2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා

ස්වර්ගස්ථ වූ ජනතාවගේ පාප් වහන්සේ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:02 49

ලොව පුරා වෙසෙන රෝමානු කතෝලිකයන් බිලියන 1.4 කගේ ආධ්‍යාත්මික නායකයා වූ පළමුවැනි ෆ්‍රැන්සිස් ශුද්ධොත්තම පියාණන් පසුගිය 21 වැනි සඳුදා උදෑසන 7.30ට පමණ ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනය කළේය. කලක් රෝගාතුව සිටි උන්වහන්සේ වතිකානයේ පිහිටි තම නිවහන වූ “කසියා සාන්ත මාර්ත” හිදී ස්වර්ගස්ථ වන විට 88 වැනි වියේ පසු වූහ. උන්වහන්සේගේ මරණයට හේතුව ආඝාතය සහ පසුව ඇතිවූ හෘදයාබාධයකින් බවට තහවුරු කෙරිණි. උන්වහන්සේ අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ඊට පෙර දින, එනම් පාස්කු ඉරිදා දිනයේදීය. එහිදී උන්වහන්සේ රැස්ව සිටි ජනතාවට සුබ පාස්කු මංගල්‍යයක් ප්‍රාර්ථනා කළේය. පසුදින අලු‍යම සුරදූතයන් උන්වහන්සේ දෙවිඳුන් වෙත කැඳවාගෙන ගොස් තිබිණි. ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය විවෘත මිනී පෙට්ටියක තැන්පත් කර තිබූ අතර අවසන් කටයුතු 26 වැනිදා සෙනසුරාදා සිදු කෙරිණි.

තම මරණය පවා සම්ප්‍රදායෙන් බැහැරව සිදු කිරීමට උන්වහන්සේ තීරණය කර තිබිණි. සාම්ප්‍රදායිකව ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම පියතුමකුගේ දේහය තැන්පත් කරනුයේ සයිප්‍රස්, ඊයම් සහ ඕක් ලීයෙන් සාදන ලද මිනී පෙට්ටියකය. එහෙත් පළමුවැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තම දේහය තැන්පත් කරන ලෙස ඉල්ලා ඇත්තේ සින්ක් ආලේප කළ සාමාන්‍ය ලී පෙට්ටියකය. එය වර්ණවත් සැරසිලිවලින් තොර විය යුතු බවත් උස් වේදිකාවක් මත නොතබන ලෙසත් උන්වහන්සේ ඉල්ලා තිබිණි. එමෙන්ම මෙතෙක් ස්වර්ගස්ථ වූ පාප්වරුන් සියයකගේ පමණ දේහ තැන්පත් කර ඇති වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවෙන් පිටත රෝමයේ ශාන්ත මේරි බැසිලිකාවේ තැන්පත් කෙරෙන පළමුවැනි පාප් වහන්සේගේ දේහය වන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයයි.

එමෙන්ම එම පදවියට තේරී පත් වූ පළමු ජේසු නිකායික කාදිනල්වරයා ද විය. ආජන්ටිනාවේ උපත ලද උන්වහන්සේ පාප් පදවියට පත් වූයේ වසර 600කට ආසන්න කාලයක් තුළ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය පළමු පාප්වරයා වූ XVI වැනි බෙනඩික්ට්, පාප් වහන්සේගෙන් පසුය.

1936 දෙසැම්බර් 17 වැනි දින බුවනෝස් අයර්ස් නගරය ආසන්නයේ පිහිටි ෆ්ලෝරස් හි ජොර්ජේ මාරියෝ බර්ගොග්ලියෝ ලෙස උපත ලද උන්වහන්සේගේ ජීවිතයට තර්ජනයක් වූ නියුමෝනියාව හේතුවෙන් 21 හැවිරිදි වියේ දී පෙනහැල්ලෙන් කොටසක් කපා ඉවත් කිරීමට සිදුවිය.

ඉන් සුවය ලැබීමෙන් පසු 1958 දී ජේසු නිකායට බැඳුණේය. 1969 දී කතෝලික පූජකවරයකු බවට පත් වූ අතර 1973 සිට 1979 දක්වා, ඔහු ආජන්ටිනාවේ නිකායික ප්‍රාන්ත ප්‍රධානියා විය. 1998 දී බුවනෝස් අයර්ස් හි අගරදගුරු පදවියට පත් වූ අතර 2001 දී දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් කාදිනල්වරයකු ලෙස නම් කෙරිණි.

