සත්ව ලෝකය විවිධාකාරය. සොබාදහමේ අනගි දායාදයක් වන සතුන් විවිධ වශයෙන් කාණ්ඩගත කළ ද වැඩකට නැති සතුන් කියා ඉවත් කළ හැකි කිසිම සතකු මේ මිහිපිට නොමැත. කෙසේ නමුත් දෛනික ජීවිතයේදී බූරුවා යන නාමය අපට වඩාත්ම සමීපව ඇසෙන්නේ කවරකුට හෝ අපහාසාත්මක බැණ වැදීමක් සිදු කරන විටය. බූරුවා යන සත්ත්වයාට ශ්‍රී ලංකාවේ තත්ත්වය එසේ වුවද විදේශ රටවල්වල බූරුවා යනු ඉතා වටිනා සතෙකි. Equus asinus නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන බූරුවා, අශ්ව පවුලට අයත් සත්ත්වයෙකි.
ශ්‍රී ලංකාවට ඉතාම නුහුරු දෙයක් වුවද, බූරු කිරි ආශ්‍රිත ආහාර පාන සහ රූපලාවණ්‍ය ද්‍රව්‍ය යනු ලෝක වෙළඳපොළේ අධි සුඛෝපභෝගී මට්ටමෙන් අලෙවි වන නිෂ්පාදනයන්ය. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ගමන් මග නව මානයකට යොමු කරවමින්, අන්තර්ජාතික වෙළෙඳපොළ සඳහා බූරු කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසීම අරමුණු කරගත් බූරු කිරි කර්මාන්තයක් කල්පිටියේ ස්ථාපිත කිරීමට ශ්‍රී ලාංකික ව්‍යවසායකයකු වන රොෂාන් ලෝව් මහතා සැලසුම් කර තිබේ. යෝජිත ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක් පසුගිය සතියේ පැවැත්වූ අතර මෙම රැස්වීමට පුත්තලම අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චතුරක ජයසිංහ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත අඩවි ආරක්ෂක උපාලි කුමාරතුංග, කල්පිටිය සෞඛ්‍ය නිලධාරී වේල්ලසිරි මදුමාල්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරි එච්.එම්. දිසානායක සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීහු සහභාගි වී සිටියහ. සාකච්ඡාවෙන් පසු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථානයක් පරීක්ෂා කිරීම වෙනුවෙන් ඔවුන් ක්ෂේත්‍ර සංචාරයකට ද සහභාගි වී ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව වැඩිමනක් තතු දැන ගැනීම සඳහා මෙම ව්‍යාපෘතියේ නියමුවරයා වන රොෂාන් ලෝව් මහතාගෙන් දේශය සිදුකළ විමසීමේදී ඒ මහතා මෙලෙස පවසා සිටියේය.
“මේ වෙනකොට රටවල් පහළොවක විතර මේ කර්මාන්තය කරනවා. ඉතාලිය, ස්පාඤ්ඤය වගේ රටවලත් මේ කර්මාන්තය කරනවා. මම සහ ඉතාලි ජාතිකයෙක් තමයි මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කරන්නේ. අපි දෙන්නම ඉතාලියේ තමයි මේ වෙනුවෙන් ආයෝජනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. අපේ බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ඉන්න සතුන්ගෙන් කිරි අරගෙන ඒවා පවුඩර් කරලා ස්පාඤ්ඤයට සහ ඉතාලියට යවන්න. අවුරුදු දෙකකට පස්සේ අපි චීස් එක හදන්න පටන් ගන්නවා. කිරි ලීටර් 25 ක් ඕනෙ එක චීස් කිලෝ එකක් හදන්න. යුරෝපයේ වගේ නම් එක චීස් කිලෝ එකක් යුරෝ 1500 ක් වගේ වෙනවා. ජපානයේ නම් ඩොලර් 5000 ක් වගේ වෙනවා. මේක තමයි අපේ මූලිකම අදියර. දැනට ලංකාවේ ඉන්න සත්තු දවසකට කිරි දෙන්නේ මිලි ලීටර් 100ත්, 200ත් අතර ප්‍රමාණයක්. මොකද මේ සතුන්ට හරි හමන් ආහාර වේලක් නෑ. ප්ලාස්ටික් වගේ දේවල් ඇහිදගෙන කනවා. තුවාල වෙනවා. ඉතින් පාරවල්වල ඉන්න මේ සතුන්ව ඇතුළකට අරගෙන ප්‍රතිකාර කරන්න ඕනෑ. මුල් අදියරට අපිට අවුරුද්දක් විතර යනවා, නිසි ප්‍රමිතියකට සත්තු ටික හදලා නිෂ්පාදනය පටන් ගන්න.”
