2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා

විශාදයෙන් සිදුවෙන සියදිවි නසා ගැනීම් වළක්වා ගන්න පුළුවන්

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:05 105

සත්ත්වයන් ඉපදෙමින් මිය යමින් සරන්නා වූ මෙම සසර ගමන තුළ, මිනිසත් භවයක් ලැබීම “කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලූවිට පුන්සඳ දකින්නාක් මෙන්”‍ අසීරු වූත්, අතිශය දුර්ලභ වූත් අවස්ථාවකි.
එහෙත් අද වන විට මිනිසුන් විවිධ ගැටලු‍ නිසා ඇතිවන මානසික ව්‍යාකූලතා හේතුවෙන් ඝාතන සහ සියදිවි නසාගැනීම් බහුලව සිදුවන තත්ත්වයට පත්ව සිටීම කනගාටුදායකය. මනුෂ්‍ය ඝාතන මෙන්ම සියදිවි නසා ගැනීමට තැත් කිරීමද ශ්‍රී ලංකාවේ නීතියට අනුව අපරාධමය වරදකි. ආගමික අතින් ගතහොත් සියදිවි නසා ගැනීම දුගතිගාමී පාපකර්මයකි. කරුණු කාරණා එසේ පැවතියද වර්තමානයේ තරගකාරී ජීවන රටාව සහ පීඩාකාරී ආර්ථික රටාව හේතුවෙන් බොහෝ මනුෂ්‍යයෝ පීඩාවට පත්ව සිටිති. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා අසන්නට ලැබුණේ හදවත් කම්පා කරවන සුළු අවාසනාවන්ත සිදුවීමකි.

කොළඹ ගාලු‍මෝදර අසල සුපිරි හෝටල් සංකීර්ණයක තිස්එක් වැනි මහලෙන් පැන සිය දිවි නසාගත් තරුණයකුගේ මළ සිරුරක් සොයාගෙන තිබුණේ පසුගිය මාර්තු මස 31 වැනිදාය. ඔහු මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචිව සිටි, අසන්ත ධනංජය බණ්ඩාර නම් 29 හැවිරිදි අවිවාහක තරුණයෙකි. අසන්ත එක්තරා යූටියුබ් නාලිකාවක හිමිකරුවකු වශයෙන් කටයුතු කර ඇති අතර එම නාළිකාවේ ලක්ෂය ඉක්මවා ගිය පරිශීලකයන් පිරිසක්ද සිට ඇතැයි කියති. පොලිස් පරීක්ෂණවලට අනුව මෙම තරුණයා මාර්තු මස 31 දින රාත්‍රී 8.30ට පමණ හෝටල් සංකීර්ණයේ කාමරයක් ඔන්ලයින් ක්‍රමයට වෙන් කරවාගෙන තිබේ. මියගිය තරුණයා එම හෝටල් සංකීර්ණයේ තිස්එක් වැනි මහලේ, දහසය වැනි කාමරයේ නවාතැන් ගෙන තිබූ අතර, හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී මාර්තු 31 වැනිදා රාත්‍රී 8:15ට පමණ පුද්ගලයකු තිස්එක් වැනි මහලෙන් පහළට වැටෙන අයුරු දැක්වෙන දර්ශන සටහන් වී තිබිණි. තරුණයාගේ සිරුර හෝටලයේ හතරවැනි මහලේ උද්‍යාන භූමිය අසල තිබී සොයාගෙන ඇති අතර, හෝටල් සේවකයන් මෙම සිදුවීම පොලිසියට දැනුම් දී තිබිණි.

