2025 මාර්තු 29 වන සෙනසුරාදා

බ්‍රිතාන්‍යය හිතුමතේ ගත් මානව හිමිකම් තීන්දුව

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:02 56

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 16 ක් ගත වී හමාරය. ලෝක ඉතිහාසයේ ත්‍රස්තවාදී සංවිධානයක් මුලිනුපුටා දැමීමට සමත් වූ රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් වී තිබේ. මරණයේ බිහිසුණු සෙවණැලිවලින් වැසී ගිය 15 වසරකට පෙර අතීතය තවමත් සිහිගන්වනු පහසු නැත. එහෙත් යුද ජයග්‍රහණයෙන් පසු මේ දක්වා අදාළ ත්‍රස්තවාදී ගැටුමට සම්බන්ධ පශ්චාත් ගැටුම් ශ්‍රී ලංකාවෙන් වාර්තා නොවීම සුවිශේෂී තත්ත්වයකි. එවන් ගැටුම් වාර්තා නොවුණද යුද්ධයේ පශ්චාත් කම්පන තත්ත්වයන් නිරන්තර ශ්‍රී ලංකාව තුළ පුවත් මවන බව නොරහසකි. පසුගිය සතියේ එක්සත් රාජධානිය ශ්‍රී ලාංකීය හමුදා නිලධාරීන් කිහිප දෙනකු වෙත සම්බාධක පැනවීමද එකී පශ්චාත් කම්පනයේ තවත් එක් ප්‍රතිඵලයකි.

බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට සම්බාධක පැනවීම පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනය කැළඹූ පුවතක් බවට පත්විය. එම සිදුවීම් පෙළ ආරම්භ වූයේ එක්සත් රාජධානිය (UK) ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය කාලයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් හිටපු හමුදා නිලධාරීන් දෙනකුට හා තවත් අයෙකුට සම්බාධක පැනවීමත් සමඟයි.

මෙහිදී සම්බාධකවලට යටත් වූ හමුදා නිලධාරීන් වූයේ හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය යන අයයි. ඊට අමතරව පසුගිය කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරූ විනයගමූර්ති මුරලිදරන් හෙවත් එල්ටීටීඊ නායකයකුව සිටි කරුණා අම්මාන් ද මෙම පිරිස අතර වූයේය.

එක්සත් රාජධානියේ විදේශ, රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ ලේකම් ඩේවිඩ් ලැමි සම්බාධක තීරණය පිළිබඳව පැහැදිලි කිරීමක්ද සිදුකර තිබුණි.

“මනුෂ්‍ය අයිතිවාසිකම් සඳහා වගවීම සහ සිවිල් යුද්ධය අතරතුර සිදුවූ උල්ලංඝණ සඳහා වගකිව යුතු පුද්ගලයන්ට අධිකරණ ක්‍රියාවලියක් නොමැතිව යෑම සදාචාරාත්මකව පිළිගත නොහැක. මෑත මහ මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුව අනුව, මෙම පියවර ගනිමු.”‍

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නව රජය සමඟ මානව අයිතිවාසිකම් වැඩිදියුණු කර ගැනීමට කැමැත්තෙන් පසුවන බව එක්සත් රාජධානිය පවසා තිබුණි.

මෙවන් සම්බාධක පැනවීම් සිදුවන්නේ හුදෙක්ම මානව හිමිකම් හෝ යුද්ධයේදී පීඩාවට පත්වූවන්ට සාධාරණය ළඟා කිරීමේ අරමුණින් නොවන බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. යුරෝපයේ බොහෝ රටවල මැතිවරණ සහ දේශපාලන කටයුතුවලදී දමිළ ඩයස්පෝරාවේ සහාය පාලකයන් වෙත දැන් වෙනදාටත් වඩා වැඩියෙන් වුවමනා වී ඇති බව ගෝලීය භූ දේශපාලනය අධ්‍යයනයේදී පෙනී යයි. ඒ අනුව මෙවන් සම්බාධක පැනවීම විටෙක යුරෝපීය දමිළ ප්‍රජාව සඳහා යුරෝපීය දේශපාලනය විසින් කැරට් අල පෙන්වීමක් ලෙසද හඳුන්වාදීම වරදක් නොවේ.