බූරුවා යනු මුහුදුබඩ වියළි කාලගුණයට හැඩගැසුණු සත්ත්වයෙකි. ශ්‍රී ලංකාවේ බූරුවන් වැඩි වශයෙන් ගැවසෙන්නේ පුත්තලම, කල්පිටිය ආශ්‍රිතවය. මේ සතුන් දේශගුණ විපර්යාසය දරා ගැනීමට අපොහොසත් සතුන්ය. පසුගිය වසරේ බූරුවන් දොළොස් දෙනකු පර්යේෂණ කටයුතු සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට රැගෙන ගොස් තිබූ බවත්, ඒ අතරින් දේශගුණ විපර්යාස හේතුවෙන් බූරුවන් නව දෙනෙක් මියගොස් ඇති බවත් රොෂාන් ලෝව් මහතා පැවසීය. තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ කල්පිටිය මුහුද ආසන්නයේ බූරුවන් වැඩිපුර ගැවසෙන ‘ඩොංකි පොයින්ට්’ ලෙස නම් කරන ලද තැනක් ඇති බවත් තම ව්‍යාපෘතිය සඳහා ඒ ආශ්‍රිත ස්ථානයක් ඉල්ලා ඇති බවත්ය.
මෙරට බූරුවන් ගැන කතා කිරීමේදී මේ සතුන්ට ජීවත් වීමට නිශ්චිත වාසස්ථානයක් නොමැති අතර පාරවල්වල ඉබාගාතයේ ඇවිදිමින් ජීවත් වෙති. ඇතැම් අවස්ථාවලදී රථවාහන අනතුරුවලින් උන් මිය යන අවස්ථා ද ඇත. ඊට අමතරව නොදිරන අපද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් රෝගී වූ බූරුවන් ද බොහෝය. එමෙන්ම ඔවුන් ආහාර සොයා කඩවල්වලට යාමේදී මිනිසුන්ගෙන් පහරකෑම්වලට ලක් වී තුවාල ලැබූ අවස්ථා ද බහුලය. මේ ව්‍යාපෘතියේ දී සියලුම සතුන් එක තැනකට ඒකරාශී කිරීමේ වැඩපිළිවෙළක් පවතින අතර එහිදී බූරුවන්ට සිදුවන අනතුරු අවම වීම මෙන්ම ඔවුන්ට නිසි පරිදි ආහාර සහ අවශ්‍ය පෝෂණය ද ලබාදීම සිදු කරනු ලබයි.
බූරුවන්ගෙන් කිරි ලබාගෙන ඒවා අපනයනය කිරීමේ ව්‍යාපෘතියෙන් රටට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව අපි කළ විමසීමේදී රොෂාන් ලෝව් මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“අපි උත්සාහ කරනවා මේ ව්‍යාපෘතියේ මුල් අදියරේදී රැකී රක්ෂා හතළිහක් දෙන්න. එතැන විශේෂත්වයක් තියෙනවා. ඒ මෑත කාලීනව විශ්‍රාම ගිය නාවික හමුදාවේ කණ්ඩායමක් බඳවා ගන්න කටයුතු කරනවා. අපි යුරෝප් කැලැන්ඩරයට තමයි වැඩ කරන්න උත්සාහ කරන්නෙ. සාමාන්‍යයෙන් පෝය දිනවලට පවා වැඩ කරනවා. දවල් කාලයේ මිනිසුන්ට වැඩ කරන්න අමාරු නිසා අපි උත්සාහ කරනවා රෑට සහ පාන්දරට වැඩ කරන්න. ඒ වගේම අපි උත්සාහ කරනවා වසරක් ඇතුළත වක්‍ර රැකියා 400කට වැඩි ප්‍රමාණයක් ලබා දෙන්න. අපි ‘ලව් ඩොංකි’ කියලා මාතෘකාවක් යටතේ ලී වලින් හදන සිහිවටන, සෙරෙප්පු සපත්තු ඉඳලම නිෂ්පාදනය කරන්න උත්සාහ කරනවා ලෝගෝ එකක් ගහලා. එතකොට අපිට ඒක