බර්ගොග්ලියෝ බුවනෝස් අයර්ස් පළාතේ රාමොස් මෙජියා හි විල්ෆ්‍රිඩ් බැරන් ඩි ලොස් සැන්ටොස් ඇන්ජලිස් පාසලට ඇතුළත් විය. පසුව ඔහු තාක්ෂණික ද්විතීයික පාසලක් වන එස්කුවෙලා ටෙක්නිකා කාර්මික අංක 27 හිපොලිටෝයිරිගොයින් හි අධ්‍යාපනය ලබා රසායනික කාර්මික විද්‍යා ඩිප්ලෝමාවක් ලබා ගත්තේය. දර්ශනය පිළිබඳ උපාධිය ලබාගත් එතුමා, 1964 සිට 1965 දක්වා සැන්ටා ෆෙහි උසස් පාසලක් වන කොල්ජියෝ ඩි ලා ඉන්මාකුලඩා කොන්සෙප්සියන් හි සාහිත්‍ය සහ මනෝවිද්‍යාව ඉගැන්වූ අතර 1966 දී, බුවනෝස් අයර්ස් හි කොල්ජියෝ ඩෙල් සැල්වදෝර්හි ගුරුවරයෙක් ලෙස සේවය කළේය. 1992 දී බුවනෝස් අයර්ස් හි සහායක රදගුරු පදවියට පත් කරන ලද බර්ගොග්ලියෝ, 1992 ජූනි 27 වැනි දින අවුකාහි නාමික රදගුරු පදවියට පත් කරන ලදී.

1997 ජූනි 3 වැනි දින, බර්ගොග්ලියෝ බුවනෝස් අයර්ස් හි සම-අගරදගුරු පදවියට පත් කරන ලද අතර, පසුව මෙට්‍රොපොලිටන් අගරදගුරු පදවියට පත් විය. ඔහු අගරදගුරු පදවිය ප්‍රතිව්‍යුහගත කළේය. අගරදගුරු බර්ගොග්ලියෝගේ ප්‍රධාන කාර්යයන් අතුරින් එකක් වූයේ බුවනෝස් අයර්ස් හි පැල්පත් නගරයේ (විලා මිසීරියා) මුඩුක්කු ප්‍රදේශවල දේවස්ථාන ඉදි කිරීමය. එතුමාගේ නායකත්වය යටතේ, පැල්පත් නගරවල වැඩ කිරීමට අනුයුක්ත කරන ලද පූජකවරුන් සංඛ්‍යාව දෙගුණ වූ අතර, ඒවායේ කටයුතු එතුමා විසින්ම සොයා බැලීය. එහෙයින් ජනතාව ඔහු හැඳින්වූයේ “විලෙරෝ බිෂොප්”‍ හෙවත් පැල්පත්වාසීන්ගේ බිෂොප්වරයා ලෙසිනි.

කාදිනල්වරයකු ලෙස, උන්වහන්සේ රෝමානු කියුරියාවේ පරිපාලන තනතුරු පහකට පත් කරන ලදී. දිව්‍ය නමස්කාරය සහ සක්‍රමේන්තු විනය සඳහා වූ සභාව, පූජක පක්ෂය සඳහා වූ සභාව, කැපවූ ජීවිත සහ අපෝස්තලික ජීවිත සමාජ සඳහා වූ සභාව, පවුල සඳහා වූ පාප්තුමාගේ කවුන්සිලය සහ ලතින් ඇමෙරිකාව සඳහා වූ කොමිසමේ සාමාජිකයෙක් ලෙස එතුමා කටයුතු කළේය.

කාදිනල් බර්ගොග්ලියෝ ඔහුගේ පෞද්ගලික නිහතමානිත්වය සහ සමාජ සාධාරණත්වය සඳහා කැපවීම උදෙසා ප්‍රසිද්ධියට පත් විය. අලංකාර අගරදගුරු නිවෙසට වඩා කුඩා මහල් නිවාසයක ජීවත් වීම, පොදු ප්‍රවාහනය භාවිත කිරීම සහ තමාගේම ආහාර පිසීම ඇතුළු ඔහුගේ සරල ජීවන රටාව ඔහුගේ කීර්තිනාමය වර්ධනය කළේය.

2005 අප්‍රේල් 2 වැනි දින දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමා ස්වර්ගස්ථ වූ පසු, කාදිනල් බර්ගොග්ලියෝ එතුමාගේ අවමංගල්‍යයට සහභාගී වූ අතර 2005 දී පැවති XVI වැනි බෙනඩික්ට් පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමේදී ඡන්දදායක කාදිනල්වරයෙක් ද විය.

