ගම්පහ ප්‍රසිද්ධ අත් පන්දුවලටය. ඊට පසුව අන්නාසිවලටය. ඊටත් පසුව දේශපාලනයටය. මේ තුන හැමදාමත් ගම්පහ නම බබළන සාධක විය. එපමණක් නොව ගම්පහ නිතර රට තුළ මතකයට නැගූ කාරණා ද තිබේ. එහෙත් කාලයත් සමඟ ගම්පහ තවත් දෙයකින් ඉහළට ආවේය. ඒ නීති විරෝධී පස් ජාවාරමටය. නීති විරෝධී පස් ජාවාරම කෙතරම් ප්‍රබලද යත් ගම්පහටම විශේෂ වූ පාතාලයක් ගොඩනැගිණි. ඒ පාතාලය පස් පාතාලය වූ අතර ඉතිහාසය පුරා මේ පස් ගැටුම නිසා පුද්ගලයන් 50කට ආසන්න සංඛ්‍යාවක් අමු අමුවේ ඝාතනය වුහ. එකී ඝාතන රැල්ල අදටත් අවසන් නැත.
ගම්පහ පස් පාතාලයේ ඉතිහාසය දෙස බලනවිට එහි කිරුළ හිමි කරගත්තේ පස් ව්‍යාපාරිකයකු වූ පස් ගාමිණීය. පස් ගාමිණී කෙතරම් ප්‍රබලදයත් ගාමිණීට හොරා ගම්පහ පස් කන්දක් කැපුණේ නැත. කෙසේ වෙතත් මෙය නොරිස්සූ අයෙක් ද සිටියේය. ඔහු මිනුවන්ගොඩ පාතාලයේ රජු වූ අසිතය. අසිත නිතර ගාමිණිගේ පස් තැන්වලින් කප්පම් ගනිමින් සිටියේය. මේ නිසා ගාමිණිත් අසිතත් අතර නිතර ගැටුම් ඇතිවිය. අවසානයේ මේ ගැටුම නිම වූයේ අසිත විසින් කළු ගාමිණීව වෙඩිතබා ඝාතනය කිරීමෙන්ය.
එම ඝාතනයෙන් පසුව අසිතත් ඒ සඳහා සහභාගි වූ දේවකත් තවත් අයකුත් පොලීසියට කොටු වී බන්ධනාගාර ගත වූහ. කෙසේ වෙතත් මේ සිදුවීමෙන් පසුව පස් බලය හිමිවූයේ මිනුවන්ගොඩ පාතාලයේ තවත් පුරුකක් වන රෝහිත හෙවත් පස් පොඩ්ඩාටය. පස් පොඩ්ඩා එළිපිට පස් නොකැපුවත් ඔහු සිය ගෝලයන් ලවා ගාමිණීගෙන් පසුව මේ පස් ජාවරම යහමින් සිදුකරගෙන ගියේය. මේ අතරතුර මිනුවන්ගොඩ අසිත සීදුවේ ජයේ සමඟ ගැටුමක් ඇති කරගත්තේය. ඒ කප්පම් සිද්ධියක් නිසාය. මේ නිසා අසිතගේ පාර්ශවය විසින් ජයේගේ එකා දෙන්නාට මරණ සහතිකය ලියැවිණි. ජයේ කිහිප වතාවක් අසිත ඝතනය කිරීම සඳහා පිඹුරුපත් සකසමින් සිටියේය. ඒ අනුව දිනක් ගම්පහ උසාවියට අසිත රැගෙනවිත් නැවත මීගමුව බන්ධනාගාරයට රැගෙන යන අතරතුර ගම්පහ නගරය ආසන්නයේදී වැලි ලොරි හරස් කර බස් රථයට වෙඩි තබන්නට විය. එහෙත් අසිත ඝාතනය කිරීමට නොහැකි විය. කෙසේ වෙතත් පසුව හෙළිවුණේ අසිත ඝාතනය සඳහා බන්ධනාගාර බස් රථය හරස් කිරීම සඳහා ලොරිය ලබා දී ඇත්තේ පස් පොඩ්ඩා විසින් බවය. ඒ අනුව එම නඩුවට පස් පොඩ්ඩා කොටුවිය.
එහෙත් පස් පොඩ්ඩාත් ජයෙත් අසිත ඝාතන සිහිනය අත්හැරියේ නැත. පසුව අසිත ඝාතන කොන්ත්‍රාත්තුව මීගමුවේ පාතාල නායක කකුල් කොටා හෙවත් ෆේරෝස්ට බාර විය. ඒ වනවිට ෆේරෝස් හිටියේ මීගමුව බන්ධනාගාරයේය. ලංකා ඉතිහාසයේ බන්ධනාගාරයක් තුළ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ පළමු සිද්ධිය වාර්තා වන්නේ රාජගිරියේ පාතාල පවුලක් වූ අමරසිංහ පරම්පරාවටය. ඒ වැලිකඩ බන්ධනාගාරය තුළදී නිහාල් අමරසිංහ විසින් නොයෙල් අමරසිංහට (පසු කලෙක පාතාලයේ කිරැළු දැරූ චින්තක සහ ධම්මික අමරසිංහගේ මාමාවරුය) වෙඩි තබා ඝාතනය කිරීමය. ඉන් පසුව බන්ධනාගාර නීති දැඩි විය. එහෙත් ඊට දශක දෙකකට පසුව දෙවැනි බන්ධනාගාර වෙඩි තැබීම වාර්තා වෙන්නේ මීගමුවෙනි. ඒ ෆේරොස් සිය ගෝලයකු වන බුලට් ලවා මිනුවන්ගොඩ පාතාලයේ රජු වූ අසිත බන්ධනාගරය තුළදී ඝාතනය කළේය. එම ඝාතනයෙන් පසුව බුලට් ද බන්ධනාගාරය තුළදී පොලිස් වෙඩි පහරින් මරණයට පත්විය. ඒ අනුව මිනුවන්ගොඩ පාතාලය නිම වූ අතර පස් ජාවාරමේ රජකම පස් පොඩ්ඩාට හිමිවිය. කෙසේ වෙතත් පසු කලෙක අසිතගේ හොඳම ගෝලයා වන මිනුවන්ගොඩ ජීවන් කරළියට ආවත් ඔහුට ද පස් ජාවරමට අත තියන්නට හැකිවුයේ නැත. කෙසේ වෙතත් මිනුවන්ගොඩ අසිත, ජීවන්, දේවක, යන පාතාලයන් ඝාතනය වී ගියත් පස් පොඩ්ඩා ජීවිතය රැක ගනිමින් සිය කටයුතු කරගෙන ගියේය.
මේ අතර පස් පොඩ්ඩාට අපුරු යාළුවෙක් මුණගැහුණේය. ඒ අදක ඊයෙක පාතාලයට ආ මාකිලංගමුවේ සංජීවය. සංජීව යනු දැනට පාතාලයේ සිටිනා අලුගෝසුවාය. කිසිදු යාළු මිත්‍රකමක් නොබලා මරණ වරෙන්තුව ලබා දෙන අයෙකි. කෙසේ වෙතත් මෑතක සිට බන්ධනාගාරයේ සිටින සංජීවත්, පස් පොඩ්ඩත් ගජ මිතුෙරා් වූහ. ඒ මිතුරුකම හේතුවෙන් දෙදෙනා ගෝලයන් ලවා බටපොත පස් කන්දක් කපන්නට වූහ.
මේ අතර ගම්පහ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ඝාතනය කිරීමට පැමිණි සංජීවගේ වෙඩික්කරු වූ අජා බන්ධනාගාර ගතවිය. ඒ ඉහත කී සිදුවීම නිසාය. එසේ ඇතුළට ගිය අජා දිගින් දිගටම සංජීවට ඇමතුම් ලබාදෙමින් පවසා සිටියේ සිය කොන්ත්‍රාත් මුදල ලබා දෙන ලෙසය. එහෙත් ඔස්මන්ව ඝාතනය නොකළ නිසා සංජීව මුදල් ලබා දීම මඟ හැර සිටියේය.