තරුණයාගේ මරණයට හේතු දක්වමින් ඔහු විසින් ලියන ලද බවට සැලකෙන ලිපියක් ඔහුගේ කලිසම් සාක්කුවේ වූ මුදල් පසුම්බියේ තිබී සොයාගෙන ඇත. තම මවට ආමන්ත්‍රණය කර ලියා තිබූ ලිපියේ ඇතුළත්ව ඇත්තේ මෙවැන්නකි.
“සමාවෙන්න මට අම්මේ, මට ගොඩක් මහන්සියි. හැමදාම මම හිතින් විඳවනවා. දුක දරාගන්න අමාරුයි. ගොඩක් දුර්වලයි මගේ හිත. අනේ මට සමාවෙන්න. මගේ මරණයට හේතුව Depression. කිසිම සතුටක් මට දැනෙන්නේ නෑ.”‍
මෙවැනි අවස්ථාවකදී පුද්ගලයකු ලියූ ලිපියක් උපුටා ප්‍රසිද්ධ මාධ්‍යයක පළ කිරීම සදාචාර විරෝධී යැයි ඇතැම් විට ඔබට සිතෙනු ඇත. එක අතකින් එය සත්‍යයක් වන නමුත්, මෙය පළ කරන්නේ කිසිවකු අපහසුතාවයට පත් කිරීමට හෝ මියගිය අයට අපහාස කිරීමට නොවන බව නම් සඳහන් කළ යුතුමය. මන්ද යත් ශ්‍රී ලංකාව තුළ නිහඬ මාරයකු මෙන් ඉතා වේගයෙන්, විශාදය හෙවත් Depression පැතිර යන බව ඔබ අප සියලු‍ දෙනාම දැනගත යුතු බැවිනි.

මෙම සිදුවීමේ වඩාත් කනගාටුදායකම පැතිකඩ නම්, මියගිය තරුණයා තමන් විශාදයෙන් පෙළෙන්නකු බව හඳුනාගෙන සිටීම සහ තමන්ට ඇති මානසික අපහසුතා හඳුනාගෙන සිටීමය. ඇතැම් විට ඔහු තමාට ඇති අපහසුතා තමා ළඟම සිටින්නන්ට පවසන්නට ඇත. එසේ නොවන්නටද පුළුවන. කෙසේ නමුත් අකාලයේ මිලන වූ තරුණ ජීවිතයේ වගකීම විශාදය පිටින් පමණක් තබා අත පිසදා ගැනීමට සමාජයක් වශයෙන් අපට නොහැකිය. මන්ද යත් විශාදය හෝ වෙනත් මානසික සංකූලතා හේතුවෙන් සියදිවි නසාගත් පළමුවැනියා මෙම තරුණයා නොවුවද මෙවැනි සිදුවීම් මෙතැනින් හෝ අවසන් විය යුතු බැවිනි. පසුගිය වසර කිහිපය විමසා බැලීමේදී විවිධ හේතු මත තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටියන්ද විවිධ ක්‍රම මගින් සියදිවි නසා ගැනීමේ පුවත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය. පුද්ගලයකු සියදිවි නසාගත් කල බොහෝ විට සිදුවන්නේ මියගිය පුද්ගලයාට බැණ හෝ ශාප කරමින් සමාජ මාධ්‍යයන්හි පෝස්ට් පළ කිරීමය. එසේත් නොමැති නම් ඔහුට නිවන් සුව පැතීම හෝ දුක් වීමය. නමුත් සිදුවිය යුත්තේ එලෙස දැයි සිහිනුවණින් යුතුව විමසා බැලීම වටී.

මේ පිළිබඳව “දේශය”‍ කළ විමසීමේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ මානසික සෞඛ්‍ය සරසවියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා මෙලෙස අදහස් දැක්වීය.