2013 මාර්තු 13 වැනි දින බර්ගොග්ලියෝ කාදිනල්වරයා පාප් වහන්සේ ලෙස තේරී පත් වූ අතර, පළමුවැනි ෆ්‍රැන්සිස් යන පාප් නාමය තෝරා ගත්තේය. අසීසියේ ශාන්ත ෆ්‍රැන්සිස්තුමන්ට ගෞරවයක් වශයෙන් තම පාප් නාමය ලෙස පළමුවැනි ෆ්‍රැන්සිස් ලෙස තෝරාගත් උන්වහන්සේ තම ජීවිත කාලය පුරාම නිහතමානිකම, දෙවියන් වහන්සේගේ දයාව අවධාරණය කිරීම, පාප්තුමකු ලෙස ජාත්‍යන්තර සබඳතා පැවැත්වීම, දුප්පතුන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීම සහ අන්තර් ආගමික සංවාදයට කැපවීම නිසා විශේෂයෙන් කැපී පෙනුණි. එතුමාගේ ජීවිතය ඉතා සරල විය. පෙර පාප්වරුන් විසින් භාවිත කරන ලද අපෝස්තලික මාලිගාවේ නොව ශාන්ත මාර්තාගේ නිවෙස නමින් හැඳින්වුණු ආගන්තුක නිවාසයේ වාසය තෝරා ගත්තේය. කතෝලික පල්ලිය සමලිංගික ප්‍රජාව කෙරෙහි වඩාත් අනුකම්පා සහගත විය යුතු බව ඔහු කියා සිටියේය. උන්වහන්සේ ආර්ථිකය, පරිභෝජනවාදය සහ අධි සංවර්ධනය පිළිබඳ විචාරකයෙක් වූහ. දේශගුණික විපර්යාස පිළිබඳ ක්‍රියාමාර්ග පිළිබඳව උන්වහන්සේගේ ප්‍රමුඛ අවධානය යොමු විය. මරණ දඬුවම අයහපත් ක්‍රියාවක් ලෙස හෙළා දුටු එතුමා කතෝලික පල්ලිය එය අහෝසි කිරීමට කැප වී සිටින බවද ප්‍රකාශ කළේය. දිළින්දන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ උන්වහන්සේ තමන්ට ත්‍යාගයක් ලෙස ලද ලැම්බෝගිනි වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය අලෙවි කර එම මුදල් පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කළේය. ජාත්‍යන්තර ටයිම් සඟරාව උන්වහන්සේ නම් කළේ ජනතාවගේ පාප් වහන්සේ ලෙසිනි.

පාප්තුමන් සිය අසුනේ වාඩි වී සිටිමින් කාදිනල්වරුන්ගේ සුබ පැතුම් පිළිගැනීමේ සම්ප්‍රදාය වෙනුවට, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිටගෙන ඔවුන් පිළිගත්තේය. එය වතිකානුවේ සාම්ප්‍රදාය වෙනස් වන ප්‍රවේශයක ලක්ෂණයක් විය. ශාන්ත පීතර බැසිලිකාවේ බැල්කනියේ පාප්තුමා ලෙස එතුමා පළමු වරට ජනතාව ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේ පෙර පාප්වරුන් විසින් භාවිත කරන ලද රතු පැහැති ඇඳුම වෙනුවට සුදු පැහැති ලෝගුවකින් සැරසී සිටියේය. ඔහුගේ පූර්වගාමීන් විසින් පැළඳ සිටි රන් කුරුසය වෙනුවට බුවනෝස් අයර්ස් අගරදගුරුවරයාව සිටි සමයේ පැළඳි යකඩ කුරුසය පැළඳ සිටියේය.

ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දක්ෂිණාංශික ජනතාවාදයේ නැගීම විවේචනය කළ අතර, චීන බිෂොප්වරුන් පත් කිරීමේදී කොමියුනිස්ට් පක්ෂයට කොපමණ බලපෑමක් ඇති කළේද යන්න නිර්වචනය කිරීම සඳහා චීන මහජන සමූහාණ්ඩුව සමඟ ගිවිසුමක් සාකච්ඡා කිරීමට හා සරණාගතයන්ට රැකවරණය සැලසීම සම්බන්ධයෙන් ද කටයුතු කළේය. සංක්‍රමණිකයන් ආරක්ෂා කිරීම “ශිෂ්ටාචාරයේ යුතුකමක්”‍ ලෙස හැඳින්වූ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු සංක්‍රමණ විරෝධී දේශපාලනය විවේචනය කළේය. 2022 දී, කැනේඩියානු ආදිවාසී ජනයාගේ “සංස්කෘතික ජන සංහාරය” සම්බන්ධයෙන් පල්ලියේ භූමිකාවට ඔහු සමාව අයැද සිටියේය.

