2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා

කලට වෙලාවට පොහොර සහනාධාරය නොලැබීමේ අවුල

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:03 36

පොහොර ප්‍රශ්නයෙන් බැටකමින් සිටි අහිංසක ගොවි ජනතාවගේ ගොවිතැනට මහ වැස්සෙන් අකුණක් ගැහුවේ හිටිගමන්ය. පිරිසකට පොහොර සහනාධාරය ලැබිලාය. තවත් පිරිසක් තමන්ට පොහොර සහනාධාරය ලැබී නැතැයි පවසමින් හිතේ දුකෙන්ය. රට වටෙන්ම ඇහෙන මෙම අඳෝනාවේ අවසානයක් නැත. ඒ අතරේ කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා අලු‍තෙන්ම හේනට කුඹුරට රතිඤ්ඤයක් දැම්මේය. එනම් ඉදිරියේදී ගොවීන්ට පොහොර සහනාධාරය වෙනුවට වගා සහනාධාරයක් ලබා දෙන බව පවසමිනි.  

2025 වසරේ යල කන්නය සඳහා මේ වනවිට කුඹුරු වැපිරීම සිදුකෙරෙන අතර තවමත් පොහොර සහනාධාරය ලැබී නොමැති බවට රට පුරා ගොවි ජනතාව බොහෝ දෙනෙක් පසුගිය දින කිහිපය පුරාම චෝදනා කළහ. මහකනදරාව ගොවි ජනපදයේ ගොවීන් පවසනුයේ නුදුරු අනාගතයේදීම පොහොර සහනාධාරය කපා දමාවි යැයි ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන් තමන්ට සැක උපදවන බවයි. ඔවුන් පවසනුයේ පොහොර සහනාධාරය දෙනවාද නැද්ද යන්න නිවැරැදිව තමන්ට පවසන ලෙසයි. මඩ පොහොර ටිකවත් නිසි වෙලාවට තමන්ට නොලැබීමෙන් තමන් දැඩි අපහසුතාවට පත් වී සිටින බව ගොවීන්ගේ මැසිවිල්ලයි. අම්පාර දිස්ත්‍රික්කයේ තොට්ටම සහ මාන්තෝට්ටම් ප්‍රදේශවල ගොවීන්ගේ කුඹුරුවලට සහනාධාර නොලැබීමෙන් ගොයම දුර්වල වී ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

පොහොර කතාවේ අතීත කතාව පිළිබඳ විමසීමේදී හෙක්ටයාරයකට රුපියල් පහළොස් දහසකට තිබූ පොහොර සහනාධාරය වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණේ පසුගිය ආණ්ඩු සමයේය. ඉන්පසු පැවති ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබුණේ එසේ රුපියල්  විසිපන් දහසකින් ඉහළ නැංවූ පොහොර සහනාධාරය ගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට ලබා දීමටය. එහෙත් එකී තීරණයට පරහක් හිටියේය. ඒ මැකෝගෙන්ය. මැතිවරණයක් නිවේදනය කර ඇති අවස්ථාවක මෙලෙස පොහොර සහනාධාරය ලබාදීමෙන් එක් පාර්ශ්වයකට වාසි සහගත තත්ත්වයක් උදාවන හෙයින් මහ මැතිවරණය අවසන් වන තෙක් සහනාධාරය අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යංශයට සහ කෘෂිකර්ම අමාත්‍යංශය වෙත දැනුම් දුන්නේය. එහෙත් මැකෝගේ තීරණයට ගොවි සංවිධාන උදැල්ල අතට අරන් පාරට බැස්සේය. ඔවුන් තරයේ කියා සිටියේ මහ කන්නයට පෙර සහනාධාරය තමන්ට ලැබිය යුතු බවයි.

