2017 ජුලි 22 වන සෙනසුරාදා

මහින්දලා නවතී විමල් යයි

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 757

පළාත් පාලන මැතිවරණය මේ වසරේ නොවැම්බර් අගසතියේ හෝ දෙසැම්බර් මස මුල් සතියේ පැවැත් වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මැතිවරණය කුමන ඡන්ද ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න පසුගිය කාලය පුරාම එ.ජා.ප. ශ්‍රී.ල.නි.ප. හා ජ.වි.පෙ. ඇතුළු සුළුපක්ෂ අතර වාද විවාද තිබිණි. එහෙත් ජනාධිපතිවරයා තීන්දු කළේ පාර්ලිමේන්තු පනතින් සම්මත කළ ආකාරයට මෙම මැතිවරණය කොට්ඨාස ක්‍රමයට හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පවත්වන්නයි.  මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට උතුරුමැද නැගෙනහිර හා සබරගමුව පළාත් සභාවල නිල කාලයද හමාරවන නිසා තවදුරටත් පළාත් පාලන ඡන්ද කල්දැමීම කළ නොහැකි බව රජයේ තීන්දුව විය.

එහෙත් ආණ්ඩුවේ පක්ෂ නායකයන් යෝජනා කළේ මැතිසබය නියෝජනය කරන සියලු පක්ෂ සමඟ සාකච්ඡා කොට මේ පළාත් සභා මැතිවරණ තුන ලබන වසර සඳහා කල්දැමීමට එකඟත්වයක් ඇති කරගන්නටයි. ඊට සෙසු පක්ෂ එකඟවන්නේ නම් පළාත් සභා සියල්ල එකවර විසුරුවාහැර 2018 දී ඒ සියල්ලේ ඡන්ද එකවර පැවැත්වීමට පක්ෂ අතර එකඟත්වයක් ඇති කරගැනීම අගමැති සහ ජනාධිපතිගේ අපේක්ෂාව බව කියැවේ. එහෙත් ඊට පෙර පළාත් සභා ඡන්දය කල්දැමීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සලස්වා ගැනීමට ද රජය තීන්දු කළේය. ඒ අනුව ඊට අදාළ උපදෙස් පාමින් දැනටමත් නීතියක් වෙත ආණ්ඩුව ඉල්ලීමක් යොමුකොට තිබේ.

රෝහල පවරාගත් පසු සයිටම් අර්බුදය ඔඩුදුවයි

ඒ අතර ශ්‍රී.ල.නි.ප.ය පුංචි ඡන්දය සඳහා අපේක්ෂිකයන් තෝරාගැනීමේ කටයුතු මහලේකම් දුමින්ද දිසානායක මහතා ප්‍රමුඛ කමිටුවකට පවරා ඇත. ඔවුන් දැන් ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කරමින් සිටිති. එ.ජා.ප.යද පුංචි ඡන්දය සඳහා හොඳ තරගයක් දිය හැකි අපේක්ෂක පිරිසක් ඉදිරිපත් කළයුතු බව ගිය සතියේ රුස්වූ පක්ෂ කෘත්‍යාධිකාරිය තීන්දු කළේය. ඒ සඳහා සුදුසු ආපේක්ෂකයන් තෝරාගැනීම පක්ෂ මහලේකම් කබීර් හෂීම් හා නියෝජ්‍ය මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහත්වරැන්ට පැවරීමටද එහිදී තීන්දු කැරිණි. මැතිවරණයට අවශ්‍ය ලෙස මාධ්‍ය මෙහෙයුම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර හා ඉමිතියාස් බාකීර් මාකර් මහත්වරුන්ට පැවරීය.

ඒකාබද්ධ විපක්ෂය ද පළාත් පාලන මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටී. මෙම කටයුතු සංවිධානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. පළාත් පාලන අපේක්ෂයන් තෝරාගැනීමේදී පසුගිය කාලයේ පළාත් පාලන ආයතනවල ක්‍රියාකළ කාර්යක්ෂම අපේක්ෂකයන් සියල්ලන්ටම තැනක් දීම ඒකාබද්ධ විපක්ෂයේ අරමුණයි. මේ නියෝජිතයන්ගේ එකතුව මෙහෙයවන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසිනි. දැනටමත් දිවයිනේ පළාත් පාලන ආයතන රැසකට ඒකාබද්ධ විපක්ෂය අපේක්ෂයන් තෝරාගෙන හමාරය. මේ ගැන මූලිකවශයෙන් පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා පසුගියදා මීගමුව ප්‍රදේශයේදී ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන් විසින් විශේෂ සම්මන්ත්‍රණයක්ද පවත්වනු ලැබීය. ඒ සඳහා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන බැසිල්, ඩලස්, ගාමිණි ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පිරිසක්ද පළාත් පාලන නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිටියෝය.