• පාප් තනතුර

ලොව කුඩාම රාජ්‍යය වන වතිකානයේ රාජ්‍ය නායකයා ද, රෝමයේ අගරදගුරුවරයා ද ලොව පුරා කතෝලික ප්‍රජාවේ ආධ්‍යාත්මික නායකයා ද වන්නේ පාප් වහන්සේය. ක්‍රි.ව. 756 සිට 1870 දක්වා, පාප් වහන්සේ දේවස්ථාන රාජ්‍යයේ (State of the Church) (ඉතාලි අර්ධද්වීපයේ භූමි ප්‍රදේශවල එකතුවකි. 1859 සහ 1870 අතර කාලයේ ඉතාලිය එක්සත් කිරීමෙන් පසු මෙම රාජ්‍ය අවසන් විය) ස්වෛරී හෝ රාජ්‍යය නායකයා වූ අතර, 1929 පසු වතිකානු රාජ්‍යයේ නායකයා විය. කතෝලික සම්ප්‍රදායට අනුව, රෝමයේ අපෝස්තලික ආසනය පළමු සියවසේදී ශාන්ත පීතර සහ ශාන්ත පාවුළුතුමන් විසින් ආරම්භ කරන ලදී. රෝමයේ අගරදගුරුවරයා යනු ක්‍රිස්තුස් වහන්සේගේ අපෝස්තුළුවරු 12 දෙනාගෙන් ප්‍රමුඛ අපෝස්තුළුවරයා වූ ශාන්ත පීතරතුමන්ගේ අපෝස්තලික අනුප්‍රාප්තිකයාය. ශාන්ත පීතරතුමන්ට ජේසුස් වහන්සේ විසින් ස්වර්ගයේ යතුර දුන් බව බයිබලයේ සඳහන්ය. 2025 අප්‍රේල් 21 වැනි දින ස්වර්ගස්ථ වූ පළමුවැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශාන්ත පීතරතුමන්ගේ භූමිකාව නියෝජනය කළ මෑත කාලීන පාප් වහන්සේය.
රෝමානු කතෝලික සභාව, ලොව පැරණිතම සහ විශාලතම අවිච්ඡින්නව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ආයතනය වන අතර එය බටහිර ශිෂ්ටාචාරයේ ඉතිහාසය සහ සංවර්ධනයෙහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. කතෝලික සභාව, ලතින් සභාව සහ පෙරදිග කතෝලික සභා 23 ක් ඇතුළුව ස්වාධීන සභා 24කින් සමන්විත වන අතර ඒවා ලොව පුරා පිහිටි රදගුරු පදවි සහ ප්‍රාදේශීය පදවි 3,500කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත වේ. රෝමයේ බිෂොප්වරයා වන පාප්තුමා සභාවේ ප්‍රධානියාය. ශුද්ධාසනය ලෙස හැඳින්වෙන රෝමයේ අගරදගුරු පදවිය සභාවේ මධ්‍යම පාලන අධිකාරිය වේ. ශුද්ධාසනයේ පරිපාලන ආයතනය, රෝමානු කියුරියාව ලෙස හඳුන්වන අතර, එහි ප්‍රධාන කාර්යාල ඇත්තේ ඉතාලියේ රෝමයේ කුඩා පරිවාර භූමියක් වන වතිකානු නගරයේය. එහි රාජ්‍ය නායකයා ද පාප්තුමා වේ.

• පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ පසු

පාප්වරයකු ස්වර්ගස්ථ වූ විට එම මරණය තහවුරු කරනු ලබන්නේ කැමර්ලෙන්ගෝ (camerlengo) නමින් හඳුන්වන වතිකානයේ ආදායම් සහ මූල්‍ය කටයුතු භාර කාදිනල්වරයා විසිනි. සාම්ප්‍රදාය අනුව කැමර්ලෙන්ගෝ පාප්තුමන්ගේ දේහය අසල සිට එතුමාගේ බෞතීස්ම නාමයෙන් තෙවරක් ආමන්ත්‍රණය කරයි. පාප් වහන්සේ එම ආමන්ත්‍රණයට ප්‍රතිචාර නොදක්වන්නේ නම් උන්වහන්සේ ස්වර්ගස්ථ වූ බැව් කාදිනල්වරුන්ට දන්වා උන්වහන්සේ වාසය කළ නිවාසයට මුද්‍රා තබනු ලැබේ. එම චාරිත්‍රයේ විශේෂ අවස්ථාවක් වන්නේ පාප්තුමන් පැළඳ සිටි මුදුව කඩා දැමීමය. එම මුදුව තුළ උන්වහන්සේගේ බලය රැඳී ඇති අතර එය කඩා දැමීමෙන් එතුමාගේ පාලනය අවසන් බවට තහවුරු කෙරේ. ඉන් පසු නොවෙන්ඩියෙල්ස් (novendiales) ලෙස හඳුන්වන වතිකානුවේ සාම්ප්‍රදායික ශෝක දින නවය ආරම්භ වේ.

නව පාප්වරයකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ස්වර්ගස්ථ වීමෙන් දින 15 සිට 20 දක්වා අතර කාලය තුළ ආරම්භ වේ. කැමර්ලෙන්ගෝ නමින් හැඳින්වෙන කාදිනල්වරයා ඡන්ද විමසීම සංවිධානය කිරීම භාරව සිටින අතර එය හැඳින්වෙන්නේ “කොන්ක්ලේව්” නමිනි. ඡන්ද විමසීමට පෙර කතෝලික සභාව මුහුණ දෙන අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවමංගල්‍ය උත්සවයට පෙර රහස් රැස්වීමක් කැඳවනු ලබයි. අපෝස්තලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සියලු‍ම කාදිනල්වරුන් එම රැස්වීමට සහභාගී විය යුතුය.

කාදිනල්වරු කතෝලික පල්ලියේ පූජක පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ වෙති. ඔවුහු රෝම රදගුරු පදවියේ පූජක පක්ෂයේ නාමික සාමාජිකයන් ලෙස හා රෝමයේ අගරදගුරුවරයා වන පාප්තුමාගේ උපදේශකයන් ලෙස පල්ලිය තුළ වැදගත් භූමිකා දරති. කාදිනල්වරුන් පාප් වහන්සේ විසින් තෝරා පත් කර විධිමත් ලෙස ස්ථාවර සභාවක් තුළ නිර්මාණය කරනු ලබන අතර, ඔවුන්ගේ ප්‍රමුඛතම රාජකාරිවලින් එකක් වන්නේ පාප්වරයකුගේ මරණයෙන් හෝ ඉල්ලා අස්වීමෙන් පසු ශුද්ධාසනය හිස් වූ විට (සෙඩේ වක්ටේ) නව පාප්වරයකු තෝරා පත් කර ගැනීමයි. එම කාදිනල් සාමූහිකය හැඳින්වෙන්නේ කාදිනල් විද්‍යාලය ලෙසිනි. 2025 අප්‍රේල් 21 වැනි දින වන විට, කාදිනල්වරුන් 252 දෙනකු සිටින අතර, ඔවුන්ගෙන් 135 දෙනකුට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් තිබේ. එහෙත් අපෝස්තලික ව්‍යවස්ථාවේ කාදිනල්වරුන් 120කට වඩා වැඩි සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සහභාගි විය නොහැකි බව සඳහන් කරයි. ඡන්දදායක කාදිනල්වරු 120 දෙනා තෝරා ගන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. අපෝස්තලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව Universi Dominici gregis (1996) මගින් අර්ථ දක්වා ඇති පරිදි, වත්මන් පල්ලියේ නීතිය යටතේ, ශුද්ධාසනය හිස් වන දිනයේ වයස අවුරුදු 80 වන නොඉක්මවූ කාදිනල්වරුන්ට පමණක් නව පාප්වරයකු තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කළ හැකිය.