මෙම සම්බාධක පැනවීමට ශ්‍රී ලංකා රජය ද ප්‍රතිචාර දක්වන්නට විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදුවූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හා අපයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීන් ඇතුළු සිව්දෙනකුට සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය විසින් ගන්නා ලද තීරණය ඒකපාර්ශ්වික පියවරක් බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර කර සිටියේය.

එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනකු ඇතුළු සිව්දෙනකුට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා වෙත ඉකුත් බදාදා දැනුම්දීමට විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා කටයුතු කර තිබුණි.

ශ්‍රී ලංකා රජය විසින් මේ හා සම්බන්ධව ප්‍රවෘත්ති නිවේදනයක්ද නිකුත් කර තිබේ. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ රජය නිරත වී සිටින අතර අතීතයේදී සිදුවූ යම් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඇතහොත් ඒවා පිළිබඳ දේශීය වගවීම් යාන්ත්‍රණය හරහා කටයුතු කරන බවයි.

ආණ්ඩුව මෙලෙස ප්‍රතිචාර දැක්වීම අගය කළ යුතු තත්ත්වයකි. මෙම ප්‍රතිචාරය නොවන්නට ඒකපාර්ශ්වික තීරණය ගෝලීය වශයෙන් සාධාරණ වීමට ඉඩ තිබුණි. වර්තමාන ආණ්ඩුව සඳහා යුරෝපීය රාජපක්ෂ විරෝධී කණ්ඩායම්වල සහයෝගය හේතුවෙන්, ඔවුන් ඩයස්පෝරාවේ උවමනා මත කටයුතු කරනු ඇතැයි ඇතැමෙක් සඳහන් කර තිබුණි. එවන් තත්ත්වයක් යටතේ මෙම ප්‍රතිචාරය අගය කළ යුත්තක් බව සඳහන් කළ යුතුය. කෙසේ වෙතත් උතුරේ නව දේශපාලන ගැටලු‍වට ස්ථීරසාර දේශපාලන විසඳුමක් ලබාදීමටද උනන්දු විය යුතු බව සිහිපත් කළ යුතුය. මන්ද ඔවුන් ඉතිහාසයේ පළමුවරට උතුරේ ජනතාවගේ විශ්වාසය දිනාගත් එකම දකුණේ දේශපාලන ව්‍යාපාරය වූ බව අමතක කළ යුතු නැත.

කෙසේ වෙතත් මේ සිදුවීමට අදාළව ප්‍රතිචාර දැක්වීමට යුද්ධය අවසන් කරන විට මෙරට ජනාධිපති ධුරය දැරූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද කටයුතු කළේය. හිටපු ජනාධිපතිවරයා මෙම සම්බාධක තීරණය “කුමන්ත්‍රණයක්”‍ ලෙස පවසා සිටියේය. “දශක තුනක එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන් 27,965 දෙනකුගේ ජීවිත පමණක් නොව දේශපාලන නායකයන් ඇතුළු සිවිල් වැසියන් තවත් දහස් ගණනකගේද ජීවිත නැතිවිය. 2009 දී ශ්‍රී ලංකාව පරාජය කළේ එක්සත් ජනපදයේ එෆ්.බී.අයි. ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය හැටියට 2008 දී නිල වශයෙන් නම් කරන ලද සංවිධානයයි. විවිධ පාර්ශ්ව වෙතින් එල්ල වන නීතිමය පීඩාවලින් තමන්ගේ සන්නද්ධ හමුදා ආරක්ෂා කරගැනීම සඳහා බ්‍රිතාත්‍යය රජය 2021 දී සහ 2023 දී විශේෂ නීති සම්පාදනය කළ බවද අප මෙහිදී සිහිපත් කළ යුතුය.”

