දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය එතෙර මෙතෙර හුදී ජනයාගේ ආදරය දිනාගත් පුණ්‍ය භූමියකි. විෂ්ණු දේවාලය විසින් සිදු කරන වර්ණවත් පෙරහර බලන්නද දෙස් විදෙස් ඈයෝ පෝලිම් ගැසෙන්නේ එකී පෙරහර වෙනස්ම ස්වරූපයක් ගැනීම හේතුවෙනි. තරුණයන්ගේ කාවඩි බැලීම ඒ අතරින් විශේෂය. බල මාළු සහ දෙල් කෑ හයේ හතරේ කාලවර්ණ තරුණයන් යකඩ ඇඟ පෙන්වමින් කාවඩි තාලයට අඩි අල්ලන හැටි එක් වරක් හෝ දුටු අයෙක් නැවත නැවත බලන්න යනවා ස්ථිරය. ඒ තරම් හැඩය. මෙවැනි තරුණයන් සිටී නම් රටේ මොනවා කරන්න බැරිදැයි දකින දකින වාරයක් පාසා සිතෙයි.
එහෙත් පසුගිය 21 දා රාත්‍රියේ ශ්‍රී විෂ්ණු දේවලායේ දකුණු වාහල්කඩ ඉදිරිපස කිරි වෙනුවට රුධිරයෙන් නැහැවී ගියේ බොහෝ දෙනා සලිත කරමිනි. හයේ හතරේ සද්දන්ත කොල්ලෝ දෙන්නෙක් මහ පාර මැද කෙසෙල් කඳන් කපා දැම්මා සේ මැරී වැටී සිටියහ. ඇඟ පුරාම ටී 56 ගිනිඅවි ප්‍රහාර දක්නට ලැබිණි.
විෂ්ණු දෙවියන්ටත් දරා ගැනීමට නොහැකි තරම් මහා හයියෙන් දෙවුන්දර දෙදරවන්න තරුණයන්ගේ මව්පියෝ නෑදෑයෝ දෙස් දොවොල් තැබූහ. ශාප කළහ. එසේ දෙස් දෙවොල් තබමින් ඒ සැවොම මේ ඝාතනය සම්බන්ධයෙන් එක් අයකු වෙත ඇඟිල්ල දිගු කළහ. ඒ වෙනත් අයකුට නොව, 1996 උපන් ශෙහාන් සත්සර නොහොත් “දෙහිගෙදර බාලේ මල්ලි” යන තරුණයාටය. මේ ඝාතනය සිදු කළේ දෙහිගෙදර පවුලේ එකී තරුණයා බවට සියල්ලෝම ඇඟිල්ල දිගු කළහ.
එහෙත් බාලේ මල්ලි සිටියේ ඩුබායි රාජ්‍යයේය. එසේ නම් බාලේ මෙම ඝාතනය සිදු කළ බව ප්‍රදේශවාසීන් කියන්නේ කෙසේද? ඒ වෙන කිසිවක් නිසා නොව, බාලේ විසින් දුරකථනය ඔස්සේ යොමේෂ් නැමැති තරුණයාට තර්ජනය කිරීම හේතුවෙනි. එක් වතාවක් බාලේ දන්වා සිටියේ යොමේෂ් සහ යොමේෂ්ගේ අම්මා තාත්තා තුන්දෙනාට සවලෙන් එකතු කරන්න ගහන (වෙඩි තියන) බවය. මේ යොමේෂ් සහ ශෙහාන් අතර නිතර නිතර පැවැති ගැටුම හේතුවෙනි. මේ සම්බන්ධයෙන් විවිධ කතා ආවේය. දෙවුන්දර ලංකාවට කුඩු එන ප්‍රධාන ස්ථානයක් නිසා බොහෝ අය සිතුවේ මෙය මත්ද්‍රව්‍ය ප්‍රශ්නයක් බවය. එසේම මියගිය යොමේෂ්ට මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ නඩුවක් මෙන්ම බාලේ මල්ලිට කුඩු මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් චෝදනාවක් තිබූ නිසා මෙය මත්ද්‍රව්‍ය අවුලක් බව බොහෝ දෙනා සැක සිතූහ.