ආණ්ඩුවේ සිටින ශ්‍රී.ල.නි.ප. ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු 18 දෙනෙක් ලබන සැප්තැම්බර් මස 02 දා ශ්‍රී.ල.නි.ප.ය හා එ.ජා.ප.ය අතර ගිවිසුමට වසර දෙක පිරුණු පසු රජයෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීමත් සමඟ දේශපාලනය තරමක් සසලවූ බව පෙනුණි. අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අයගේ නම් ගම් මාධ්‍යයට හෙළිදරව් කිරීමත් සමඟ ප්‍රශ්නය තවත් උග්‍රවී තිබේ. ඔහු ඒ බව ප්‍රකාශකොට විදේශ ගතවිය. එහෙත් මේ හෙළිදරව්වෙන් අපහසුතාවට පත් ඇමැතිවරු පිරිසක් දැන් තමන් කළින් ගත් තීන්දුව ක්‍රියාත්මක කිරීම පමාකරන්නට අරඅඳින බවද දැනගන්නට ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටි පරිදි මාස 4ක කාලයක් ලබාදී සිදුවන්නේ කුමක්දැයි විමසා බැලිය යුතුබවද සමහරු යෝජනා කර තිබේ. කෙසේ හෝ ජනාධිපතිවරයා සහ රජයෙන් ඉවත්වන බව කියන අමාත්‍යවරුන් හා නීති අංශ බලධරයන් අතර ද මේ ගැන සාකච්ඡාවක් පවත්වා පසුගිය රජය සමයේ කළ කී දෑ ගැන චෝදනා හෝ ඇතැමුන් සම්බන්ධව කෙරෙන පරීක්ෂණවල ප්‍රගති සමාලෝචනයක් කර ඇත. පමාවෙමින් පැවති නීති කටයුතු ගණනාවක් කඩිනමින් හමාර කෙරෙනු ඇතැයිද සඳහන් කර තිබේ. ඒ අනුව පමාවූ නඩු ගණනාවක් ඉක්මණින් පැවරෙනු ඇතැයි වාර්තාවෙයි.

විශාල අර්බුදයක් බවට පත්ව තිබෙන මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් මේ සතියේ ද විශේෂ පියවරක් ගැනිණි. ඒ අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහල පසුගිය සඳුදා රජයට පවරාගනු ලැබීය. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කීවේ නෙවිල් ප්‍රනාන්දු මහතා කිසිදු මුදලක් ලබානොගෙන නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට තෑගිදුන් බවය. රෝහල ඉදිකරන්නට ගත් ණය පියවීමටද ඔහු භාරගත් බව රාජිත සඳහන් කර තිබිණි. මෙම පියවර ගත්තේ සයිටම් අර්බුදය විසඳීමේ පළමු පියවර ලෙස යැයි අමාත්‍ය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. අගෝස්තු මස 01 දා සිට සයිටම් රෝහල රජයට පැවරෙන අතර අනතුරැව එය ශික්ෂණ රෝහලක් ලෙස පවත්වා ගෙනයාම ආණ්ඩුවේ අරමුණ බව කියැවේ. ශ්‍රී ජයවර්ධන පුර රෝහල මෙන් විශේෂ පාලන මණ්ඩලයක් මගින් නව රෝහල පාලනය කෙරේ.

ගමේ වැඩට සල්ලි දෙන්න අගමැතිගෙන් මන්ත්‍රීන්ට පොරොන්දුවක්

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත්තද එයින් සයිටම් ප්‍රශ්නය නොවිසඳෙන බවත් ප්‍රශ්නය වඩාත් සංකීර්ණ කළ වගත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේය. වෛද්‍ය සංගමයේ දොස්තර හරිත අලුත්ගේ මාධ්‍යයට කීවේ මෙම විසඳුම තමන් කිසිසේත්ම නොපිළිගන්නා බවය. සයිටම් අර්බුදය විසඳීම සඳහා අගමැතිවරයා සහ වෛද්‍ය සංගමය කරන සාකච්ඡාව සාර්ථකව සිදුවෙද්දී රාජිත අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය නිසා එම සාකච්ඡා ක්‍රියාදාමය විනාශ වන බවත් එය අමාත්‍ය රාජිත සේනාරත්න චේතනාන්විතව කරන්නේ අගමැතිගේ විසඳුම් ක්‍රියාදාමය කඩාකප්පල් කරන්නට බවත් වෛද්‍ය සංගමය පැවසීය. ඒ අතර වෛද්‍ය සංගමයට එරෙහිව විකල්ප වෛද්‍ය සංගමයක් ආරම්භ කරන්නට හදන බවට වෛද්‍ය සංගමය රාජිතට චෝදනා නැගීය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංගම්ද රෝහල පවරාගැනීම ගැන විරෝධය පළකළ අතර ජනාධිපතිවරයා ඉදිරියේ ගිවිසුම් ගසා රෝහල පවරා දුන්නද එමගින් පැවරෙන්නේ රෝහලේ බද්ද පමණක් යැයි කී සංගමය වසර 10කට පසු නැවත මෙය නෙවිල් ප්‍රනාන්දුලා අතටම යනබවට චෝදනා කළේය. මේ සියලු කාරණා මුල්කරගෙන පසුගිය අඟහරුවාදා කොළඹ දී ශිෂ්‍ය සංගම් තවත් සයිටම් විරෝධි උද්ඝෝෂණයන් පැවැත්විය.

එක්සත් ජාතික පක්ෂයේ කලකිරී සිටින පසුපෙළ මන්ත්‍රීන්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කොට ඒවාට විසඳුම් සැපයීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් විය. පසුගියදා එ.ජා.ප. මන්ත්‍රින් වෙනුවෙන් හිල්ටන් හෝටලයේ පැවති සම්මන්ත්‍රණයකදී පසුපෙළ මන්ත්‍රීන් තමන් අසරණ වී සිටින බවට දිගින් දිගටම කරුණු දැක්වීමෙන් පසු එස්.එම්. මරික්කාර් මන්ත්‍රිවරයා ප්‍රමුඛ මන්ත්‍රින් පිරිසක් මෙම ප්‍රශ්නවලට විසඳුමක් අවශ්‍ය බවට කරැණු දැක්වූහ. මන්ත්‍රීන්ගේ වියහියදම් ප්‍රශ්න, පාක්ෂිකයන්ට රැකියා සැපයීම වැනි කාරණා ගණනාවක් ගැන මෙම ප්‍රශ්න මතුවිය. මෙහිදී මුදල් අමාත්‍යවරයාගෙන් මන්ත්‍රින් සහන අපේක්ෂා කරන බව සඳහන් කැරිණි.

