2025 මාර්තු 29 වන සෙනසුරාදා

බදු ගන්නවද? අනාගන්නවද?

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03 77

ඍජු බදු අයකර ගැනීම පිළිබඳ මේ වනවිට රට තුළ අර්බුදයක් ඇතිවී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් දී ඇත්තේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ක් ඉක්මවන තත්ත්වයට පත් කළ යුතු බවය. බදු ඉලක්ක වැඩි කිරීම කෙසේ වෙතත් පසුගිය දිනවල වර්තමාන රජය ගත් තීරණ අනුව බදු ආදායම තව තවත් පහළ වැටෙනු විනා ඉහළ නැගීමක් සිදු නොවන බව පෙනී යයි. ජනතාවගෙන් එල්ලවන බලපෑම් හේතුවෙන් බදු අයකිරීම පිළිබඳ හදිසි තීරණ කිහිපයක් ගැනීමට මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිට පසුගියදා සිදුවිය.

ඉන් එක් තීරණයක් වන්නේ ලබන අප්‍රේල් මාසයේ සිට උපයන විට ගෙවන බදුවලට යටත් වන මාසික ආදායම් සීමාව රුපියල් ලක්ෂයේ සිට එක්ලක්ෂ පනස් දහස දක්වා ඉහළ නැංවීමයි. මේ නිසා බදු ගෙවන පිරිස ලක්ෂ 2 කින් පමණ අඩුවිය හැකි අතර, එයින් අහිමිවන ආදායම කෝටි 4,200 ක් පමණ වේ යැයි ගණන් බලා තිබේ. මේ තත්ත්වය අනාවරණය වූයේ පසුගියදා පැවැති මුදල් කාරක සභා රැස්වීමේදී භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න කළ ප්‍රකාශයක් අනුවය.

අද රටේ බදු ගෙවන්නේ බදු ගෙවිය යුතු පිරිසෙන් සියයට 10 ක් පමණි. ආදායම් බදු ගෙවිය යුතු පිරිස මිලියන 8 ක් හෙවත් ලක්ෂ 80 ක් වුවද බදු ගෙවන්නේ එයින් ලක්ෂ 8 කි. අලුත් තීරණ නිසා මෙම කොටසද ලක්ෂ 6 දක්වා අඩුවනු ඇතැයි අනාවරණය වේ. අද පවතින තත්ත්වය අනුව රටේ කොතරම් ශ්‍රම බලකායක් සිටියද මාසික ආදායම රුපියල් ලක්ෂය නොඉක්මවන්නේ නම් ඔවුන්ගෙන් බදු අයකිරීමක් සිදු නොවේ. මෙම සංඛ්‍යාව ඉදිරියේදී නව තීරණය නිසා තවත් අඩුවෙනවා ඇත.

2022 අවසන් වනවිට උපයන විට ගෙවන බදු ගෙවා ඇති පිරිස 41,636 ක් වන නමුත් බදු සීමාවට ගෙනා සංශෝධන හේතුවෙන් 2023 වසරේදී බදු ගෙවූ සංඛ්‍යාව 242,679 දක්වා විශාල ලෙස වැඩි වී තිබුණි. මේ අතර උපයන විට ගෙවීමේ බදුවලින් 2023 දී බිලියන 144 ක්ද, 2024 දී බිලියන 197 ක්ද ලැබී තිබේ. එහෙත් බදු ගෙවීමේ සීමාව ඉහළ දැමීම නිසා බදු ආදායම 2025 දී බිලියන 156 ක් දක්වා පහළ බැස ඇත. මේ අනුව අඩුවෙන ආදායම කෝටි 5000 කට ආසන්න වෙයි. නව සංශෝධනය නිසා රුපියල් එක්ලක්ෂ පනස්දහසක ආදායම උපයන කෙනකු ගෙවිය යුත්තේ රුපියල් 500 ක් වැනි සුළු බද්දකි.

මුදල් කාරක සභාවේදී සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ අවම ආදායම් සීමාව ලක්ෂයේම තබාගෙන සියයට 1 ක බද්දක් පැනවූවා නම් දැනට බදු ගෙවන පිරිසෙන් ලක්ෂ 2 ක් ඉවත් වී නොයනු ඇති බවකි. එසේම සීමාව ඉහළ දැමීමෙන් අඩුවන රුපියල් කෝටි 5000 ක ආදායම එකතු කරගැනීමේ විකල්ප ක්‍රියාමාර්ග රජය හෙළි කළ යුතු නමුත් තවමත් ඒ පිළිබඳ සූදානමක් නොමැති බව පෙනී යයි. එසේම 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ දේපළ බද්ද ජනතාවගේ විරෝධය නිසා ලබන වසර දක්වා කල් දැමීමට සිදුව ඇති අතර එය වෙනත් නමකින් ඉදිරිපත් වන බවට ආරංචි පළ වේ.