වර්තමානයේ මතුව ඇති ගැටලු‍ව සම්බන්ධයෙන් එහි ඇත්ත නැත්ත වගේම නියෝජ්‍ය ඇමැතිවරයාගේ අලු‍ත්ම කතාවේ තතු දැන ගැනීමට අපි මේ ගැන සොයා බැලු‍වෙමු. වර්තමානය වනවිට රජය සැලසුම් කර ඇති ආකාරයට කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනුයේ ගොවීන්ට, පොහොර සහනාධාරය වෙනුවට වගා සහනාධාරයක් දීමට නියමිත බවයි. මෙම වගා සහනාධාරය යටතේ කුඹුරු බිම් හෙක්ටයාරයකට රුපියල් විසිපන්දහස බැගින් දෙකක් සඳහා රුපියල් 50,000ක මුදලක් හිමිවෙයි. රුපියල් 50,000ක මෙම වගා සහනාධාරය අදියර දෙකක් යටතේ ගොවීන්ට හිමිවන අතර, විසිපන් දහසක මුදලේ මුල් අදියර යටතේ ගොවීන්ට හිමිවන මුදල රුපියල් 15,000 කි. ඉතිරි රුපියල් 10,000ක මුදල දෙවැනි අදියර යටතේ හිමිවෙයි. මෙම වගා සහනාධාරය පොහොර මිල දී ගැනීම, වී වගා කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගැනීම, අස්වනු නෙලීමේ කටයුතු ඇතුළු වගාව සඳහා අදාළ ඕනෑම කටයුත්තකට ගොවීන්ට යොදාගත හැකිය.

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසුවේ සුළු වාරිමාර්ග සහ මහා වාරිමාර්ග ජලාශයන්හි පාලනය වන කුඹුරු ඉඩම් අක්කර ලක්ෂ‍ පහක පමණ යල කන්නයේ වගා කටයුතු සඳහා ගොවීන්ට පොහොර සහනාධාර මුදල් ප්‍රමාද වූ බවයි. හුරුළු වැව, රාජාංගණය, පදවිය ඇතුළු මහා වාරිමාර්ග යටතේ පාලනය වන කුඹුරු වපුරා අවසන් බවත්, සුළු වාරිමාර්ග යටතේ වගා කෙරෙන කුඹුරුවලද මේ වනවිට වගා කර අවසන් බවත්, මහවැලි ව්‍යාපාරය යටතේ පාලනය වන කුඹුරු ඉඩම් සඳහා මෙම මස 20 වැනිදා ජලය නිකුත් කළ බවත් ඔහු පැවසුවේය. නැගෙනහිර පළාතේ මුළුමනින්ම වී වපුරා අවසන් අවසන් වී පැවතියද එම පොහොර සහනාධාර මුදල් ප්‍රමාද යැයි ද සභාපතිවරයා චෝදනා කළේය. කෙසේ වෙතත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා පැවසුවේ යල කන්නයේ දිස්ත්‍රික්ක 9 ක ගොවීන්ට පොහොර සහනාධාර මුදල් ඔවුන්ගේ බැංකු ගිණුම්වලට ඉකුත් 22 දා සිට බැර කරන බවයි.

අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ ගොවීන්ට දුන් සහනාධාරය මොන මොන නමින් ආවත් එකී සහනය ඔවුන්ට අවශ්‍යම මොහොතේ නොමැති නම් ගැටලු‍වක් බවයි. එදා මෙදා තුර ගොවියා උදැල්ල අරගෙන පාරට බැස්සේ එසේ නොමැති වූ විටය. එසේ හෙයින් පොහොර සහනාධාරය හෝ වගා සහනාධාරය රට පුරා ගොවීන්ට නිසියාකාරව ලබා දෙන ක්‍රමවත් යාන්ත්‍රණයක් ඇති කිරීම ප්‍රමුඛ කාර්යය බව අපි අවබෝධ කරගත යුතු වෙමු. එසේ නොමැතිව ගොවි රැස්වීම්වල ගමේ ගොවීන්ට කුකුළු අඬු ගැන පැවසීම ප්‍රහසනයකි.
 
• සසංක චලන ගිම්හාන

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03