2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා

පිටරටින් ගෙනෙන විස්කි බ්‍රැන්ඩි කොච්චර ළඟ තියාගන්න පුළුවන්ද?

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:03 321

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ හෝකන්දර නිවෙසේ තිබී විදේශීය මත්පැන් බෝතල් 795 ක් සහ වයින් බෝතල් 214 ක් වශයෙන් මත්පැන් බෝතල් 1009 ක් සොයා ගැනීම සම්බන්ධයෙන් පසුගියදා විශාල කතාබහක් ඇති විය. එතරම් මත්පැන් බෝතල් ප්‍රමාණයක් පුද්ගලයකු සන්තකයේ තබාගත හැකිද යන කතාබහ කරළියට පැමිණියේ ඒ අනුවය.

2015.12.31 වැනි දිනැති අංක 1947/41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි සඳහන් සුරාබදු නිවේදන අංක 985 ප්‍රකාරව මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි විදේශීය මත්පැන් සිල්ලරට විකිණිය යුතු උපරිම සීමාව ලීටර් 7.5ක් වන බැවින් බලපත්‍රලාභී නිෂ්පාදකයකු හෝ වෙළෙන්දකු හෝ නොවන පුද්ගලයකු හට ප්‍රාදේශීය ලේකම්වරයකුගේ බලපත්‍රයක් මත හැර ඉහත කී විදේශීය මත්පැන් ලීටර් 7.5ක ප්‍රමාණය ඉක්මවා ළඟ තබා ගැනීම සිදු කළ නොහැකි විය.

මෙම නීති පැනවීමත් සමඟ සිය සාධාරණ පෞද්ගලික අවශ්‍යතා සඳහා මත්පැන් ප්‍රවාහනය කරන පිරිසට විවිධ ගැටලු‍වලට මුහුණ දීමට සිදුවිය. උත්සව සඳහා, මිනි බාර් පවත්වන පිරිසට හෝ විනෝදාංශය වශයෙන් විවිධ වර්ගයේ මත්පැන් සාම්පල එකතු කරන පිරිසට යම් යම් ගැටලු‍ නිර්මාණය විය.

එම තත්ත්වයේ සාධාරණත්වය සලකා බලා ලීටර් 7.5 ක් වූ උපරිම සීමාව ලීටර් 80 දක්වා ඉහළ දැමීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු 2019 සැප්තැම්බර් මාසයේ පියවර ගත්තේය. සුරා බදු පනතේ 17 (අතුරු විධානය) මගින් විකිණීමේ අරමුණකින් තොරව සද්භාවයෙන් පෞද්ගලික පරිභෝජනය සඳහා මත්පැන් ඕනෑම ප්‍රමාණයක් ළඟ තබා ගැනීමට අවසර හිමිය.

මේ බව තහවුරු කරමින් සුරාබදු ආඥා පනතට අනුව විදේශීය මත්පැන් ඕනෑම ප්‍රමාණයක් ළඟ තබා ගැනීමේ නීතිමය හැකියාවක් පවතින බවට ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභී සංගමය ද මාධ්‍යයට ප්‍රකාශයක් කර තිබේ. එම සංගමයේ සභාපති අජිත් උඩුගම මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික පරිභෝජනය සඳහා පමණක් විදේශීය මත්පැන් ඕනෑම ප්‍රමාණයක් ළඟ තබා ගැනීමේ නීතිමය හැකියාව පවතින අතර ඒවා අලෙවි කිරීම තහනම් බවයි.

පෞද්ගලික පරිභෝජනය සඳහා වුවද විදේශීය මත්පැන් එක්වරකට ප්‍රවාහනය කිරීමට අවසර ලැබෙනුයේ ලීටර් 80ක් සඳහා පමණි. එම ප්‍රමාණය ඉක්මවා ප්‍රවාහනය කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකිය.

පනත ප්‍රකාරව සද්භාවයෙන් පරිභෝජනය සඳහා ළඟ තබා ගැනීම යන්නෙන් අදහස් වන්නේ කිසියම් පුද්ගලයකු වෙත ස්වකීය හිතමිතුරන්, ඥාතීන් වෙතින් ත්‍යාග ලෙස ලද සහ අවස්ථානුකූලව එකී පුද්ගලයා විසින් පරිභෝජනය පිණිස සුරාබදු ආඥා පනතේ සීමාවලට යටත්ව මිලදී ගෙන ඇති විදේශීය මත්පැන්ය. සුරාබදු ආඥා පනතේ 17 වැනි වගන්තියට ඇති 02 වැනි අතුරු විධානය ප්‍රකාරව ඕනෑම පුද්ගලයකු විසින් කිසියම් විදේශීය මත්පැන් ප්‍රමාණයක් විකිණීමේ අරමුණින් තොරව සද්භාවයෙන් ස්වකීය පෞද්ගලික පරිභෝජනය පිණිස මිලදී ගෙන ඇත්නම් එවන් පුද්ගලයකු සම්බන්ධයෙන් ගැටලු‍වක් පැන නොනගී.

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02