 “විශාදය කියන මානසික ආබාධය අද මානසික රෝග සහිත ජනගහණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. ඇත්තටම මානසික සෞඛ්‍යයේ ගැටලු‍වක් විදිහට තමයි මේක හඳුන්වන්නෙ. සමාජයේදී විශාදය සහිත පුද්ගලයෙක් ඉතා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. මොකද පෙනුම පිළිබඳ ආබාධයක් විදිහට තමයි මේක හඳුන්වන්නෙ. පුද්ගලයාගේ පෙනුම, ගති ස්වභාවය අනුව ඒවායේ වෙනස්කම් හොයාගන්න පුළුවන්. මේ තත්ත්වය අඳුනගන්න පුළුවන් වෙන්නේ මූලික වශයෙන් සති දෙකක් පමණ අදාළ පුද්ගලයාගේ හැසිරීමේ ඇතිවන වෙනස්කම්වලින්. තරුණ වයසේ කෙනෙක්, වැඩිහිටියෙක් හෝ තරුණයෙක් වෙන්න පුළුවන් උද්‍යෝගය අඩුවීම, අලස බව ඇතිවීම, කරන කියන වැඩ කටයුතුවලින් ඇගයීමක් හෝ සෑහීමක් හෝ තෘප්තිමත්භාවයක් ලබාගත නොහැකි වීම වගේම දැඩි මානසික වේදනාවක් පවතිනවා නම් අපි කියනවා ඒක විශාදය හෙවත් ඩිප්‍රෙශන් තත්ත්වයක් කියලා. මානසික අවපීඩනය කියලත් මේක නම් කරනවා. මේ කාරණාවලට අමතරව විශාද රෝගීන්ගේ අපිට දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තමයි දැඩි ශෝකය, ආයාසය, මානසික වේදනාව, දුක, හිත එක අරමුණක නැතිකම, මරණය පිළිබඳ සිතුවිලි, සියදිවි නසා ගැනීමේ සිතුවිලි ආදිය. අවම සති දෙකක් වැනි කාලයක් තුළ මේ රෝග ලක්ෂණ අඩු වැඩි වෙමින් ව්‍යාප්ත වෙනවා නම් හඳුනාගන්න පුළුවන් මේක විශාද තත්ත්වයක් කියලා.”‍

වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්යවරයා පවසා සිටියේ පුද්ගලයකුට විශාදය වැළඳී ඇති බව හඳුනාගත් පසුව, එය කුමන කාණ්ඩයේ විශාද තත්ත්වයකට අයත් දැයි හඳුනා ගැනීම වැදගත් බවයි. විශාදයේ බලපෑම අනුව එය වර්ග කිහිපයකට බෙදා දැක්විය හැකි අතර, එයින් දරුණුතම තත්ත්වය වන්නේ “ප්‍රධාන විශාදය හෙවත් කෙමිකල් ඩිප්‍රෙශන්” තත්ත්වයයි. මෙහිදී පෙනුම, එදිනෙදා ජීවන රටාව, සිතිවිලි, හැඟීම්, හැසිරීම්වල පීඩිත ප්‍රතිචාර මෙන්ම පීඩිත ලක්ෂණ පෙන්නුම් කිරීම ප්‍රධාන විශාදය තුළ හඳුනාගත හැකිය. ඇතැම්හු මෙය ගිලන් විශාදය ලෙසද හඳුන්වති. මීට අමතරව සෞම්‍ය විශාදය, ඍතු විශාදය, උන්මාද විශාදය වශයෙන් වර්ග කිහිපයකට බෙදා දැක්විය හැකිය.

විශාදය සඳහා ඇති මනෝවිද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම මෙන්ම විශාද කළමනාකරණය පිළිබඳව ද අදහස් දක්වමින් මහාචාර්යවරයා මෙලෙස පවසා සිටියේය.

“විශාදය වළක්වා ගැනීමට මෙන්ම විශාදය වැළඳුණු පසුව එය කළමනාකරණය කරගෙන සුවපත් වීමට ක්‍රම කිහිපයක් තිබෙනවා. එකක් තමයි විශාදය සඳහා තිබෙන මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සහ වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර. තවත් දෙයක් තමයි මානසික සෞඛ්‍ය ප්‍රථමාධාර. අනිත් දේ තමයි මනෝවිද්‍යාත්මක මැදිහත් වීම. රෝගීන් සඳහා තියෙන විශාද කළමනාකරණය වගේම ප්‍රාථමික වැළැක්වීමේ ක්‍රියාදාමයත් අපිට අනුගමනය කරන්න පුළුවන්. නමුත් විශාද රෝගය ඇතිවෙලා සුවපත් වෙනවාට වැඩිය, විශාද තත්ත්වය ඇතිවීම වළක්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා. එතකොට වැළකීම, වැළැක්වීම, වැළකී සිටීම කියන්නේ කරුණු තුනක්.”‍

