2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා

අපරාධ පොදියක කතා ඉතිරි කර මරුවා සමඟ ගිය ඩෑන්!

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05 154

සුරේෂ් ප්‍රියසාද් නොහොත් ඩෑන් ප්‍රියසාද් යනු සමාජය කැළඹූ අයෙකි. විනයක් නැතිව දේශපාලන සහ සමාජ ක්‍රියාකාරකම්වල යෙදුණු ඩෑන් අවසන් ගමන් යන විට හොඳට වඩා සමාජයෙන් අසා ගත්තේ කුණු බැණුම්ය. එහෙත් ඩෑන් වෙනස් වුණේ නැත. ඩෑන් මජර දේශපාලනයේ තව තවත් එරෙමින් කුලී හේවායකුගේ භූමිකාව ඇති පදමට සිදු කළේය. ඒ අනුව ඩෑන් එක් වරක් අරගලයට පහර දුන්නේය. ඒ පහරදීම ගැන පොලිස් පරීක්ෂණ කරන විට ඩෑන් එක් ඇසක් වසාගෙන බොරු රඟපෑමක් කරමින් නීතියෙන් ගැලවීමට උත්සාහ කළේය. නැවත වර්තමාන ජනාධිපතිවරයාගේ උපන් දිනය අද යැයි කියා පසුගිය අප්‍රේල් 1 දා කේක් කැපුවේය. මිනිසුන්ට කේක් කැව්වේය. සරලවම කිවහොත් මජර දේශපාලනය හමුවේ ඩෑන් සීමාව ඉක්මවා රැඟු‍වේය.
එසේ රඟමින් සිටි ඩෑන් සිහිනයෙන්වත් නොසිතූ මොහොතක වෙඩි කා මිය ගියේය. ඩෑන්ගේ ඝාතනය බොහෝ දෙනා දේශපාලන කාරණයකට හරවා ගත්හ. ඩෑන් රාජපක්ෂ දේශපාලන රහස් ගොඩක් දන්නා බැවින් මෙය ඒවා වසන් කිරීමේ අරමුණෙන් සිදු කළ ඝාතනයක් බව කීහ. එය අමූලික පට්ටපල් බොරුවකි. ඩෑන් යනු දේශපාලන ගේම් ගැන මෙලෝ ඇට බෝලයක් නොදන්නා අයෙකි. ඩෑන් කුලියට වැඩ කළා මිස දේශපාලන පරිවර්තනයක් සිදු කිරීමට තරම් ඩෑන්ට හයිය තිබුණේ නැත. ඒ නිසා සරලව කිවහොත් ඩෑන් පොළොවෙන් මතු වූ හත්තක් මෙන් උඩට ඇවිත් යන්නට ගියේය.

පසුගියදා ඩෑන් තම බිරිඳගේ නැගණියගේ ‍‍යතුරුපැදියක් විකුණා දීම හේතුවෙන්, නෑනා ඒ සතුටට පුංචි සාදයක් සූදානම් කර තිබුණි. ඩෑන් තම බිරිඳ සහ දරු මල්ලන් සමඟ වැල්ලම්පිටිය සාලමුල්ල ලක්සඳ නිවාස සංකීර්ණයට පැමිණියේ නෑනාගේ ආරාධනය අනුවය. බිරිඳ සහ දරුවන් ඇරලවා පිටව යන ඩෑන් නැවත රාත්‍රියේ පැමිණියේ මත්පැන් තොල කට ගා යන්නටය. හයවැනි මහලේ කෙළවරක වෙන්නට පුටු තබාගෙන මත්පැන් තොල කට ගාමින් සිටි ඩෑන් සමීපයට පුද්ගලයන් දෙදෙනකු පැමිණියේ මේ අතරය. එක් අයකු හෙල්මට් පැළඳ සිටි අතර අනෙකා මුඛ ආවරණ පැළඳ සිටියේය. හිස්වැසුම පැළඳ සිටි පුද්ගලයා පිස්තෝලයක් ගෙන ඩෑන්ට වෙඩි තබන්නට පටන් ගත්තේ මේ මොහොතේය. වෙඩි ප්‍රහාර හත අට ඉක්මවීය. ඉන් එකක් පපුවටද, තවත් එකක් උරහිසට සහ තවත් එකක් කකුලට වැදී තිබුණි. වෙඩික්කරුවෝ පැන ගියෝය. ඩෑන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි. ශල්‍යකර්මයකට මුහුණ දෙමින් සිටියදී ඩෑන් සියල්ල හැරදා ගියේය.

වෙඩි ප්‍රහාරය සිදුවූ සැණින් මේ ගැන ලැව් ගින්නක් සේ පැතිරුණු අතර මේ ප්‍රහාරය දැනට විදෙස්ගතව සිටින කංජිපානි ඉම්රාන් විසින් සිදු කළ බව ප්‍රචාරය විය. එය එසේ තිබියදී කංජිපානි ඉම්රාන් ඊට පසු දින ඩෑන්ගේ ඝාතනය සම්බන්ධයෙන් හඬ පටයක් නිකුත් කළේ වෙනත් අයකුට යැවූ හඬ පටයක් ලෙසය. එහිදී ඔහු පැවසුවේ “ඩෑන් රටට බරක් බවත්, ඩෑන් ආණ්ඩුවටත් ජනාධිපතිටත් අපහාස කරන බවත්, රටම අවුල් කරන බවත්, එවැනි උන් මරා දැමිය යුතු”‍ බවත්ය. ඒ හඬ පටය අනුව ඩෑන්ගේ ඝාතනය කංජිපානි විසින් සිදු කළ බව තවදුරටත් තහවුරු විය.

මේ සියල්ල සිදුවන අතරතුර පොලිසිය වෙතින් පිය පුතු දෙපළක් සඳහා රට යාමේ තහනම් නියෝගයක් ලබාගෙන තිබුණේ මෙම ඝාතනය සඳහාය. ඒ වැල්ලම්පිටියේ හැදුණු දැන් කඩවත පදිංචි බන්දු සහ මාධව යන පිය පුතු දෙපළටය. බන්දු සහ මාධව යනු ඩෑන්ගේ සමීප ඥාතිහු වූහ. මාධව යනු ඩෑන්ගේ බිරිඳගේ නැගණියගේ ස්වාමියාය. ඔහුගේ පියා බන්දුය. බන්දු සහ මාධව යනු ඩෑන්ගේ සහෝදරයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාය. බන්දු කපා කොටා ඝාතනය කළ පිරිස හතකි. ඒ ලැයිස්තුවේ ඩෑන්ගේ සහෝදරයා ද විය. ඩෑන්ගේ සහෝදරයා ඝාතනය වූයේ ඩෑන්ගේ විනයක් නැති වැඩ හේතුවෙනි. එනම් එක් දිනක් ඩෑන් ෆේස්බුක් හි පෝස්ට් එකක් දමා තිබුණේ “වැල්ලම්පිටියේ කුඩු විකුණන්නෙ මාධවලා”‍ ලෙස සටහන් කරමිනි. මෙය දෙමස්සිනාලා අතර ගැටුම උග්‍ර කළ අවස්ථාවක් විය. කෙසේ වෙතත් මාධවලා මුලින්ම ඝාතනය කිරීමට සැලසුම් කළේ ඩෑන්වය. එහෙත් ඩෑන්ගේ දේශපාලන බලය නිසා එය මගහැර ඩෑන්ට රිදෙන්නට ඔහුගේ මල්ලි ඝාතනය කෙරිණි. මෙම ඝාතනයේ ඔත්තු බලා තිබුණේ දුලාන් හෙවත් දුලාය. දුලා යනු බන්දුගේ සහෝදරයාගේ පුතාය. මේ සියලු දෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ සිටි දැන් ප්‍රංශයේ ජීවත් වන අයි.පී. දුමින්ද ජයතිලකය. මේ ඝාතනයත් සමඟ ඩෑන් සහ මාධව අතර වෛරය දෙගුණ තෙගුණ විය. මෙම ඝාතනය සිදු වූයේ 2022 ජුලි 25 වැනිදාය.

මෙම සිදුවීමෙන් පසුව ඩෑන් මාධවලාගෙන් පලි ගැනීමට සෑහෙන්න උත්සාහ කළේය. මාධවගේ පියා බන්දු සහ දෙමටගොඩ චමින්ද මිත්‍රයෝ වූහ. බන්දු දෙමටගොඩ චමින්ද පවුලේ ආරක්ෂකයා විය. බන්දුගේ නඩුවලට මුදල් දුන්නේ චමින්දය. එසේම චමින්දලාගේ පාර්ශ්වයට අයිස් දුන්නේ කංජිය. ඒ කංජිපානිගේ බඩු හොඳ මට්ටමේ පැවතීමය. කංජිලා බටුවත්ත චාමරලා මිත්‍රයෝ වූහ. මේ සියල්ල මත ඩෑන් තම සහෝදරයාගේ සිදුවීමත් අළලා උද්ඝෝෂණ මාලාවක් දියත් කළේය. ඒ කංජිපානි, බටුවත්ත චාමර, කුඩු අංජු සහ පොල්ගහවෙල දිලිනි ලංකාවට රැගෙන එන ලෙස කියමිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය කොළඹ කාර්යාලය ඉදිරියේ ඩෑන් කංජිපානිට දැඩි දෝෂාරෝපණ එල්ල කළේය. අසුවුණොත් කනට ගසන බව කීවේය. එපමණක් නොව මේ පිරිසගේ මුහුණු දමා පෝස්ටර් පවා ගැසුවේය. ඒ අනුව ඩෑන් කුඩු විරෝධියෙක් විය. ඩෑන් දිගින් දිගටම කීවේ දේශබන්දු තේන්නකෝන් හට පොලිස්පති ධුරය ලබා දෙන ලෙසය.

මේ අතර ආණ්ඩුව මාරු වුණේය. ඩෑන් ඩුබායි බලා පිටත් විය. එහෙත් නැවත හරවා එව්වේ නඩුවක් තිබීම හේතුවෙනි. කෙසේ වෙතත් ඩෑන් නැවතත් කෙසේ හෝ රට පැන ගත්තේය. එසේ ගිය ඩෑන් පිළිබඳ තො‍රතුරක් දැන ගැනීමට ලැබුණේ ජනවාරි 29 දාය. ඒ ඔහු ඩුබායි හිදී රිය අනතුරකින් මිය ගිය බවටය. ඩෑන් ගැන වැඩිදුර තොරතුරක් තිබුණේම නැත. අනතුරුව ඩෑන් ගැන තොරතුරක් ලැබුණේ පෙබරවාරි 11 දාය. පසුව ඩුබායි සිට පැමිණෙන අතරතුර ඔහු අත්අඩංගුවට පත් විය. ඒ ස්ථානාධිපතිවරයකුට තර්ජනය කර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු නිදහස් කිරීමට කියූ බවට වූ චෝදනා මතය.

දින ගණන් සිරගත වූ ඩෑන් එළියට ආවේය. ඩෑන් සුපුරුදු පරිදි කුඩු විරෝධය සමාජ මාධ්‍ය පුරා රැගෙන ගියේය. මේ අතර කංජිපානිලාට ආරංචි වුණේ ඩෑන් ඩුබායි හි රැඳී සිට ඇත්තේ තවත් මත්ද්‍රව්‍ය චෝදනා ඇති අයකු වූ මාලිගාවත්තේ චමිලගේ සමීපයේ බවය. චමිල යනු කෝපි කඩේ අප්පුවාගේ පුතාය. මේ හේතුවෙන් ද කංජිපානිට ඩෑන් සම්බන්ධයෙන් වෛරය ගොඩනැගෙන්නට විය.

මේ අතර පසුගියදා ඩෑන්, දුලාන් හෙවත් දුලාගේ ත්‍රිරෝද රථයට මහ මගදී පහර දී තිබුණි. මෙය දැනගත් කංජිපානි දුලා අමතා කියා සිටියේ, වැල්ලම්පිටිය පොලිසියට ගොස් පැමිණිල්ලක් දමන ලෙසත්, එය විභාග වන දිනයට පොලිසිය ඉදිරිපිටදී ඔහුට වෙඩි තබන ලෙසත්ය. ඒ අනුව පැමිණිල්ල සටහන් කෙරිණි. ඩෑන්ට 22 දා පොලිස් පරීක්ෂණයට පැමිණෙන ලෙස කීවත් ඩෑන් ගියේ නැත. ඒ අවස්ථාවේ ඩෑන් බේරුණේය. එහෙත් රාත්‍රියේ ඩෑන් ඝාතනය විය.

මේ වනවිට බන්දු සහ මාධව සොයා ගන්නට නැත. දුලා අත්අඩංගුවේ පසුවෙයි. ඩෑන්ගේ නෑනා ද ඒ අතර සිටින බවට කියැවෙයි. කෙසේ කවුරුන් ඇල්ලු‍වත් ඩෑන්ට නැවත ජීවිතයක් නැත. ඩෑන්ගේ දෙබිඩි ජීවිතය නිසා අසරණ වූයේ දරුවන් තිදෙනකු සහ බිරිඳක පමණි. ඒ අනුව ඩෑන්ගේ ප්‍රතිපත්තියක් නැති ජීවිතය හැමෝටම පාඩමක් කියා දී තිබේ.

• ගයාන් ගාල්ලගේ