අලෙවි කරලා සතුන් වෙනුවෙන් මුදලක් උපයා ගන්න පුළුවන්. විශේෂයෙන් අපි උත්සාහ කරනවා එක බූරුවෙක් සඳහා තමන් කැමැති නමක් තැබීමට විදේශිකයකුට අවස්ථාව ලබා දෙන්න. අපි ඒක දැනට ඉතාලිය එක්ක කතා කරගෙන තියෙනවා. නමුත් මේ අවස්ථාව සෑම විදේශිකයකුටම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. නම තබන පුද්ගලයා ඒ වෙනුවෙන් මාසයකට ඩොලර් පහක් ලබා දෙන්න ඕනෑ. එතකොට අවුරුද්දකට ඩොලර් හැටක් ලැබෙනවා. ඒ ලැබෙන මුදල ප්‍රදේශයේ ඉන්න අඩු ආදායම්ලාභී දෙමව්පියන්ගේ දරුවන්ට අධ්‍යාපනය වෙනුවෙන් පරිත්‍යාග කරන්න කටයුතු කරනවා.”
මෙම ව්‍යාපෘතිය සඳහා මන්නාරම සහ පුත්තලම ප්‍රදේශයේ සිටින සියලුම බූරුවන් කල්පිටිය ප්‍රදේශයට රැගෙන ඒමට කටයුතු කරන බව රොෂාන් ලෝව් මහතා ප්‍රකාශ කර සිටියේය. මෙහි නිෂ්පාදන කටයුතු කරන ගොඩනැගිලි සියල්ලම කොන්ක්‍රීට් භාවිතයකින් තොරව දැව ආශ්‍රිතව සැකසීමට අදහස් කරන බවද හෙතෙම පැවසීය.
බූරු කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ශ්‍රී ලංකාවාසීන්ට එතරම් හුරුපුරුදු දෙයක් නොවේ. ඒ හේතුවෙන් මෙම නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට යොමු කිරීමේ හැකියාවක් තිබේදැයි අප විමසූ පැනයට පිළිතුරු දෙමින් රොෂාන් ලෝව් මහතා මෙලෙස පවසා සිටියේය.
“ඒකට අපිට ටික කාලයක් යනවා. මොකද මේක ඉතාමත් මිල අධිකයි. ලෝකයේ මේ නිෂ්පාදන පාවිච්චි කරන්නේ වී.වී.අයි.පී. කියන ඉහළම පෙළේ අය. බූරු කිරිවලින් රූපලාවණ්‍ය නිෂ්පාදන හදනවා. බූරු කිරිවලින් හදපු මූණේ ගාන ක්‍රීම් මිලිග්‍රෑම් 100 ක්, ඉතාලියේ යුරෝ 700 ක් මිල වෙනවා. විදේශ රටවල වැඩිපුරම රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා තමයි බූරු කිරි යොදා ගන්නෙ. ඒ වගේම චීස් හදනවා. බොන්නත් ගන්නවා. දැනට ලංකාවේ බූරු කිරි සඳහා මාකට් එකක් නැහැ. ඒක ඉදිරියේදී හෙමින් සීරුවේ හදන්න උත්සාහ කරනවා. අපේ මූලිකම අදියර තමයි, කිරි පවුඩර් කරලා ආනයනය කරන එක.”
සුන්දර රූ සපුවක් උරුම කර ගැනීම සඳහා ක්ලියෝපැට්රා වැනි රැජණියන් පවා බූරු කිරි භාවිත කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි. එමෙන්ම බූරු කිරෙන් නිෂ්පාදනය කරන චීස් ද ලෝකයේ අධික මිලකින් යුක්තය. කෙසේ නමුත් දේශීය සම්පත් ඇසුරු කරගෙන දේශීය නිෂ්පාදනයක් අන්තර්ජාතික මට්ටම දක්වා ගෙන යාමට හැකි වුවහොත් එය රටේ ආර්ථිකයට විශාල පිටුවහලක් වනු ඇත.
• මංගලා පවිත්‍රානි