කෙළවරක් නොමැති කතා සාදවලට මාතෘකා වී තිබෙන රිළා දූපතේ අබිරහස තවමත් විසඳී හමාර නැත. රිළා දූපත කොහේ කොතැනක හැදේවිදෝ, හදන්නට හැකි වේවිදෝ යන්න පිළිබඳ ඉකුත් වාද විවාද බොහෝය. රිළා සංගණනය ද අවසන් වී ඇති පසුබිමක, රිළා ප්‍රශ්නයට ලබා දෙන ඊළඟ විසඳුම පිළිබඳ බොහෝ දෙනෙක් අවධානයෙන් බලා සිටිති. පසුගිය සතියේ මේ පිළිබඳ ආණ්ඩුව විසින් පළ කළ ප්‍රකාශයක් සමඟ, මෙම කතාබහ තවත් උණුසුම් මුහුණුවරක් ගනු දැකගත හැකි විය.
ඒ අනුව රිළා දූපත පිළිබඳ වන කතාබහ ගැන සොයා බැලීමට අපි තීරණය කළෙමු. මෙවර මේ කතාව සඳහා මූලිකයා වූයේ ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණය. මහනුවර දිස්ත්‍රික්කයේ වගා හානි සිදු කරන රිළවුන් අල්ලා එම සතුන් රන්දෙණිගල ජලාශය ආශ්‍රිත අක්කර 200 ක් පමණ වපසරියකින් යුත් දූපතකට මුදා හැරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර තිබෙන බව ඔහු ඉකුත් දා පැවසීය.
“කෘෂිකර්මාන්තය මූලික ජීවන රටාවක් ඇති අපේ රටේ වන සතුන්ගෙන් වගාවට වන හානිය සුළු පටු නෑ. මේ සම්බන්ධයෙන් අපිට දිගින් දිගටම පැමිණිලි ආවා. ජනතාවගේ මැසිවිලිවලට ඇහුම්කන් දෙන්න වුණා. ඒ අනුව මේ පිළිබඳ ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි දිගින් දිගටම සාකච්ඡා කළා. අදාළ පාර්ශ්ව සම්බන්ධ කරගෙන කමිටුවක් පත් කරලා එම වාර්තාව, එහෙම නැත්නම් යෝජනාවලිය මහනුවර සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කරලා එය ක්‍රියාත්මක කිරීමේ අනුමැතිය ලබා ගත්තා.
මේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය සඳහා අපිට මධ්‍යම පළාත් සභාවෙන් රුපියල් මිලියන 10ක් ලැබිලා තියෙනවා. වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කරන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඒ සඳහා තව මුදල් හොයාගන්න වෙනවා. මේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව අපිට එහි ඇති අඩුපාඩු හඳුනාගෙන අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්.”
මහනුවර දී අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් පහතහේවාහැට මැතිවරණ කොට්ඨාසයේ බරපතළ ආකාරයේ රිළා උවදුරු සහිත ගම්මාන 15ක කෘෂිකර්මයට මෙන්ම ජන ජීවිතයට හානි කරන රිළවුන් අල්ලා මෙම දූපතට මුදා හැරීමට පියවර ගන්නා බවයි.
“ප්‍රථමයෙන් රිළවුන්ගෙන් වන හානි අවම කරන්න තමයි අපේ අවධානය යොමු වෙලා තියෙන්නෙ. ඊට පස්සේ මොනරුන්, වල් ඌරන්, දඬු ලේනුන්, ඉත්තෑවුන් වැනි සතුන් පිළිබඳ අවධානය යොමු කරනවා. ඒ ඒ සතුන් සඳහා වෙන් වෙන් වශයෙන් ක්‍රමවේද යොදා ගන්න වෙනවා. අපි මෙහිදී කිසිම ආකාරයකින් සතුන්ට හානියක් කරන්නේ නෑ. මේ සම්බන්ධයෙන් සත්වවේදීන්, සත්ත්ව හා පරිසර සංවිධාන සමඟ අපි අදහස් හුවමාරු කර ගත්තා. ඉදිරි සති දෙක ඇතුළත මේ වැඩේ ආරම්භ කරනවා. මේ සම්බන්ධයෙන් පත් කළ කමිටුවට වනජීවී දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු තවත් ආයතන රැසක් සම්බන්ධ වෙනවා. මේ ආකාරයේ කටයුත්තක් ලෝකයේ කොහේවත් කරලා නෑ. මේ නියමු ව්‍යාපෘතිය සාර්ථක වූ පසු ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරනවා.”