ඒ අනුව මංගල අමාත්‍යවරයා අසහනයට පත් මන්ත්‍රීන්ගේ දුක්ගන්නා රාළ බවට පත්ව ඔවුන්ගේ ප්‍රශ්න ගැන මුදල් අමාත්‍යංශයේදී කතා කරමුදැයි ප්‍රශ්න කළ විට ඊට වඩා නිදහසේ කතාකළ යුතු වග සඳහන් විය. ඒ අනුව මංගල කොළඹ 7 තම නිල නිවසේදී ගිය අඟහරුවාදා රාත්‍රි භෝජන සංග්‍රහයක් සංවිධානය කළේය. එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීන් 50කට පමණ මේ සඳහා මංගල සමරවීර අමාත්‍යවරයා ඇරුයුම්කොට තිබිණි. රජයේ ප්‍රධානීන් මෙන්ම මුදල් අමාත්‍යංශයේ හා රාජ්‍ය ආයතන ගණනාවක ප්‍රධානීහු ද ඊට ඇරුයුම් ලැබූහ. ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. මලික් සමරවික්‍රම, අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුද රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයාද උත්සවයට පැමිණයහ. මුලින්ම පැමිණ සිටි පිරිස ආදරයෙන් පිළිගත්තේ අමාත්‍ය මංගල සමරවීරයි. ඔහු කීවේ තමන් පසුගිය කාලය පුරාම ආණ්ඩුවේ එ.ජා.ප. මන්ත්‍රින් පිරිස මුණගැසීමට අපේක්ෂා කළ නමුත් එය දිනෙන් දින අතපසු වූ බවය. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීන්ට තිබෙන දුක් ගැනවිලි ගැන කතා කරන්නට සුදුසු මොහොත පැමිණ ඇති බැවින් හැමෝම ඒ ගැන උනන්දුවිය යුතුයැයි කී මංගල 1977 විවෘත ආර්ථිකය ගෙනා ඒ.ජා.පයට මේ රජය යටතේ ජාතික සංවර්ධන ක්‍රියාවලිය පණගැන්වීමට හොඳ අවස්ථාවක් ඇති බැවින් මන්ත්‍රින් ඒ සඳහා දායක කරගත යුතු යැයි කීය. ඊළඟට මන්ත්‍රීවරු අදහස් දක්වන්නට වූහ. බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා ග්‍රාමසේවා වසම් මට්ටමින් සංවර්ධන හා රැකියා උත්පාදන වැඩපිළිවෙළක් යෝජනා කළේය. එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා සඳහන් කළේ ආණ්ඩුව රට තුළ යම් වැඩකොටසක් කළාට ඒක ජනතාවට අලෙවිකරගන්නට බැරිව ලතවෙන වගයි. රාජපක්ෂ ආණ්ඩුව ගම්වල කටයුතු සම්බන්ධීකරණය කිරීම ගමේ සංවර්ධන කමිටුවලටම පවරා තිබුණු බවත් ගම තුළ ඒ වැඩවලට හොඳ ප්‍රචාරයක් ලැබුණු බවත් පෙන්වාදුන් මරික්කාර් මහතා රජයේ වැඩ දැනට මාර්කට් නොවන බව නැවතත් කීය. අශෝක ප්‍රියන්ත මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මන්ත්‍රීන්ට ගම්වල පාරවල් හදන්නට කී නමුත් පාරවල් සෑදු පසු ඒවාට මුදල් නොගෙවීම නිසා මන්ත්‍රීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවය. මේ අතර මන්ත්‍රීන් දිගින් දිගටම කියන්නට වූයේ ග්‍රාමීය සංවර්ධනය හා රැකීරක්ෂා ප්‍රශ්න විසඳාදෙන ලෙසය. අනතුරුව කතා කළ අගමැතිවරයා මන්ත්‍රීන්ගේ ඉල්ලීම් අනුව ගමට වැඩකරන්න ඉතා ඉක්මණින් මුදල් ලබාදෙන බව කීය. අනෙක් ප්‍රශ්න විසඳීමටත් කඩිනම් පියවර ගන්නා වග සඳහන් කළේය. මේ කතාබහෙන් පසු මංගල අමාත්‍යවරයා ගල්කිස්ස හෝටලයෙන් ඇණවුම්කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහය ඇරඹිණි. මධුවිත සමඟ රසවත් ආහාර පානවලින් භෝජන සංග්‍රහය සමන්විත විය. 

ආණ්ඩුවෙන් යන මැති ඇමැතිලා අනුර යාපා නිවසේ රහස් කතාවක

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම ගිය අඟහරුවාදා පෙරවරැවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි. මෙහිදී ප්‍රධාන කාරණා ගණනාවක් සාකච්ඡාවට ගැනිණි. ලබන අගෝස්තු මස දෙවැනි සතියේ රජයේ ජනතා හිතවාදී නොවන මර්දන ක්‍රියාවලියට එරෙහිව දීපව්‍යාප්තව මහා හර්තාලයක් පැවැත්වීම ගැන මෙහිදී මුලින්ම කතාබස් කළ බව වාර්තා වෙයි. ඩඩ්ලි සේනානායක අගමැතිගේ ආණ්ඩුවට 1952 දී විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවූයේ සුප්‍රකට හර්තාලය හරහා බව පෙන්වා දුන් ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන් ඒ ආකාරයටම මෙවරත් අ‍ගෝස්තුවේ පැවැත්වෙන හර්තාලය සාර්ථක ලෙස සිදුකිරීමට සැලසුම් කෙරිණි. 