මේ අතර තවත් කට්ටියක් කීවේ මෙම ප්‍රහාරය බාලේ මල්ලි සහ යොමේෂ් අතර පාසල් කාලයේ පටන් තිබු අඩදබරයක් බවත් ඔවුන් තරුණයන් වීමත් සමඟ තව තවත් වෛරය වැඩි වී මෙම ඝාතනය සිදු කළ බවත්ය. එසේම තවත් අය කීවේ මෙම ප්‍රහාරය කාවඩි ප්‍රශ්නයක් නිසා සිදුවූ බවය. එහෙත් මේ ප්‍රහාරය සිදුකිරීමට හේතුව ඇත්තටම දන්නේ බාලේ සහ යොමේෂ් පමණි. කෙසේ වෙතත් යොමේෂ් සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් කුණුහරුප කියමින් බාලේට බැණ වැදුණු සහ අභියෝග කළ අවස්ථා ද ඇත. මේ සියල්ල මේ ඝාතනය පසුපස ඇති බව බැලූ බැල්මට පෙනී යයි. එහෙත් ඇත්ත දන්නේ ඒ දෙදෙනා පමණි.
මෙම සිදුවීමේදී බොහෝ දෙනා ඇඟිල්ල දිගු කළේ දෙහිගෙදරට විරුද්ධවය. දෙහිගෙදර දෙවුන්දර පාලනය කරන බවත් ඒ සඳහා පොලිසියේ සහ දේශපාලනයේ සහාය නොඅඩුව ලැබෙන බවත් ඒ හැමදෙනාගේම චෝදනාව විය. කෙසේ වෙතත් අපටද දැන ගැනීමට ලැබුණේ පොලිසියේ ඇතැම් ලොකු ලොක්කෝ දෙවුන්දර පෙරහර බැලීම සඳහා රැඳී සිටින්නේ බාලේගේ නිවෙස තුළ බවය.
මෙම ප්‍රහාරය සිදුවීමට දින කිහිපයකට පෙර යොමේෂ් තම මව පියා සහ මිතුරන්ට කියා තිබුණේ බාලේ මල්ලි ලක්ෂ 50 ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවයි. ඒ තමන් ඝාතනය කිරීම සඳහා බවටය. ඒ සඳහා දෙවුන්දර සුසාන භූමියේ බිල්ඩර් නැමැත්තාට කොන්ත්‍රාත්තුව දී ඇති බවත් ඔහු සඳහන් කර තිබිණි. කෙසේ වෙතත් එම තොරතුර ලැබීමත් සමඟ යොමේෂ් දිගින් දිගටම සමාජ මාධ්‍ය හරහා දෙහිබාලේට අභියෝග කළේය. ඒ “පුළුවන්නම් ගහපං” ලෙස පවසමිනි. එකී අදහස්වලට පොහොර දැමූ මිත්‍රයෝද සිටියහ. “අඩෝ ගැහුවොත් අපි ගහන්නේ කුඩුවෙන්න” යැයි කියමින් ඔවුහු තව තවත් මේ ගින්නට පිදුරු දැමූහ. එහෙත් අද ඒ එකකු නැත.