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතියේ ප්‍රායෝගිකත්වය ප්‍රශ්න කර සිටින පාර්ශ්ව රැසකි. රිළවුන්ට පිහිනීමට ඇති හැකියාව පිළිබඳ සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක් සිහිපත් කරනු දැකගත හැකි විය. කෙසේ වෙතත් ආණ්ඩුව පාර්ශ්වයෙන් කියැවුණේ දූපත වටා විදුලි වැටක් ඉදි කරන බවකි.
තවත් පසෙකින් ලොව මෙවන් ව්‍යාපෘතියක් දියත් කරනු ලබන පළවෙනි අවස්ථාව මෙය බව ඇතැමෙක් සඳහන් කරති. එය සත්‍යයක් නොවන අතර ඉතිහාසය පිළිබඳ සොයා බැලීමේදී මීට සමාන්තර සිදුවීම් කිහිපයක් පිළිබඳවම තොරතුරු ලැබුණි. එම දත්ත අනුව දූපත්, වෙනත් වාසස්ථාන වෙත සතුන් යවා ගහණ පාලනය කිරීමේ උපාය එතරම් සාර්ථක එකක් වී නොමැති බව පැහැදිලි වේ.
ඉතිහාසය පුරාම සත්ත්ව ගහණ පාලනය කිරීමට දූපත් වෙත සතුන් යැවීමේ අවස්ථා කිහිපයක් තිබේ. මේ සමහර සිද්ධි පරිසර විද්‍යාත්මක පාලන ක්‍රම ලෙස සහ සමහර අවස්ථාවල අහිතකර බලපෑම් ඇති කරන ලද අත්හදා බැලීම් ලෙස සිදුවිය.
උදාහරණ කිහිපයකින් එම තත්ත්වය පැහැදිලි කර ගත හැකිය.
මැකවුරි දූපත (Macquarie Island) - ඕස්ට්‍රේලියාවට අයත් මෙම දූපතට 19 වැනි සියවසේ හඳුන්වා දුන් හාවෝ දූපත් පරිසර පද්ධතියට බරපතළ හානි කළහ. පසුව ගහණය පාලනය කිරීමට බළලුන් හඳුන්වා දෙනු ලැබුවද, ඔවුහු දේශීය පක්ෂීන්ට ප්‍රහාර සිදු කිරීම ආරම්භ කළ අතර එම ගැටලුව විසඳීමට තවත් වැඩපිළිවෙළ දියත් කිරීමට සිදුවිය. ඉතිහාසයේ තවත් වරක් ගැලපගෝස් දූපත්වල ස්පාඤ්ඤ ජාතිකයන් විසින් එළුවන් ඇති කිරීමට උත්සාහ කිරීමේදී දූපත්වල පරිසර පද්ධතිවලට හානි සිදුවූ අතර, එය දේශීය ශාක හා ප්‍රජාවන් තර්ජනයට ලක් කළේය. මේ අතර නොර්වේ ඔස්ලෝ හි ද මීයන් පාලන වැඩසටහනට අනුව 19 වැනි සියවස අවසානයේදී, මීයන් ගහණය පාලනය කිරීමට මීයන් සුළු දූපත් වෙත යැවීමට ඔවුන් කටයුතු කළ බව ඉතිහාසයේ සඳහන්ය.
මෙම උදාහරණ බොහොමයක්, විශේෂයෙන් පැරණි ඒවා, පාරිසරික හානි ඇති කළ අතර, වර්තමාන සත්ත්ව පාලන ක්‍රමවේද වඩාත් විද්‍යාත්මක පිළිවෙත් අනුගමනය කරයි. ඉතා දියුණු අධ්‍යයන මගින් විවිධ පරිසර පද්ධති තුළ සමබරතාවය ඇතිකිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග ද මෑත කාලීන ඉතිහාසයේදී හමුවන බව සඳහන් කළ යුතුය.
කෙසේ වෙතත් රිළා සංගණනයේ ප්‍රතිඵල එන්නටත් පෙර මේ කරන්නට සැරසෙන කටයුත්තේ ප්‍රායෝගික බව පිළිබඳ සැබෑ ලෙසම ප්‍රශ්න කර සිටීම ගැටලුවක් නොවෙයි. ගොවීන්ගේ සහ වින්දිත පාර්ශ්වවල ගැහැට කිසි ලෙසකින්වත් නොසලකා හැරිය නොහැකි බව පැහැදිලිය. එහෙත් මෙවන් ගැටලුවක් විසඳාගත යුත්තේ විද්‍යාත්මක ක්‍රමවේදයක් හරහා මිස, නිලධාරීන්ගේ සහ දේශපාලකයන්ගේ සාකච්ඡා අභිමත පරිදි නොවන බව පිළිගත යුතු තත්ත්වයකි.
• චමිඳු නිසල් ද සිල්වා