අනතුරුව සාකච්ඡා වූයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කාර්යය ගැනයි. එහිදී ඒකාබද්ධයේ නායකයන් අතර එකඟතාවක් නොතිබිණි. විවිධ මත ප්‍රකාශවෙද්දී ජාතික නිදහස් පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය විමල් වීරවංශ තරයේම කියාසිටියේ ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත් විය යුතුය කියායි. රට පාවාදෙන ව්‍යවස්ථාවක් සම්පාදනයට රජය සැරසෙන නිසා ඊට කිසිම ආකාරයකින් දායක නොවිය යුතුය යන්න විමල්ගේ අදහස විය. එතෙක් ඒකාබද්ධ පක්ෂයේ ප්‍රධානීන් සෙසු ප්‍රධානීන් සියලුදෙනා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සිටියේ තම කණ්ඩායම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ රැඳී සිටිමින් රටට හිතකර ව්‍යවස්ථාවක් නිර්මාණය කරගන්නට බලපෑම් කළ යුතුය කියයි. දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර ආදී සෙසු ඒකාබද්ධ ප්‍රධානීහුද ඒ මතය ප්‍රකාශ කළහ. නමුත් විමල් වීරවංශ මහතා එම අදහස පිළිගත්තේ නැත. අවසානයේ මෙම ප්‍රශ්නය විවාදාත්මක තත්ත්වයට යනවිට ඊට මැදිහත් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොදු යෝජනාවක් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂවලට මේ කාරණ‍යේදී තම තමන් දරන ස්වාධීන මතයේ රුඳීසිටීමට අවසර දිය යුතු යැයි තමන් සිතන වග සඳහන් කළේය. 

මෙම කතාබහ මේ රටේ ජනතාවට බලපාන සංවේදී ප්‍රශ්නයක්. ඒනිසා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ ඉන්න කැමති අය ඉන්න. යන්න කැමති අය යන්න. අපි ඒකට අවසරය දෙමු. 

මහින්ද රාජපක්ෂ මහතා කීය. ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීහු සියල්ලන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ මතය හා එකඟ වූහ.

හම්බන්තොට වරාය චීනයට දෙන්න එපායැයි චම්පික කියයි

ඒ සමඟ මහින්ද තවත් කරුණක්ද අවධාරණය කළේය. හැබැයි කවුරැ ගියත් කවුරු හිටියත් ඒයන අයවත් ඉන්න අයවත් සෙසු පක්ෂ ගන්න තීන්දුව ගැන කිසිම විවේචනයක් කරන්න එපා. ඒකටත් කවුරැත් එකඟ වෙන්න ඕනෑ. යැයි මහින්ද කළ යෝජනාවටද ඒකාබද්ධයේ සියල්ලෝම එකඟ වූහ. අවසානයේ විමල් වීරවංශ කීවේ තමන් හා තමන්ගේ සෙසු මන්ත්‍රීන් 5දෙනා ලිඛිතව කතානායකතුමාට දැනුම්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත්වීමට තීන්දු කළ වගයි. ඒ අනුව ක්‍රියාකරන බව විමල් කීය.