ඕනෑම රෝගයක් වැළඳී එයින් පීඩාවට පත් වී එය සුවපත් කරගන්නවාට වඩා එය වැළඳීමට ඇති ඉඩකඩ අවම කරගැනීමට ජනතාව කළ යුතු දෑ කුමක්ද? ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඤාණදාස පෙරේරා මහතා ඒ පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.
“ප්‍රධානම දේ තමයි යහපත් ජීවන රටාවක් ගොඩනගා ගැනීම. ජීවිතයට අත්‍යවශ්‍යම දේ තෝරාගෙන අනවශ්‍ය දේ බැහැර කරමින් අපගේ ජීවිතය සරල කර ගැනීම තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගොඩනගා ගැනීමට හැකි වෙනවා. ලද දෙයින් සතුටු වීම, ජීවිතය තේරුම් ගැනීම තමයි විශාද තත්ත්වයෙන් මිදීමට හොඳම විසඳුම. මේ යටතේ වික්ටර් ෆ්‍රෑන්කල් නමැති මනෝවිද්‍යාඥයා ඉදිරිපත් කළා “අර්ථ චිකිත්සාව”‍ කියලා ක්‍රමයක්. හැම පුද්ගලයෙක්ම ජීවිතය අර්ථය ගවේෂණය කළොත්, ඇයි අපි ජීවත් වෙන්නේ? අපේ ජීවිතයේ තේරුම මොකක්ද? අරමුණ මොකක්ද? වටිනාකම මොකක්ද? කියන මේ දේවල් ටික කුඩා කාලයේ ඉඳලම හරියට ඉගෙන ගත්තොත් විශාද තත්ත්වය ඇතිවෙන්නේ නැහැ. හැඟීම් හැසිරීම් යථාර්ථවාදී තලයකට ගෙන ඒම තමයි මෙතැනදී කරන්නෙ.”‍

අනෙක් අතට ගතහොත් ප්‍රාථමික වැළැක්වීම යටතේද විශාදය ඇතිවීම අවම කරගත හැකිය.

“විනෝදය ජීවිතයේ කොටසක් කර ගැනීම අතිශයින්ම වැදගත්. හැම කෙනෙක්ම දෛනික ජීවන රටාවට විවේකය විනෝදය ඇතුළු කරගන්න ඕනෑ. එතකොට විශාදය ඇති කරවන ප්‍රෝටිසෝල් වගේ හෝමෝන නිපදවීම අඩු වෙනවා. ප්‍රෝටිසෝල් වගේ හෝමෝන නිපදවීම වැඩි වුණාම විශාදය වගේ තත්ත්ව ඇතිවෙන්න පුළුවන්. නමුත් ඒවාට ප්‍රතිඋත්තර දෙන හෝමෝන වර්ග අපේ ශරීරයේම තියෙනවා. ඩෝටොමින් සහ සෙරොටොමීන් කියන හෝමෝන වර්ග දෙක සතුට ඇති කරවන හෝමෝන.