මෙම මරණ වරෙන්තුව පැමිණීමත් සමඟ යොමේෂ්ගේ අම්මා තාත්තා ඔහුට නිතර දැනුම් දුන්නේ රාත්‍රියේ නිවෙසින් බැහැරට යෑම නවත්වන ලෙසයි. ප්‍රහාරය එල්ලවන රාත්‍රියේ යොමේෂ් සිටි මත්පැන් සාදයටද පැමිණ “දැන් ගෙදර යන්න” යැයි කියා තිබුණි. එහෙත් ඔහු එය ගණනකට ගෙන තිබුණේ නැත. අවසානයේ රාත්‍රී 11.30 පසුවී යොමේෂුත්, ඔහුගේ මිතුරා වන පසිඳුත් යතුරුපැදියේ නැගී නිවෙස බලා පිටත් වී තිබුණේ වෙරි මතිනි. යතුරුපැදිය පණගන්වා පිටත් වීමත් සමඟ ඒ පසුපසින් වෑන් රථයක් හඹා ආ අතර එම වෑන් රථය යතුරුපැදියේ හප්පා දෙදෙනා අනතුරට ලක්කර තිබුණි. දෙදෙනා අනතුරට පත්වී බිම වැටෙනවාත් සමඟ මි.මී 9 ගිනි අවියකුත් ටී 56 ගිනි අවියකුත් එකදිගට පත්තු වූයේ දෙදෙනාට හිතාගන්නවත් බැරි ලෙසය. යොමේෂ් දුවන්නට උත්සාහ කළ ද එකදිගට වදින වෙඩි වරුසාව නිසා බේරෙන්නට නොහැකි විය. කෙසේ වෙතත් මෙහි වඩාත් හද කම්පා කරවන සිදුවීම නම් කුරා කූඹියකුට වරදක් නැති පසිඳු ඝාතනය වීමයි.
වෙඩි තැබූ පිරිස වහාම එතැනින් පිටත්ව ගොස් මීටර් 800 ක් දුරකින් වෑන් රථය අතහැර දමා ගිනිබත් කළහ. එසේ ගිනිබත් කර මාර්ගය ඔස්සේ යාම වෙනුවට එතැනින් මුහුදට බැස බෝට්ටුවෙන් තවත් ප්‍රදේශයකට පලා ගියහ. එතැන් සිට ගොඩබිම හරහා මෝටර් රථයකින් විවිධ ප්‍රදේශවලට පලා ගිය බව කියැවෙයි.
මෙම සිදුවීමෙන් පසුව අවශ්‍ය මොහොතේ නැති පොලිසිය ස්ථාන පරීක්ෂාව සඳහා එම ස්ථානයට පැමිණ තිබුණි. ජනාධිපතිවරයා කට කැඩෙනකල් කියා තිබියදීත් රාත්‍රී මුර සංචාර නොදමා අපරාධකරුවන්ට නිදහසේ යාමට ඉඩකඩ සලසා දුන් පොලිසිය ඝාතනයෙන් පසුව එම ස්ථානයට පැමිණියේය. මෙහිදී ඝාතකයන් ප්‍රථමයෙන්ම යොමේෂ්ලා සිටි සාදයට පැන වෙඩි තැබීමට සූදානම් කර තිබුණි. එහෙත් එය අතහැර දමා තිබුණේ එතැනින් පලා යාමට හැකියාවක් නොමැති බැවිනි. එසේ නම් සාදය අවසන් වන තෙක් ගිනිඅවි අත දරාගෙන එම වෑන් රථය එම අවට තිබෙන්නට ඇත. ඉන් පසුව යතුරුපැදිය පසුපස ගොස්, වෙඩි තබා, ගිනි තබා පැන යන තෙක් පොලිසියේ කිසිවකු නැත. ඒ තරමට දැඩි ආරක්ෂාවකි. කෙසේ වෙතත් මෙයද පොලිසිය නොසැලකිල්ල නිසා දැන දැනම සිදුවූ ඝාතනයක් ලෙස අවසන් විය.
මෙහිදී යොමේෂ්ගේ මව සඳහන් කළේ මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට ගොස් පැමිණිල්ලක් දැමූ බවත් බිල්ඩර් අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිසියට දැන්වුවත් ගන්දර පොලිසිය එය සතයකට මායිම් නොකළ බවත්ය. ඒ නිසා මෙම ඛේදවාචකය සිදුවූ බව ඇය පැවසුවාය.
