අවුරුදු 16කට පසු පැවැත්වෙන දළදා ප්‍රදර්ශනය මේ වනවිට මහනුවර නගරයේ පැවැත්වෙන අතර රටේ දසදිගින් ලක්ෂ සංඛ්‍යාත සැහැදැවත්හු දළදා මාලිගයට ඇදී එමින් සිටිති. මෙරට මෑත ඉතිහාසයේ අවසන් වරට දළදා දැක්මක් පවත්වා තිබෙන්නේ 2009 වසරේදීය. ඊට පෙර 1994 හා 2001 වසරවල දළදා ප්‍රදර්ශන පවත්වා තිබුණි. ජනතාව මහනුවරට ප්‍රවාහනය කිරීමට ලංගම මෙන්ම පෞද්ගලික අංශයෙන් ද විවිධ පෙදෙස්වල සිට බස් රථ සේවා ක්‍රියාත්මක කෙරේ. ලක්ෂ 20ක පමණ සැදැහැවතුන් පිරිසක් මහනුවරට පැමිණෙතැයි අපේක්ෂා කරන අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේ ද දායකත්වයෙන් සපයමින් පවතී.
මහාවංශයට අනුව දළදා වහන්සේ මෙරටට රැගෙන ආ බව සඳහන් කරන්නේ ක්‍රි.ව. 310 දී කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජුගේ (ක්‍රි.ව 301-328) රාජ්‍ය පාලන සමයේදීයි. ජනප්‍රවාදවල සඳහන් වන පරිදි මහනුවර දළදා මාලිගාවේ දැනට තැන්පත් කර ඇත්තේ සිව් දළදා වහන්සේලාගෙන් වම් යටි හණුවට අයත් දළදා වහන්සේය. ඉන්දියාවේ ගුහසීව රජුගේ භාරකාරත්වයේ පැවැති දළදා වහන්සේ මෙරටට ගෙන්වා ගැනීම සඳහා මූලික කටයුතු සිදුකර ඇත්තේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුගේ පියා වුණු මහසෙන් රජුය. දළදාව මෙරටට වැඩම කරවන විට මහසෙන් රජු මියගොස් ඔහුගේ පුතා රජ වී තිබුණි.
මූලාශ්‍ර අනුව පැහැදිලි වන්නේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු විසින් දළදා වහන්සේගේ භාරකාරත්වය අභයගිරි විහාරයට භාරදී තිබුණු බවයි. ඒ කාලය වන විට ලක්දිව බුදු සසුනේ ප්‍රධානත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ මහා විහාරයට සම්බන්ධ භික්ෂුන් වහන්සේ වෙති.
දළදා වහන්සේ ලක්දිවට වැඩම කිරීමේ අවස්ථාව මහාවංශය සඳහන් වන්නේ පහත පරිදිය. “ඒ රජු දවස නව වන වස එක්තරා බැමිණියක් තොමෝ බුදු රජහු දළදාව කලිඟු රටින් මෙහි ගෙණවා (එළු) දළදාවස කී පරිද්දෙන් රජ තෙමේ ඒ ගෙන බහුමානයෙන් උතුම් පුදකොට හුදු පිළිමණින් කළ කරඩුවෙක බහා දෙවන පෑතිස් රජු විසින් කරවන ලද දම්සක් නම් ගෙයි වැඩුයේයි. එතැන් පටන් ඒ ගෙය “දාඨාධාතුඝර” නම් වී. ඉක්බිති සම්පූර්ණ සිත් ඇති රජ තෙමේ නව ලක්ෂයක් දන විසඳා දළදා මහ පෙළහර කළේය. අවුරුදු පතා අභයගිරි විහාරයට වඩාගෙන ගොස් ඒ දන්ත ධාතුවට මෙබඳු පූජා කරවයි නියෝග කළේය.”
දළදා සිරිතට අනුව මෙම දාඨා ධාතුඝරය මහමෙවුනා උයන තුළ පිහිටා තිබුණි. දළදා වහන්සේ අනුරපුරට වැඩමවා ටික කලක් ගතවන විට ගම් දනව්වල බැතිමත්හු දළදා වහන්සේ දකිනු රිසිව විවිධ ඉල්ලීම් කළහ. එවිට රජු මහා සංඝයා වහන්සේ රැස් කරවා ජනතාවගේ අදහස් දන්වා කළ යුත්ත විමසූ විට, එක් තෙරුන් වහන්සේ නමකගේ අවවාදය වූයේ අවුරුදු පතා දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම යහපත් බවය.
තෙරුන් වහන්සේගේ අවවාදය ඉවසූ රජු අනුරපුර නගරය අලංකාරව සරසවා, සුදු අසුන් යෙදූ රථයක් විසිතුරුව සරසා, දළදා වහන්සේ එහි වඩා හිඳුවා සිව්රඟ සෙනග සමඟ පංචතූර්ය නාදයෙන්, නොයෙක් නර්තනයෙන් යුත් විසිතුරු පෙරහරින් අභයගිරි විහාරයට දළදාව වැඩමවා එහි මණ්ඩපයක තැන්පත් කර දළදා ප්‍රදර්ශනය පැවැත්වීය. මේ අනුව දළදා පෙරහර සහ දළදා ප්‍රදර්ශනය මුල්වරට ලංකාවේ ආරම්භ වී ඇත්තේ ක්‍රි.ව. හතරවැනි සියවසේදීය. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු කාලයේමය.