• නව පාප්වරයකු තෝරා ගැනීමේ පිළිවෙත

නව පාප්වරයකු තෝරා ගැනෙන්නේ රහස් ඡන්දයකිනි. ඒ සඳහා ඡන්දය හිමි කාදිනල්වරු 120 දෙනා රෝමයේ සිස්ටයින් දේවස්ථානයට රැස්වෙති. මෙම සමුළුව අතිශය රහසිගත ක්‍රියාවකි. අපෝස්තලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, තහවුරු කරන ලද සහ හදිසි අවශ්‍යතාවයක් ඇති අවස්ථාවන්හිදී හැර, ඡන්දය පැවැත්වෙන ප්‍රදේශයෙන් පිටත කිසිවකු සමඟ කාදිනල්වරුන්ට සන්නිවේදනය කිරීමට අවසර නොමැත. ස්වර්ගස්ථ පාප්වරයකු සඳහා පැවැත්වෙන අවමංගල්‍ය චාරිත්‍ර හා දිව්‍ය පූජාවෙන් පසුව, ඡන්දය හිමි කාදිනල්වරු සිස්ටයින් දේවස්ථානයට යන අතර, එහිදී ඔවුන් අභිමතය පරිදි දිවුරුම් දී මහජනතාවට එහි ඇතුළු විය නොහැකි ලෙසට දොරටු වසා දැමේ.

ඔවුහු සියලු‍ බාහිර සම්බන්ධතාවලින් ඈත්ව එම දෙව් මැඳුරේ යාච්ඥා කරමින් දේව කැමැත්ත අනුව ඔවුන් අතුරින් කෙනකු නව පාප් වහන්සේ ලෙස තෝරා ගනිති. සෑම කාදිනල්වරයකුම ඡන්ද පත්‍රිකාවක තම කැමැත්ත ප්‍රකාශ කරන අතර පාප් වහන්සේ ලෙස පත්වන්නේ තුනෙන් දෙකක බහුතරයක් හිමි කරගන්නා කාදිනල්වරයාය. කිසිවකුට හෝ තුනෙන් දෙකක බහුතරයක් හිමි නොවුණහොත් මෙම ක්‍රියාව යළි යළිත් සිදුකෙරෙන අතර ඒ සඳහා දින ගණනක් හෝ සති ගණනක් ගත විය හැකිය.

මෙතෙක් පත්ව ඇති පාප්වරුන් 266 දෙනකුගෙන් 217 ක්ම ඉතාලි ජාතිකයන්ය. ඡන්දය පැවැත්වෙන සමස්ත කාලය පුරාම කාදිනල්වරු දෙව් මැඳුරේ දොරටු වසාගෙන තමන් අතුරින් ලොවට වඩා යහපත් සේවයක් සැලසිය හැකි කාදිනල්වරයා නව පාප්තුමා ලෙස පත් කිරීමට තමන් මෙහෙයවන ලෙසට දෙවියන් යදිති. පළමු වටයෙන් හෝ දෙවැනි වටයෙන් පාප්තුමකු තෝරාගත නොහැකි වුවහොත් දෙව් මැඳුරේ දුම් කුලු‍නක් තුළින් කළු පැහැති දුමාරයක් නිකුත් කර තවමත් පාප්තුමකු තෝරා නොගත් බවට ජනතාවට සංඥා කෙරේ. පාප්තුමකු තෝරාගත් විට එම කුලුනින් නිකුත් වන්නේ සුදු පැහැති දුමාරයකි. ඉන් ගම්‍ය වන්නේ තමන්ට නව පාප්වරයකු පත්ව ඇති බවයි. සුදු දුමාරය නිකුත් වී හෝරාවකට පමණ පසු නව පාප්තුමා ශාන්ත පීතර චතුරශ්‍රය දෙසට ඇති සඳැල්ල මත පෙනී සිටියි. එහිදී ජ්‍යේෂ්ඨ කාදිනල්වරයකු ලතින් බසින් “හබිමස් පෙපම්” යනුවෙන් ප්‍රකාශ කරයි. එහි අරුත අපට නව පාප්වරයකු සිටිනවා යන්නයි.

නව පාප් වහන්සේ ලෙස තේරී පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවට විශ්වාස කරන කාදිනල්වරුන් 22 දෙනකු හඳුනාගෙන ඇත. කාදිනල්වරයකු සතුව තිබිය යුතු ගුණාංග කිහිපයක් අතරට නිහතමානිකම, කතෝලික ඇදහිල්ල සඳහා ජ්වලිතය සහ යහපත්කම ප්‍රවර්ධනය කිරීම ඇතුළත් වන බව The College of Cardinal’s Report වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාවේ මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් ද එම පිරිසට අයත් බවත් නව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීම සඳහා ඡන්දය භාවිත කිරීමට උන්වහන්සේ ද රෝමයට යෑමට නියමිත බවත් ජාතික කතෝලික සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා සඳහන් කළේය.

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා