදෙනු කිරීමටත් බැංකුවකට යාමට පුළුවන. එහි විශේෂත්වය නම් දායකයා සදාකාලික රහසක් බවට පත්වීමයි. මේ බැංකුව පිහිටා තිබෙන්නේ බොරැල්ලේ කාසල් කාන්තා රෝහලේය. එම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් කුමාර දන්තනාරායන සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව මෙය බවයි.
මේ හරහා දරුඵල අහිමි මඳසරු කාන්තාවන්ට දරුවන් ලබා ගැනීමට හැකියාව පවතී. දරුවන් අහිමිවීම මවකගේ මෙන්ම පියාගේද මානසිකත්වයට විශාල පීඩාවක් එල්ල කරන ගැටලුවකි. එමෙන්ම විවාහයෙන් පසු එළඹෙන පවුල් ජීවිතයේ ගැටලු රැසක් මේ නිසා මතු වේ. මේ වනතෙක් ලංකාවේ පෞද්ගලික රෝහල්වල වෙනත් දායකයන්ගෙන් ශුක්‍රාණු සහ ඩිම්බ ලබාගෙන දරු උපත් ලබාදුන්න ද ඒවා තැන්පත් කර අනාගත භාවිතයට තබා ගැනීමක් නිල වශයෙන් සිදු වුණේ නැත. කාසල් රෝහලේ ශුක්‍රාණු බැංකුවේ විද්‍යාත්මකව අධි ශීත වටපිටාවක ශුක්‍රාණු තැන්පත් කර සුදුසු මඳසරු මව්වරුන්ට වෛද්‍ය උපදෙස් මත ලබාදීම සිදුවේ.
කාසල් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් කුමාර දන්තනාරායන මේ ගැන පවසන්නේ මෙසේය:
“ලංකාවේ පසුගිය කාලෙ උපත් අනුපාතය අඩුවී ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා. මේක සේවයක් හැටියට සලකන්න කියලයි අපි ඉල්ලා සිටින්නෙ. පියවරුන්ගෙන් මේ බැංකුවේ තැන්පත් කිරීමට ලැබෙන ධාතු අපි පාවිච්චි කරන්නේ දරුවන් නැති අම්මලාට දරුවන් ලබාදීමටයි. මේක ඉතාමත්ම රහසිගතව සිදුවෙනවා. කවුරුත් දන්නෙ නෑ කාගෙ ධාතු ලැබුණද කියලා. කාගෙවත් පෞද්ගලිකත්වයට කිසිම ගැටලුවක් වන්නෙ නෑ. ධාතු බැංකුව පසුගිය කාලේ ඉතා සාර්ථකව පවත්වාගෙන ගියා. මඳසරුභාවය තියෙන අම්මලාගේ බලාපොරොත්තු ඉටුකරලීමට ඉන් හැකියාව ලැබෙනවා.
ශුක්‍ර ධාතු ලබාදීමට කැමති පියවරුන් පරීක්ෂණ කිහිපයකට පෙනී සිටිය යුතුයි. මුලින්ම HIV සහ හෙපටයිටීස් පරීක්ෂණ කරනවා. තෝරා ගැනීමෙන් පසුව මාස තුනකින් යළිත් එම පරීක්ෂණ කරනවා. ලේ වර්ගය ගැන බලනවා. ඊට පසුවයි ශුක්‍ර ධාතු ලබාගෙන තැන්පත් කරන්නෙ. පියවරුන්ගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා ජාතිය වෙනුවෙන් මේ කාර්යයට දායක වන්න කියලා.”
මෙවැනි ක්‍රමයක් පැවතීමෙන් සරුභාවය පිළිබඳ අභියෝගවලට මුහුණදෙන විවාහක යුවළ සඳහා නව බලාපොරොත්තුවක් ලබා දේ. ශුක්‍රාණු බැංකුවකින් සිදුවන්නේ කෘත්‍රිම සංචනය හෝ අභ්‍යන්තර ගැබ්ගැනීම (IVF) වැනි සරුභාවය පිළිබඳ ප්‍රතිකාර සඳහා භාවිත කිරීමට පරිත්‍යාග කරන ලද ශුක්‍රාණු එකතු කිරීම, ගබඩා කිරීම සහ සැපයීමයි.