එ.ජා.ප.ය සහ ශ්‍රී ල.නි.ප.ය අතර වන වසර දෙකේ ගිවිසුම හමාරවන අවස්ථාවේ ආණ්ඩුවෙන් ඉවත්විය යුතුය කියූ මන්ත්‍රී කණ්ඩායම පසුගිය අඟහරුවාදා රාත්‍රියේ හදිසි රැස්වීමක් පැවැත්වීය. අමාත්‍ය අනුර යාපා මහතාගේ කොළඹ නිල නිවසේ මෙම රැස්වීම පැවැත්විණි. ඒ සඳහා මන්ත්‍රී කණ්ඩායමේ 15 දෙනෙක් පැමිණ සිටියහ. ඇමතිවරු ද ඒ අතර වූහ. මෙම හමුවේ තොරතුරු ඉතාමත් රහසිගතව තබාගන්නට ද ඔවුහු තීරණය කළෝය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටි පරිදි දෙසැම්බර් මස 31දා දන්වා රජය තුළ රැඳී සිටිය යුතුද යන්න සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන කාරණා විය. මන්ත්‍රීන් හා ඇමතීන් පිරිසක් කීවේ මෙය ජනාධිපතිතුමා හා තමන් අතර ප්‍රශ්නයක් නොවන බවය. තම කණ්ඩායම ඉවත්වන්නේ ඇයිද යන්න හේතු සහිතව ජනාධිපතිතුමාට කිව යුතු යැයි ඔවුහු කීය. සැප්තැම්බරයෙන් පසු තමන්ලා රජය තුළ තවදුරටත් සිටී නම් ඒ සඳහා සම්පූර්ණ විය යුතු කාරණා ගණනාවක් ඇතැයි කී මැතිඇමතිවරු ඒ ප්‍රතිපත්ති යෝජනා ලෙස ජනාධිපතිතුමාට දැන්විය යුතු බව අවධාරණය කළෝය. ඒ ගැන ජනාධිපති සමඟ විවෘතව සාකච්ඡාවක් කිරීමට ද එම කණ්ඩායම යෝජනාවක් සම්මත කර ගැනිණි. ඒ අනුව මෙම මන්ත්‍රී කණ්ඩායමේ යෝජනා ඉතා ඉක්මණින් ජනාධිපතිවරයාට ලබාදීමට තීන්දු කැරිණි.

එ.ජා.ප. ශ්‍රී.ල.නි.ප. පුංචි ඡන්දයට අපේක්ෂකයන් තෝරයි

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම ගිය අඟහරැවාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී මතුවූ වඩාත් උණුසුම් ප්‍රශ්නය වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මෙරටට එවන ලද විශේෂ වාර්තාකරු වන එමර්සන් නැමැත්තා වව්නියාව ප්‍රදේශයේ බන්ධනාගාරයක් පරීක්ෂා කරන්නට ගොස් එහි සිටි කොටි සැකකරැවන් මුණගැසීමේ සිද්ධියයි. මෙම නියෝජිතයන්ට බන්ධනාගාර පරීක්ෂාවට ඉඩදීම ගැන අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා දැඩිලෙස විවේචනාත්මක අදහස් දැක්වීය. එවිට ජනාධිපතිවරයා විමසා සිටියේ එම නිලධාරියාට හිරගෙදරට යන්න අවසර දුන්නේ කවුද කියාය. බන්ධනාගාර විෂය භාර අමාත්‍ය ඩී.එම්. ස්වාමීනන්දන් කීවේ විදේශ අමාත්‍යංශය ලබාදී තිබූ අවසරය මත බන්ධනාගාරයට පිවිසීමට ඔහුට අවසර දුන් වගයි. එහෙත් ජනාධිපතිවරයා කීවේ මෙය නොකළ යුත්තක් බවය. ඒ මොහොතේ ඇමැතිවරැ කිහිපදෙනෙක් කීවේ මීට පෙරද එබඳු අවසර ලබාදී තිබූ වගයි. අනතුරැව චම්පික රණවක ඇමැතිවරයා පැවසූවේ ඉක්මණින් ජාත්‍යන්තරය බැලන්ස් කරගත යුතු බවය. පසුගියදා ලංකාවට එරෙහිව බී.බී.සී.යේ විනාඩි 45ක වැඩසටහනක් ප්‍රචාරය වූ බවත් එයට හේතුව හම්බන්තොට වරාය චීනයට දීමගැන බටහිර බලවතුන් දක්වන විරෝධය වගත් චම්පික පෙන්වා දුන්නේය. ඒනිසා හම්බන්තොට චීනයට පැවරීම නතර කළහොත් ප්‍රශ්න හුඟක්  විසඳෙන බව හෙතෙම කීය. එවිට සරත් අමුණුගම ඇමතිවරයා කීවේ චීනය හා ඉන්දියාව අතර  තිබෙන අරගලයට දැන් ඇමෙරිකාව ද සම්බන්ධ වී ඇති බැවින් ශ්‍රී ලංකාව සීරුවෙන් ක්‍රියාකළයුතු වගය. අනතුරැව ලබන වසරේ ඇතිවිය හැකි විදුලි අර්බුදයක් ගැනද අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කළේය.

ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර
සේයාරුව | රොමේෂ් ධනුෂ්ක සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02