2025 අප්‍රේල් 01 දින සිට අපනයන සේවා ආදායම මත සියයට 15 ක බද්දක් පැනවීමට රජය තීරණය කර ඇත. එහෙත් මෙම බද්ද නිසා ගැටලු ගණනාවක් ඇතිවනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ පවසති. රටට විදේශ විනිමය වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ අපනයන ආදායමෙනි. එහෙත් ආනයනය ඉහළ යාම නිසා නිදහස ලැබූ දා සිට අපේ වෙළෙඳ ගිණුම හිඟ ශේෂයක් විය. අපනයනයෙන් ලැබෙන ආදායම, සංචාරක ආදායම හා විදේශ ප්‍රේෂණවලින් ලැබෙන ආදායමෙන් මෙම හිඟය පියවීමට අපහසුය. දැනටමත් විදේශ ණය ගැනීම් සීමාකර ඇති නිසා මේ සඳහා විදේශ ණය ලබාගැනීමටද නොහැකි වේ.

මෙම බද්ද පැනවෙන්නේ නිත්‍යානුකූල ලෙස බැංකුවලින් මෙරටට ලැබෙන ආදායම මතය. එහෙත් උණ්ඩියාල් හා හවාලා වැනි නීතිවිරෝධී ක්‍රමවලින් මෙරටට ගෙන්වන මුදල්වලට මෙම බද්ද අය වෙන්නේ නැත. මෙම සියයට 15 වන විශාල බද්ද නිසා නිත්‍යානුකූල ලෙස බැංකු මගින් රටට ලැබෙන විදේශ මුදල් අඩු වී නීතිවිරෝධී ලෙස එවන මුදල් ප්‍රමාණය ඉහළ නගිනවා ඇත. මෙය රටේ නිල විදේශ සංචිතවලට අයහපත් ලෙස බලපායි. විදේශ විනිමය ලැබීම ඍජුව බලපාන්නේ රටේ විනිමය අනුපාතිකවලටය. මෙම ලැබීම් අඩු වූ විට රුපියලේ අගය පහළ යනු ඇති අතර, උද්ධමනය වැඩි වී භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් ජනතාව විපතට පත්වෙති. මෙම බද්ද නිසා එවැනි ප්‍රතිඵලයක් ලැබෙතොත් රටේ ආර්ථිකයට සිදුවන හානිය විශාල බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එය බද්දට වඩා හානිකරය.

බොහෝ දෙනා පවසන්නේ අලුතින් බදු හඳුන්වාදීම වෙනුවට දැනට අය කරන බදු කළමනාකරණය කළ යුතු බවය. බදු ප්‍රතිශත ඉහළ නොදමා බදු ගෙවීම පැහැර හරින්නන් කොටුකර ගැනීමට මෙන්ම හිඟහිට ඇති විශාල බදු ප්‍රමාණයන් අයකර ගැනීමට පියවර ගත යුතු වෙයි. උදාහරණයක් වශයෙන් කිවහොත් පසුගියදා අධිකරණයේදී අනාවරණය වූයේ කුප්‍රකට ගෝල්ඩන් කී සමාගම පසුගිය වසර කිහිපය තුළ රුපියල් 16,96,816.83 ක බදු මුදලක් හිඟ තබා ඇති බවය. ජාතිය ගොඩනැගීමේ බදු 38,679,770.80 ක මුදලක්ද 2018 වසර වනවිට වැට් බදු 22,42,097 ක්ද අයකර ගැනීම සඳහා 2021 වසරේදී නඩු පවරා තිබුණද එය දිගින් දිගටම ඇදෙමින් පවතී. අපේ නඩු පැවරීමේ ක්‍රියාවලිය නිසා නියෝග ලබා ගැනීම අනවශ්‍ය ලෙස ප්‍රමාද වෙයි. එබැවින් නීතියේ සංශෝධන ගෙන ආ යුතුය. අරක්කු නිෂ්පාදන සමාගම්ද විශාල ලෙස බදු ගෙවීම් පැහැර හැර ඇත. මෙන්ඩිස් සමාගම මේ අතර සුවිශේෂී වෙයි. ඒ නිසා හිඟ බදු අයකර ගැනීම කඩිනම් කළ යුතු වේ.

මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසන්නේ සියලුම බදු අය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය ඇතිකරගෙන ඇති ගිවිසුම අනුව බවයි. “මෙම ආණ්ඩුවට වුවද එයින් ඉවත්වීමේ හැකියාවක් නැහැ. ඒ නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද ඒවා ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මේවා ක්‍රියාත්මක නොකරන්නේ නම් ගිවිසුමෙන් ඉවත් වීමට සිදුවෙනවා. පස්වැනි ණය වාරිකය නිකුත් කිරීමට පෙර මෙම බදු අයකර ගැනීම ආරම්භ කළ යුතුව තියෙනවා. ප්‍රෝග්‍රෑම් එකේ හැටියට බදු අයකර ගැනීමට සිදුවෙලා.

මේ බදු අය කිරීමට එක්තරා කාලරාමුවක් තියෙනවා. ඒ තුළ ක්‍රියාත්මක විය යුතුයි. බදු අයකිරීමේ කාලවකවානු පිළිබඳ ලේඛනයකට මාර්තු මාසයේ අග සතියේදී රජය හා මූල්‍ය අරමුදල අත්සන් කළා. දැන් එය බලාත්මකයි. ඒ අනුව දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 15 ක් බදුවලින් උපයාගත යුතු වෙනවා. මෙහිදී අලුත් බදු පැනවිල්ලක් නැහැ. ඒ වුණත් ගිවිසුම්ගත වෙලා තියෙන කාලය තුළ බදු අය කරගත යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුව ආදායම වැඩිකර ගැනීමට බදු හැර වෙනත් ක්‍රමයක් නැහැ. ඇතැම් බදු අය කරන දින ප්‍රමාද කරන්න පුළුවන්. ඒත් සුළු වශයෙන්. එසේ වුවද අනිවාර්‌යෙන් අය කරගත යුතු වෙනවා. දැන් බලන්න දේපළ බද්ද ද ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එය කෙටි කාලයකට කල් දමා ඇති බව ආණ්ඩුව කියනවා. එහෙත් පනවන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. සුළු ප්‍රමාදයකින් පසු ක්‍රියාවට නගනවා. අන් විකල්පයක් නැහැ.

මේ ආණ්ඩුව බලයට පත්වන විට පැවසුවේ ආදායම මෙන්ම වියදමද ප්‍රඥාගෝචර ලෙස පාලනය කිරීමට කටයුතු කරන බවයි. දැන් වඩාත්ම අවධානය යොමුවෙලා තියෙන්නේ වියදම අඩු කිරීම පිළිබඳවයි. ඒත් පවතින වියදමට සමානුපාතික ලෙස ආදායම සොයාගත යුතුයි. ඒ සඳහා බදු අයකිරීම හැර අන් විකල්පයක් නැහැ. ණය ලබා ගැනීමෙන් වියදම ආවරණය කරන ක්‍රමවේදය මෙහිදී වලංගු වන්නේ නැහැ.”

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ රජය මෙවර අලුතින් රුපියල් කෝටි 83,000 ක බදු ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන නමුත් ඒ පිළිබඳ කිසිදු සැලසුමක් නොමැති බවය. බදු ගෙවන අයම පසුපස නොගොස් නොගෙවන අය බදු දැලට කොටුකර ගැනීමට පියවර ගත යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

“රජයේ ප්‍රධාන ආදායම් මූලාශ්‍රය වන්නේ බදුයි. බදු නොවන ආදායම් අපට අඩුයි. රටේ බදු ගෙවන්න පුළුවන් ආර්ථිකයක් තැනීම රජයේ වගකීමක්. එහෙම නැතුව බලෙන් බදු අය කරන්න බැහැ. බදු ගෙවීමට පුළුවන් අය තනා ඒ අයගෙන් බදු අය කරගත යුතුයි. රටකට බදු ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. කොතරම් ආණ්ඩු තිබුණත් තවම අපට බදු ප්‍රතිපත්තියක් නැහැ. බදු අය කරගෙන බදු ගෙවන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. එම බදු ආදායමෙන් ණය ගෙවීම, වැටුප් ගෙවීම වැනි අදාළ නොවන කාර්යවලට යොදා ගැනීම වැරදියි.