පිරිමි වඳභාවය පිළිබඳ ගැටලු සහිත පිරිමින්ට හෝ ගැබ් ගැනීමට අපේක්ෂා කරන තනිකඩ කාන්තාවන් සහ ජෝඩු සඳහා සහාය වීම වෙනුවෙන් මෙම බැංකු ලොව පුරා බහුලව භාවිත කෙරේ.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් කුමාර දන්තනාරායන ප්‍රකාශ කර ඇත්තේ කාසල් රෝහලේ මෙම සේවාව දැඩි පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය යටතේ ක්‍රියාත්මක වන බවයි. ඒ පිළිබඳ වැඩි විස්තර 0112678599/ 0112672216 යන දුරකථන අංකවලින් කාසල් රෝහල ඇමතීමෙන් ලබාගත හැකිය. පරිත්‍යාගශීලීන්ගේ පෞද්ගලිකත්වය සහ ලබන්නාගේ රහස්‍යභාවය යන දෙකම සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බවට රෝහල සහතික වෙයි.
ලෝකයේ වෙනත් රටවල ශුක්‍රාණු බැංකුවක ශුක්‍රාණු තැන්පත් කිරීමට නම් පරිත්‍යාගශීලියකු සපුරාලිය යුතු දැඩි නිර්ණායක කිහිපයකි. ඔවුන් ඒඩ්ස් වැනි සමාජ රෝග තිබෙන්නේ දැයි පරීක්ෂාවට ලක්වන අතර ශුක්‍රාණු සරුභාවයෙන් යුක්ත ද යන්න ද පරීක්ෂා කෙරේ.
දරු ඵල ප්‍රමාවීමට කාන්තාවගේ වගේම පුරුෂයාගේ රෝග තත්ත්වයන්ද බලපායි. සාමාන්‍යයෙන් 15% ක පමණ පිරිසකට මඳසරු බව තිබෙන අතර ඉන් 1/3 කටම හේතුව පුරුෂයාගේ ශුක්‍රාණුවල ගැටලු බව හෙළි වී තිබේ. තවත් 1/3 කට හේතුව පැහැදිලිව සොයා ගැනීමට නොහැකිය. කාන්තාවගේ රෝග තත්ත්වයන් ඉතිරි 1/3 කට බලපායි. මේ නිසා එවැනි සරුභාවය සහිත ශුක්‍රාණු අහිමි සැමියන් සිටින කාන්තාවන්ට මෙම බැංකුවෙන් සරු ශුක්‍රාණු ලබාගෙන දරුඵල ලබාගත හැකිය.
පුරුෂයකුගේ සරු බව රඳා පවතින්නේ ලිංගික එක්වීමේදී පිටවෙන ශුක්‍ර තරලයේ අඩංගු වෙන ශුක්‍රාණු ප්‍රමාණය සහ ඒවායේ ගුණාත්මක බව මතය. ඒ නිසා පුරුෂ මඳසරු බව සොයා බැලීමට ප්‍රධාන වශයෙන් සිදු කරන පරීක්ෂාව තමයි Seminal Fluid Analysis (SFA). ශුක්‍රාණු පරීක්ෂාව නැතිනම් sperm test කියලා හඳුන්වන්නෙත් මෙම පරීක්ෂණයම වේ. ශුක්‍ර තරල පරීක්ෂණ වාර්තාවට අනුව ශුක්‍ර තරලය මිලි ලීටරයකට ශුක්‍රාණු මිලියන 15 කට වඩා පවතී නම් එය සාමාන්‍ය ලෙස සැලකේ. ඊට අමතරව එම ශුක්‍රාණුවල ගුණාත්මක බව පිළිබඳවත් මෙම වාර්තාවේ කරුණු අඩංගු වේ.
ඇමෙරිකාවේ තිබෙන ශුක්‍රාණු බැංකුවක සතියකට දෙපාරක් පමණ ශුක්‍රාණු ලබා දෙන කෙනකුට මාසයකට ලක්ෂ දෙකකට අධික මුදලක් හිමිකර ගත හැකිය. ශුක්‍රාණු බැංකුවකින් ශුක්‍රාණු මිලදී ගන්න අයට ඒ වෙනුවෙන් එක වරකට 50,000 ත් 175,000 ත් අතර මුදලක් වැය වේ. ඒත් මේ විදියේ ශුක්‍රාණු බැංකුවකට ශුක්‍රාණු ලබා දෙන කෙනකුට ඇතුළත් වීම නම් ඉතා දුෂ්කරය. ඔහුගේ වයස අවුරුදු 18 ත් 40 ත් අතර විය යුතු අතර සෞඛ්‍යසම්පන්න චරිතයක් හිමිවිය යුතුය. ඊට පසුය සෞඛ්‍ය පරීක්ෂණ සිදුකර සුදුසුද යන්න නිගමනය කරන්නේ. ලංකාවේ මෙන්ම යුරෝපා සංගමයේ ද ක්‍රියාත්මක වන නීතියට අනුව ශුක්‍රාණු තැන්පත් කළ යුත්තේ පරිත්‍යාග ලෙස පමණි. මුදලට ලබාගැනීමක් සිදු නොවේ.