ඝාතනය සිදුවූ දින කිහිපය තුළ බිල්ඩර්ගේ බිරිඳත්, පොඩි බාලේ මල්ලිගේ සහෝදරයාත් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. එසේම හලාවත සැඟවී සිටියදී තවත් සිව්දෙනෙක් අත්අඩංගුවට පත්වූහ. ඉන් එක් අයකු වෙඩික්කරුවන් වාහනයකින් රැගෙන ගිය අයකු බවට අනාවරණය විය. කෙසේ වෙතත් මේ වනවිට පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් මෙහෙයුමක් දියත් කරමින් සිටී.
මේ අතර පොඩි බාලේ මල්ලි සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ ඔහුට අවුරුදු 9 ක් වන විට ඔහුගේ පියා ඝාතනය කර තිබූ බවය. ඔහු දෙහිගෙදර පොඩි බාලේය. ඉන් පසුව එම පවුල දැඩි ආර්ථික ප්‍රශ්න මැද ජීවත් වූ බව පැවසේ. එසේම බාලේ මල්ලි වයස අවුරුදු 16 දී බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පැනගත් අතර වසරකින් නැවත මෙරටට එවා ඇත. එසේ පැමිණීමෙන් පසුව නැවත බෝට්ටුවල රැකියාව කර ඇතැයි කියති. එහෙත් බාලේ මල්ලි එකවර පොහොසත් වුණේ දෙවුන්දර
තමිල්ගේ කුඩු කිලෝ 300 ක් සොරා ගැනීමෙන් පසුව බව ඇතැම් අය චෝදනා කරති. එහෙත් පුදුමය නම් තමන්ගේ කුඩු කිලෝ 300 ක් සොරාගත් අයකුට තමිල් යහතින් ඉන්නට ඉඩ දෙයිද යන පැනයයි.
සැබැවින්ම තමිල් කළේ ද රත්ගම විදුරගේ වැඩය. විදුර සහ කොස්ගොඩ සුජිත් මරාගත් හැටියට එවැනි සොරකමක් කර බාලේට ඉන්න දෙයිද කියා ප්‍රශ්නයක් ඇත. ඒ නිසා මේවා ඇත්තද නැද්ද කියා අප දන්නේ නැත. ඒවා දන්නේ ඒ අයමය. සියල්ල දැනගත හැක්කේ බාලේ අල්ලා ගත් දවසටය. එහෙත් මේ සියල්ලට පොලිසිය වගකිව යුතුය. ඒ වෙන කිසිවක් නිසා නොව මෙවැනි කතා සිදුවීම් දැක දැක, පෙනි පෙනී පොලිසිය මරනින්දේ සිටීම හේතුවෙනි.
මේ සියල්ල දන්නේ දෙහිබාලේ මල්ලි නැමැත්තාය. ඔහු මෙරටට රැගෙන ඒම සඳහා රතු වරෙන්තු ලබා ගැනීමට මේ වනවිට පොලිසිය සූදානම්ව සිටියි. ඒ නිසා බාලේ අපරාධයට සම්බන්ධ නම් නියත වශයෙන්ම වැඩේ වරදිනු ඇත. ආයේ චණ්ඩිකම් කරන්න වෙන්නේ නැත. එහෙත් එක ප්‍රශ්නයක් ඇත. එනම් මෙලෙස තරුණයන් මැරෙන්නත්, මෙලෙස තරුණයන් අපරාධකාරයන් වෙන්නත් සියල්ලට හේතුව මත්ද්‍රව්‍ය බව කිව යුතුය. එකී සමාජ පිළිලය සම්පූර්ණයෙන් අතුගා දමන තෙක් කවදාවත් මේ රට හදන්නට බැරිය. මේවා කියන තරම් ලෙහෙසි පහසු නැත. පාතාලය, කුඩු, පොලිසිය, ආරක්ෂක අංශ, දේශපාලනය, මේ සියල්ල වෙන්වූ දවසට මේ තරුණයන් නිදහසේ ජීවත් වනු ඇත. එතෙක් මේ අපරාධ දාමය එලෙසම පවතිනු ඇත.
• ගයාන් ගාල්ලගේ