බදුවලින් 2024 වසරේදී සංවර්ධන වැඩවලට රුපියල් බිලියන 224 ක්. බිලියන 231 ක් අස්වැසුමට, සමෘද්ධි ආදී සහනාධාරවලට, විශ්‍රාම වැටුප් ගෙවීමට බිලියන 442 ක් ආදී වශයෙන් යොදාගෙන තියෙනවා. මෙහිදී බදු අයකිරීමේ පරමාර්ථය ඉටු වී නැහැ. මෙමගින් ජනතාවගේ ආදායම වැඩි වෙන්නේ නැහැ. බදු ගෙවීමට පුළුවන් කෙනෙක් ඇතිවන්නේ නැහැ. පුද්ගලයන් පොහොසත් කරලා ඒ අයගෙන් බදු අය කළ යුතුයි. එහෙම නැතිනම් සිදුවන්නේ ආර්ථිකය සංකෝචනය වීමක්. වියට්නාමය, සිංගප්පූරුව වැනි දියුණු රටවල් බදු සහන දීලා ව්‍යාපාර ගොඩනගලා ඒ අය ලබන ආදායමෙන් සාධාරණ බද්දක් අය කරනවා. එයින් ජනතාවත් රටත් සංවර්ධනය වෙනවා. අපි එදිනෙදා වියදම් පියවා ගැනීමටයි බදු ආදායම යොදවා ගන්නේ.

ආර්ථික විද්‍යාවේ මූලික කරුණු පවා නොදන්නා විදිහටයි කටයුතු කරන්නෙ. කිසිම ක්‍රමවේදයක් නැහැ. ප්‍රාථමික තීරණයි ගන්නෙ. අපට බදු ප්‍රතිපත්තියක් නැහැ. කිසිදු සැලසුමක් නැහැ. ‘එදා වේල ටුවර්ස්’ ආකාරයටයි කටයුතු කරන්නෙ.

ඉස්සර බදු වගකීමක් ලෙසටයි සැලකුවේ. අද වනවිට බදු බරක් වෙලා. බදු බර ඔසවාගෙන දිගටම යන්නයි සිද්ධවෙලා තියෙන්නෙ. ඒ නිසා ජනතාව නිතරම උත්සාහ කරන්නේ බදු ගෙවීමෙන් වැළකෙන්නයි. බදු ගහන්න ඕනෑ ආර්ථික සංවර්ධනය වැඩි කරන්න මිස ව්‍යාපාර කඩා වට්ටන්න නෙවෙයි. රාජ්‍ය මැදිහත්වීම ධනාත්මක විය යුතුයි. රාජ්‍ය මැදිහත්වීමෙන් අර්බුදයක් ඇතිවෙනවා නම් එය නොකර සිටීම හොඳයි.

මූල්‍ය අරමුදල කියන්නේ ඒ අයගේ ආදායම් ඉලක්කවලට යන්න කියලයි. එහෙම නැතුව මොන විදිහට බදු ගහනවද කියලා ඒ අය කියන්නේ නැහැ. එය අප තෝරාගත යුතුයි. චීන කියමනක් තියෙනවා කුසගිනි හැදුණු කෙනකුට මාළුවෙක් නොදී බිලී පිත්තක් දෙන්න කියලා. රටේ දේශීය වගාව එන විට දේශීය ගොවියා ආරක්ෂා කිරීමට යැයි බදු ඉහළ දමනවා. ඒත් ඒ ආදායම ගොවියාට යන්නේ නැහැ. ඒක ගන්නේ ආණ්ඩුව. ඒවා වියදම් කරන්නේ වෙනත් දේවල්වලට. එම තත්ත්වය වෙනස් විය යුතුයි. බද්ද ධනාත්මක විය යුතුයි. ඒත් අපේ බදුවලට ඇත්තේ ඍණ බලපෑමක්.

හිඟ බදු අයකර ගැනීම දුර්වලයි. ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධනය විය යුතුයි. බදු අයකර ගැනීමට නිවැරදි දත්ත පද්ධතියක් තබාගත යුතුයි. ඍජු බදුවලින් අපේ ආදායමෙන් සියයට 20 යි ලැබෙන්නෙ. ඉතිරි 80 වක්‍ර බදුයි. මේ ප්‍රමාණය සියයට 40-60 ට ගෙන ආ යුතුයි. විද්‍යාත්මක පදනමක් තනලා ඒ අනුව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වෙනවා. වසරෙන් වසර වැඩි බදු ආදායමක් ලබාගන්න නම් සියල්ල යාවත්කාලීන කළ යුතුයි. එහෙම නැතුව ගණන් හදලා වැඩක් නැහැ.”

• යසවර්ධන රුද්රිගු

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:05