විශේෂයෙන්ම සෙරොටොමීන් හෝමෝනය වැඩිපුර ශ්‍රාවය වීම මගින් ජීවිතයේ සතුට ඇතිවීම වැඩි කරවන අතර දුක ඇතිවීම අඩු කරවනවා. මේ සෙරොටොමීන් හෝමෝනය ශරීරයේ ඇතිවීම වැඩි කිරීමට යම් යම් තාක්ෂණික ක්‍රමවේද තිබෙනවා. ඊටත් වඩා ස්වභාවික ප්‍රතිකාරයකට යොමුවීම ඉතාම වැදගත්. දිනපතා පුංචි වෙලාවක් අරගෙන ගීතයක් ඇසීම, විනෝදාංශයක් කිරීම වගේ දේවල්වලින් අපිට මානසික ආතතිය අඩු කරගන්න පුළුවන්. ව්‍යායාම කිරීම, දිනපතා ඇවිදීම, වසරකට වරක්වත් විනෝද චාරිකාවක් යාම වගේ දේවල් මේ තත්ත්වය වළක්වා ගන්න ඉතාම වැදගත් වෙනවා.”‍
වර්තමානය වන විට ජනතාව මනෝ උපදේශනයට යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පැවසීය. එහිදී තමන් තෝරාගන්නා උපදේශකයා වෘත්තිමය තත්ත්වය අතින් කොතරම් ඉහළ මට්ටමක සිටින අයකු ද යන්න තෝරා බේරාගත යුතු බවද හෙතෙම පවසා සිටියේය.

“විශේෂයෙන්ම අපේ ජනතාවගෙන් ඉල්ලන්නේ, අද හොර උපදේශන ව්‍යාපාර රටේ තිබෙනවා. උපදේශකයා දන්න දේත් නැහැ. නොදන්න දේත් නැහැ. මනෝවිද්‍යා උපදේශනයක් නෙවෙයි තියෙන්නේ අද ගොඩක් දුරට. කළුකඩ උපදේශනයක්. වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු මට්ටමේ සිටින දරුණු විශාද රෝගීන්ටත් ගොඩ වෙදකම් කරලා, එහෙමත් නැතිනම් බුදු බණත් කියලා, ආගමටත් නින්දා කරලා අවසානයේ රෝගියා වහ බීලා මියගිය තැන් තිබෙනවා අපේ සමාජයේ. එහෙම නොවෙන්න නම් අපි සමාජය දැනුවත් කරන්න ඕනෑ. පළවෙනි එක තමයි විශාදයේ ස්වභාවය, ස්වරූපය කොහොමද කියලා හඳුනාගෙන ඒ අනුව වෛද්‍ය ප්‍රතිකාරවලට, තාක්ෂණ ප්‍රතිකාරවලට, නැතිනම් ඖෂධ ප්‍රතිකාර සඳහා සුදුසුකම්ලත් විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ට යොමු කිරීම ඉතා වැදගත් වෙනවා.”‍

මනුෂ්‍යයකුට සියදිවි හානි කර ගැනීමට සිතක් පහළ වන්නේ ඔහුට දරාගත නොහැකි උග්‍ර මානසික පීඩනයක් ඇතිවූ විටෙකදීය. එසේත් නොමැති නම් ඉතා පීඩාකාරී ලෙස තමන් මෙලොව තනි වූවා යැයි සිතෙන අවස්ථාවකදීය. තම සිතැඟි පවසා ගන්නට කෙනෙක් නොමැති වීමත්, එසේ පවසන අවස්ථාවලදී ඇතැම් විට විහිළුවට ලක්වීම, අපහාස උපහාසවලට ලක්වීම වැනි කටුක අත්දැකීම්, කොතරම් උගත්, ශක්තිමත් මනුෂ්‍යයකු වුවද බින්දුවටම කඩා බිඳ දැමීමට තරම් අතිශය වේදනාකාරී වේ. කෙසේ වෙතත් සියදිවි නසා ගැනීම් බහුල සමාජයකින් පිළිබිඹු වන්නේ, එම සමාජයේ ජීවත් වන පුද්ගලයන්ගේ මානසික යහපැවැත්මේ ඇති දුර්වලතාවයයි.

අපගේ ළඟම ඥාතියකු හිතමිතුරකු හෝ දන්නා හඳුනන ඕනෑම පුද්ගලයකු මානසික ආතතියෙන් හෝ විශාද තත්ත්වයෙන් පෙළෙන බව හඳුනා ගතහොත් ඔහු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම මගින් තවත් එක් ජීවිතයක් හෝ නිරපරාදේ විනාශ වීම වළක්වාගත හැකිය.

• මංගලා පවිත්‍රානි

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04