මෙලෙස මුදල් නොදී මඟහැරීම ගැන අජා සිටියේ සංජීව සමඟ නෝක්කාඩුවෙනි. එහෙත් අජා ඊට යට නොවී සංජීවත් පස් පොඩ්ඩාත් එකට පස් කපන බටපොත පස් කන්ද වෙත දෙදෙනකු යවා එතනින් ගෙන යන හැම පස් ලොරියකින්ම රුපියල් 500 බැගින් ලබාදෙන ලෙස තර්ජනයක් කළේය. එම ස්ථානය බාරවී සිටි සුරේෂ් නැමැත්තා මේ ගැන පස් පොඩ්ඩාට කීවේය. පස් පොඩ්ඩා හැරුණු තැපෑලෙන් සංජීවට සිද්ධිය කීවේය. සංජීව බන්ධනාගාරයේ සිටම අජාට ඇමතුමක් ලබා දී එලෙස කප්පම් ඉල්ලීම නතර කරන ලෙසත් එය තමන්ගේ තැනක් බවත් කීය. එහෙත් අජා එය තඹ සතයකට මායිම් කළේ නැත. අවසානයේ මේ ගැන කෝප වූ අජා දෙදෙනකු යොදවා පස් කන්ද බාරව සිටි සුරේෂ්ට වෙඩි තබා තුවාල කළේය. ඒ බිය වැද්දීමේ අරමුණු ඇතිවය.
එම සිද්ධියෙන් පසු සංජීවත් අජත් අතරත් විරසකය වැඩි විය. අජා තව තවත් පළිගැනීමේ අරමුණින් තවත් වැඩක් සිදුකළේය. ඒ පොඩ්ඩාගේ පස් මිලදී ගන්න තවත් අයකු වන පස් චමී ඝාතනය කිරීමය. ඒ අනුව අජා පසුගිය 4 වැනිදා දෙදෙනකු යොදවා පස් චමීට වෙඩිතබා ඝාතනය කළේය. එයින් පාතාලය කැලඹුණු අතර සංජීවත් පොඩ්ඩත් තිගැස්සී ගියහ. පාතාලයේ න්‍යාය නම් ලෙයට ලෙයකි. ඒ අනුව අජාට රිදවීමේ අරමුණින් සංජීව සැළසුමක් සැකසීය. ඒ සුරේෂ්ට වෙඩි තැබීම සඳහා ගිය දේවා නැමැති වෙඩික්කරුට යතුරු පැදියක් ලබාදී තිබු පද්මසිරිට රිදවීමය.
පද්මසිරිගේ පියා වන නෙවිල් පෙරේරා ඝාතනයට කිහිප වතාවක් සංජීවලා උත්සහ කළහ. ඒ අනුව ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් සංජීව පසුගිය අඟහරුවාදා දෙදෙනකු යවා නෙවිල්ට නිවසේදීම වෙඩි තැබුවේය. නෙවිල් යනු 1978 වසරේදි පිහි ඇනුම් ඝාතනයකට අවුරුදු 18ක් සිරබත් කෑ අයෙකි. එහෙත් නිදහස්ව පැමිණෙන නෙවිල් ඉන් පසුව කිසිදු අපරාධයකට සම්බන්ධ නොවූ අතර ව්‍යාපාර කරමින් කාලය ගත කළේය. සංජීවට ව්‍යාපාරිකයන් පෙන්නන්නට බැරි තරම් මානසික ලෙඩක් ඇත. ඒ ඔවුන්ගෙන් කප්පම් ගැනීමය. කෙසේ වෙතත් නෙවිල්ට වෙඩි තැබුවේ ඔහුගේ පුත්‍රයාත් අජාත් අතර තිබූ සම්බන්ධය නිසාය. දැනට අනාවරණය වන ආකාරය නෙවිල්ට වෙඩි තැබීමට පැමිණ ඇත්තේ ද ගම්පහ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකරට වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන්මය. එහෙත් ගම්පහ පොලීසිය තවමත් ඒ සැකකරුවන් අත් අඩංගුවට ගෙන නැත. එයට හේතුවී ඇත්තේ ගම්පහ පොලීසියේ තරු පටි රාජ්‍ය ලාංජන පොලිස් ලොක්කෙක් නිසාය. මේ පොලිස් ලොක්කාගේ දිව දෙකේ වැඩ නිසා පාතාලයෝ එළිපිට රඟපාති. එහෙත් පොලිස් ලොක්කා අද වනතෙක් ඒ පාතාලයන් අල්ලන්නට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.
කෙසේ වෙතත් මේ පස් ජාවාරම පසුපස ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු ද ඉන්නා බව සඳහන් වේ. ඒ මන්ත්‍රීවරයාගේ සහයෙන් පාතාලයන් අපරාධ සිදුකරණ බව අනාවරණය වේ. මෙවැනි තත්වයක් මත ගම්පහ පාතාලයේ නිමාවක් දකින්නට කවදා සිදුවෙතැයි දන්නේ නැත. එතෙක් මේ ලේ හැලීම නතර වන්නේ නැත.
රෙහාන් රාසික්