“එබැවින්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වන තාඩන පීඩනවලට එරෙහිව වත්මන් ආණ්ඩුව ඍජුව පෙනී සිටිනු ඇතැයි මම අපේක්ෂා කරමි.”

මේ අතර හිටපු ජනාධිපතිවරයා තමන් යුද්ධය සඳහා වන තීන්දු තීරණ ලබාගත් බවද සිහිපත් කර තිබූ අතර, රණවිරුවන්ට එරෙහිව පමණක් ක්‍රියාත්මක වීම විවේචනය කර තිබුණි.

මේ අතර හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ද මෙම සම්බාධක පැනවීම “කුමන්ත්‍රණයක්”‍ ලෙස සලකමින් සම්බාධක ඉවත් කර ගැනීමට වත්මන් රජය කටයුතු කළ යුතු බව පවසා සිටියේය.

“මේ ආරක්ෂක ප්‍රධානීන් මාතෘ භූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සටන් කරපු අය. ඒ අය මිනිස්සු මැරුවේ නෑ. අවසාන සති දෙක මතක ඇති. අපි මැරිලා උපන්නේ නෑ. ජාතිවාදී විදිහට ඒ අය විනාශයන් කළේ නෑ. මම අවස්ථා 5 කදී වැඩබලන ආරක්ෂක ඇමැති විදිහට හිටියා. ප්‍රභාකරන් මැරෙද්දිත් වැඩබලන ආරක්ෂක ඇමැති මම. ඉතින් මම දන්නවා අවසාන සති දෙකේ මොකද වුණේ කියලා. ඒ නිසා අපේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට මේ කරපු දේ ඉතාම අසාධාරණයි. මේ අය රට වෙනුවෙන් කැපවෙච්ච පිරිසක්.”‍

මෙම සිදුවීම් පෙළ සම්බන්ධව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ද අදහස් දැක්වූයේය. යුද්ධයේදී ඇතිවූ බව කියන සිද්ධි සම්බන්ධයෙන් සොයා බැලීමට දේශීයව යාන්ත්‍රණයක් ඇති කරන මෙන් එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සලය යෝජනා කර තිබියදීත් ඒ සඳහා ක්‍රියාත්මක නොවීම නිසා මෙවැනි සම්බාධක පැනවීමට කටයුතු කර ඇති බවත් එමෙන්ම මෙවර සම්බාධක පනවා ඇත්තේ පුද්ගලයන් සිව්දෙනකුට වන අතර මේ ආකාරයටම රට සඳහා සම්බාධක පැනවීමේ හැකියාවක් ද තිබෙන බවත් ඔහු පවසා තිබුණි.

එක්සත් රාජධානිය වර්තමාන රජය පිළිබඳව විශ්වාසයකින් කටයුතු කරන බව පැවසූ ඔහු මෙහිදී විමසා සිටියේ මෙසේ සම්බාධක පනවන අය වෙනත් රටවල යුද්ධවලදී සිදුවන දේවල් පිළිබඳව ඒවාට චෝදනා නොකරන්නේ ඇයිද? යන්නයි.
සැබෑවටම අපට ද විමසන්නට ඇත්තේ එයයි. එහෙත් එවැනි විමසුම්වලින් පලක් නොවන බව අනේක වාරයක් මානව හිමිකම් කමිටු ඉදිරියේ මේ බව විමසා ඇති පාර්ශ්ව හොඳින්ම දනිති. මේ හුදෙක්ම ගෝලීය භූ දේශපාලනයේ තවත් එක්ක පැතිකඩකට අදාළ කුඩා සිදුවීමක් පමණි. එය මෙරට දේශපාලනය තුළ ද අලෙවි වන සුළුය.

• චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:05