2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා

පාස්කුවේ මහ මොළකරු කොටු කිරීම

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 09:04 95

පාස්කු ඉරිදා ප්‍රහාරයට හෙටට වසර 6 කි. එහෙත් එකී මිලේච්ඡ ප්‍රහාරයේ කළු දුමාරය තවම මේ මිහිපිටින් පහව ගොස් නැත. මෙරට ලක්ෂ සංඛ්‍යාත වැසියන්ගේ කඳුළු සෙලවුණු ඒ ඉරිදායින් පසු එළැඹුණු බොහෝ ඉරිදාවන් එකී වේදනාව තුරුළු කරගත් බොහෝ සහෘදයනට කළු ඉරිදාවක්ම වූ බව පැවසීම වරදක් නැතැයි සිතමි. සෑම වසරකම අප්‍රේල් මාසය ආසන්නයේ කරළියට එන මාතෘකා අතර පාස්කු දා ප්‍රහාරය දේශපාලන වේදිකාවේ ඇතැමකුට වින්දනීය අනභූතියක් වුවද මෙරට දහස් සංඛ්‍යාත කතෝලික බැතිමතුන්ගේ දෑස්වලින් ගලා ගිය කඳුළුවලට වන්දි ගෙවන්නට කිසිවකු ඉදිරිපත් වන බවක් තවමත් නොපෙනේ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් මෑතකදී පැවසුවේ පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිගරුක සහ සාධාරණ සංඥාවක් අප්‍රේල් 21 වැනිදාට පෙර රජයෙන් ලැබුණහොත් සතුටු වන බවත් එසේ නොවුණහොත් යළිත් වරක් පාරට බහින්න සිදුවන බවයි.

උන්වහන්සේ එහිදී මෙසේ ද පැවසූහ.

“එක්නැලිගොඩ කියන මාධ්‍යවේදියාට මොකක්ද වුණේ කියලා අපි කවුරුත් දන්නේ නෑ. කිත් නොයාර්ට දස වධ දීලා කරදර කරලා අනූ නවයෙන් බේරුණේ. ලසන්ත වික්‍රමතුංග කියන මාධ්‍යවේදියාට සිදුවූ භයානක මරණය කියන මේ සියල්ල පිටුපස සිටියේ දේශපාලන ලෝකයේ ඇතැම් නායකයෝ. මේ කිසි කෙනකු ගැන කිසිම විදිහකින් අද වනතුරු යුක්තිය ඉටුවෙලා නෑ‍. පාස්කු ප්‍රහාරය ගැන අපට කියන්න තියෙන්නෙත් එච්චරයි.”

මෙහි නඩු කටයුතු තවම සිදුවුණද මෙහි මහ මොළකරුවන් කවුරුන්දැයි සොයා ගැනීමට හෝ අනාවරණය කර ගැනීමට තවමත් හැකි වූ බවක් නොපෙනේ. එහෙත් අවස්ථා ගණනාවකදී විවිධ පාර්ශ්ව විසින් මේ සම්බන්ධයෙන් විවිධ හෙළිදරව් කළ බව අපි දුටුවෙමු.

ශානි අබේසේකර යනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයාය. එසේම කලක් පොලිස් සේවයෙන් ඉවත් වී සිටි ඔහු වර්තමානයේ සක්‍රීය පොලිස් සේවයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස බඳවාගෙන පාස්කු ප්‍රහාරය ඇතුළු අපරාධ රැසක විමර්ශන කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටී. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය විසින් රචනා කරනු ලැබූ පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ග්‍රන්ථ දොරට වැඩුමට එක්වෙමින් එහි දේශනයකදී ශානි අබේසේකර මහතා පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනවල වර්තමාන තත්ත්වය රටට අනාවරණය කළේය.

එකී මෙකී නොකී කතා අතර වර්තමාන රජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැබෑ යුක්තිය ඉටු කිරීම දවසකින් හෝ මාසයකින් කළ නොහැකි බව ආණ්ඩුව ලබාගත් පසු වැටහුණු බවයි. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වර්තමාන රජයේ ස්ථාවරය පැහැදිලි කළේ මෙසේය.

“කාදිනල්තුමාගේ ප්‍රකාශය දෙස සෘණාත්මකව බැලීමට අපි කිසිසේත් සූදානම් නෑ. ඕනෑම ප්‍රශ්නයකදී එහි ඍජු වින්දිතයන්ට එහි සාමාන්‍ය සමාජයට වඩා කම්පනයක් තිබෙනවා. එය අප පිළිගත යුතුයි. කාදිනල්තුමාගේ ඒ හැඟීම සාධාරණයි. ඒ වගේම රජයක් හැටියටත් අපිට ඒ ගැන වගකීමක් තිබෙනවා. අපි ඒ විමර්ශන කටයුතු කරගෙන යනවා. විමර්ශනවල ප්‍රගතිය ගැන කියනවාට වඩා ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු දුරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ගමන් කර තිබෙනවා. අපි ආණ්ඩුව බාරගත්තේ මේ ප්‍රහාර සිදුවී සාක්ෂි පේන්න තිබිලා වරදකරුවන් හඳුනාගන්න පහසු පරිසරයක නොවේ. ඝාතකයන්ම මේ රාජ්‍ය බලය උපයෝගී කරගෙන සාක්ෂි වසන් කරපු තත්ත්වයකයි. ඒ වගේම සාක්ෂි සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ඇතුළු පුද්ගලයන් සීසීකඩ විසුරුවා හැරි තත්ත්වයක. පසුගිය මාස කිහිපයේදී මේ තාක් අත්කරගෙන ඇති පරීක්ෂණ ප්‍රගතිය සම්බන්ධයෙන් අපි යම් සෑහීමකට පත් වෙනවා. ඒත් තව විසඳාගත යුතු තැන් කිහිපයක් තිබෙනවා. ඒවාත් මේ වනවිට කරගෙන යනවා.” යනුවෙනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමන්තුරෙයි ජන රැලියකදී පැවසුවේ පාස්කු දා ප්‍රහාරය හේතුවෙන් මෙරට මුසල්මානු වැසියන් දැඩි අපහසුතාවට පත් වී සිටින බවත් ඇතැමුන් ඔවුන් දෙස චෝදනා ස්වරූපයෙන් බැලීමෙන් ඔවුන් වරදක් නොකර වැරැදිකරුවන් බවට පත් වී සමාජයෙන් කොන් වී සිටින බවයි. එසේම ජනාධිපතිවරයා එහිදී ප්‍රතිඥා දුන්නේ වරදකරුවන් නීතිය හමුවට ගෙන එන බවයි.
ජනාධිපතිවරණයට පෙර දුන් පොරොන්දුව අනුව මෙවර පාස්කු ඉරුදින ප්‍රහාරයේ 6 වැනි මතක සැමරුමට පෙර ඒ සම්බන්ධයෙන් ප්‍රහාරයේ මහ මොළකරුවන් හෙළි කිරීමට රජය අපොහොසත් වන්නේ නම් කතෝලික සභාව විරෝධය දක්වන බව කාදිනල්තුමෝ පැවසූහ. එනම් මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ සිට කොළඹට පා ගමනක් සමඟය.

කෙසේ වෙතත් පසුගියදා නැගෙනහිර සරසවියේ හිටපු උපකුලපතිවරයකුගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන්ද ප්‍රශ්න කර ඇති බව දැනගන්නට ඇත. එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය. ඒ 2018 වසරේදී මඩකලපුව – වවුනතිව් ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය වීමේ සිදුවීමකට අදාළ විමර්ශන නොමග යැවීම සම්බන්ධයෙන් වන චෝදනා හේතුවෙන් මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත‍.

කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන පැවැත්වෙමින් අධිකරණ ක්‍රියාදාමයක් සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තතු පිළිබඳ අපි කියන්නට උත්සාහ නොකරමු. එහෙත් මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ FBI ආයතනය සිදුකළ පරීක්ෂණයේ වාර්තාව ද මෙහිදී සැලකිය යුතුය. කෙසේ හෝ අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ පාස්කු දා ප්‍රහාරයට වසර 6 ක් සපිරෙන මොහොත වනවිට මෙම මිලේච්ඡ අපරාධයේ සැකකරුවන් නීතිය හමුවට පැමිණවීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම විනිවිදභාවයකින් යුක්තව සිදු කිරීම වත්මන් ආණ්ඩුව මුහුණ දී සිටින බරපතළ අභියෝගයක් බවයි. එය සැබෑම අභියෝගයක් වන්නේ මැයි මස පැවැත්වීමට නියමිතව සිටින පළාත් පාලන මැතිවරණය අභිමුව සිටීම නිසාවෙනි.

• සසංක චලන ගිම්හාන

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04