දාඨා වංශයේ සඳහන් වන්නේ කහවනු ලක්ෂ 9 ක් වියදම් කර මුල්ම දළදා පෙරහර සහ මුල්ම දළදා ප්‍රදර්ශන පූජාව පැවැත්වූ බවයි. මෙය අවුරුදු පතා කළ යුතු බවටද අවසානයේ රජු විසින් නීතියක් පනවා තිබේ.
දළදා වහන්සේ අභයගිරි විහාරයට පෙරහරින් වඩම්මවා ප්‍රදර්ශනය කිරීමේ චාරිත්‍රය 5 වැනි සියවස දක්වාම පැවති බව ක්‍රි.ව 413 දී පමණ මහානාම රජු දවස ලංකාවට පැමිණි චීන ජාතික ෆාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවලට අනුව පැහැදිලිව වේ. ෆාහියන් භික්ෂුව විසින් රචිත ගමන් විස්තරය, එකල පැවැත්වූ දළදා පෙරහර සහ දළදා ප්‍රදර්ශනය ගැන විස්තර අපට හෙළි කරයි.
“තුන්වන මාසයේ (ඇසළ මාසයේ) මැද හරියේදී බුදුරදුන්ගේ දළදා වහන්සේ මහජනතාවට ප්‍රදර්ශනය කරනු ලැබේ. රජතුමා ඊට දින දහයකට පෙර කීමෙහි බිනීමෙහි සමත් මිනිසකු රජ කෙනකු මෙන් ඇඳ පළඳවා මනාවට සැරසූ ඇතකු පිට නංවා නුවර වීදි සංචාරය කරවා අණබෙර ගසා මෙසේ කීමට සලස්වයි.
බෝසතාණන් වහන්සේ තුන් අසංඛ්‍යෙ කල්පයක් මුළුල්ලේ මහත් වෙර දරා පෙරුම් පිරූ සේක. උන්වහන්සේ සිය සැප පහසුව නොසලකා සිය රජය ද සිය බිසව ද දරුවන් ද දන් දුන් සේක. තමන්ගේ ඇස් උගුල්ලා එය ඉල්ලවුනට දන් දුන් සේක. සියලු සිතුන් උදෙසා මේ සා මහත් දුක් විඳ අවසානයේ ලොව්තුරා බුදු වූ සේක. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු 1497ක් ගත වීය. ලොව ඇස් පියවී ඇති මේ මුළු කාලයේ ලෝවැසියෝ නිතරම සොවින් පෙළෙති. අද සිට දස දිනයකින් ඒ බුදුරජාණන් වහන්සේගේ දළදාව එළියට වඩමවා අභයගිරි විහාරයට පමුණුවනු ලැබේ. පින් කැමැති ගිහි පැවිදි සියල්ලෝ මෙහි පැමිණ මහමඟ සම කෙරෙත්වා. මහ වීදි සරසත්වා. පූජාව පිණිස මල් හා සුවඳ පිළියෙල කරත්වා” යනුවෙනි.
එකල දළදා පෙරහර ගමන් කළේ “සුරපුර මෙන් පුර සරහා” යනුවෙන් දළදා සිරිතේ සඳහන් වෙයි. දළදා පෙරහර ගමන් කරද්දී නගරයම අලංකාරව සරසා තිබූ බව පැරණි මූලාශ්‍ර අනුව පෙනේ. පෙරහර යන මඟ දෙපස සරසා තිබූ ආකාරය ගැන ද ෆාහියන් හිමියෝ සඳහන් කරති. සුදු වැලි අතුරා සරසා මඟ දෙපස ගස්කොළන් සිටුවා සරසා අලංකාර කර තිබුණු බව සඳහන් වේ. එසේම මඟ දෙපස පන්සිය පනස් ජාතක කතාවලට අදාළ චිත්‍රවලින් සරසා තිබී ඇත. දින 90 ක් දළදා ප්‍රදර්ශනය පැවැත්වූ බව ෆාහියන් හිමියෝ කියති.
“ඉක්බිති දන්ත ධාතූන් වහන්සේ මන්දිරයෙන් පිටතට ගෙන ප්‍රධාන මාර්ගය දිගේ වැඩම කරනු ලැබේ. දළදා වහන්සේ අභයගිරි විහාරස්ථ ප්‍රදර්ශන ශාලාවට ළඟාවන තෙක්ම මග දිගට මිනිස්සු පුද පූජා පවත්වති. අනතුරුව භික්ෂූන් ද ගිහි මිනිස්සු ද එක්රැස්ව සුවඳ දුම් දල්වා පහන් දැල්වීමත් වෙනත් ආගමික පූජා පැවැත්වීමත් නැවතීමක් නැතිව රෑ දවල් දෙකෙහිම සිදු කරති. අනූ දවසකට පසුව නගරයේ පිහිටි දන්ත ධාතු මන්දිරය කරා දළදා වහන්සේ වැඩම කරනු ලැබේ. බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර සිදුකර සැදැහැවතුන්ට මන්දිර කරා පැමිණ දළදාව වැඳ පුදා ගත හැකිවනු පිණිස දන්ත ධාතු මන්දිරය පොහෝ දිනයන්හි විවෘතව තැබීම සිරිතය.”
අප්‍රේල් 27 දින දක්වා දළදා වැඳ පුදා ගැනීමට බොහෝ පිරිසක් මහනුවරට එනු ඇත. ඒ අතර දළදා ඉතිහාසය ගැනත් අවධානය යොමු කළොත් දළදා වන්දනාව වඩාත් පිරිපුන් වනු ඇති බව අපගේ හැඟීමයි.
සේයාරූ - අන්තර්ජාලයෙනි
• කුසුම්සිරි විජයවර්ධන