ශුක්‍රාණු ප්‍රදානය යනුවෙන් අදහස් කරන්නේ පුරුෂයකු (‘ශුක්‍රාණු දායකයා’ ලෙසින් හැඳින්වේ) විසින් තම ලිංගික සහකාරිය නොවන ස්ත්‍රියක ගැබ් ගැන්වීමට භාවිත කිරීමට ඔහුගේ ශුක්‍රාණු ලබාදීමයි. තම ශුක්‍රාණු දායකත්වය නිසා බිහිවන සැම දරුවකුගේම ස්වභාවික හෝ ජීවවිද්‍යාත්මක පියා වන්නේ ශුක්‍රාණුදායකයා වුවත්, සාමාන්‍ය වශයෙන් ඔහු නීතිමය හෝ නීති ප්‍රකාර හෝ පියා ලෙස ඔහු සැලකෙන්නේ නැත. ඒ නිසාම ශුක්‍රාණුදායක පියා රහසක් සේ සැලකීමට කටයුතු කර තිබේ. මක් නිසාද යත් අලුතින් උපදින දරුවා තුළ දායකත්වය ලබාදුන් කෙනාගේ ජාන ද ඇතුළත් වන නිසාය. පසු කලෙක පිතෘක හිමිකම් ඉල්ලා සිටීමට සුදුසුකම් ලැබීමට හෝ පිතෘක බැඳීම් සඳහා වගකීම දැරීමට ඔහුට අවස්ථාවක් හිමිවන්නේ නැත.
බොහෝවිට ඇමෙරිකාවේ නම් ශුක්‍රාණු බැංකුවක් හෝ සායනයක් හෝ අනුසාරයෙන් ශුක්‍රාණු දන්දෙනු ලබන අතර, දායක නිර්නාමිකත්වය හා දාරකයන් ගණන පිළිබඳ සීමාකිරීම් ඇතුළු විවිධ වූ ප්‍රාන්තමය රෙගුලාසිවලට මෙම ආයතන යටත් වෙති. ඊට අමතරව මවක වීමට අදහස් කරන තැනැත්තියට පෞද්ගලිකව හා ඍජු ලෙසින් ශුක්‍රාණු සැපයීමෙන්, නීතිමය සීමාකිරීම් මගහැරීමට දායකයන් හා ප්‍රතිග්‍රාහකයන් විසින් සමත් වන අවස්ථා ද අසන්නට ලැබේ.
බටහිර රටවල දායක ශුක්‍රාණුවල ප්‍රාථමික ඉල්ලුම්කරුවන් වන්නේ දරුඵල අහිමි විවාහක යුවළ, සමලිංගික සේවනයේ යෙදෙන ස්ත්‍රීන්, තනිව ජීවත්වන දරුවන් අවශ්‍ය කාන්තාවෝ වෙති. ශුක්‍රාණු බැංකුවක සේවය ලබා ගැනුමේදී, බාහිර පෙනුම, පෞරුෂත්වය, ශාස්ත්‍රීය හැකියාව, ජාතිය, සහ වෙනත් බොහෝ කරුණු මත පදනම් වෙමින් ඔවුන්ගේ දායකයා තෝරාගැනීමේ අවස්ථාව ඒවා අවශ්‍ය ස්ත්‍රීන් සතු වේ. කෙසේ වුවත් ලංකාවේ නම් මේ සේවය ලබාගැනීමට සිටින්නේ විවාහක දරුවන් අහිමි යුවළ පමණි.
ඇමෙරිකාව, යුරෝපය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල ශුක්‍රාණු දන්දෙන්නන් සඳහා ක්‍රියාත්මක වෙබ් අඩවි රාශියකි. මේවායේ ලියාපදිංචි වී ශුක්‍ර ධාතු දන්දීමට හැකි අතර ඒවා සඳහා සුදුසුකම් බැලීමේදී සෞඛ්‍යසම්පන්න බව සහ ශුක්‍රාණුවල සරු බවට අමතරව පෞද්ගලිකත්වය ද විමසිල්ලට ලක් කෙරේ. ලංකාවේත් සෞඛ්‍ය හේතුවලට අමතරව මෙවැනි කරුණු ගැන විමසා බැලීම අත්‍යවශ්‍ය වේ. මක්නිසාද යත් මේ පරිත්‍යාගවලින් තවත් ජීවියකු හට ඒ පුද්ගලයාගේ ජාන හුවමාරු වන හෙයිනි. පාතාලේ චණ්ඩියකුගේ හෝ දූෂිත දේශපාලනඥයකුගේ ජාන ගියොත් එහෙම උපදින දරුවත් අපතයෙක් වීමට ඉඩ ඇති හෙයිනි.
• කුසුම්සිරි විජයවර්ධන