2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

කොළඹ පාතාලේ අලුත්ම බිල්ල කළු බෝලේ

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 1504

කොළඹ පාතාලය මෙරට සක්‍රීයම පාතාලය වන්නේය. 88/ 89 භීෂණ කාලයෙන් ඇරඹි කොළඹ පාතාලයේ දරුණුම යුගය එළඹෙන්නේ 90 දශකයේය. කොළඹ පාතාලයේ එකල පාතාල පරම්පරාව වුණේ අමරසිංහ පරම්පරාවය. රංජිත් අමරසිංහ, නිහාල් අමරසිංහ අයියා මලෝ වූහ. ලංකා ඉතිහාසයේ බන්ධනාගාරයක් තුළ වෙඩි තැබීමක් සිදුකළේ මෙකී අමරසිංහලාය. ඒ නිහාල් අමරසිංහ විසින් තම පවුලේම සහෝදරයකු වූ නොයෙල් අමරසිංහ වැලිකඩ බන්ධනාගාරය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමය.

එසේ අමරසිංහ පරම්පරාව ඉහළ එනවිට අනෙක් පැත්තෙන් උඩට ආවේ සොත්ති උපාලිය. ඒ දේශපාලන බලය හරහාය. නිහාල් සහ රංජි මියගිය පසු එම පරම්පරාවෙන් තවත් දරුවන් දෙදෙනකු කොළඹ පාතාලයට දායාද කෙරිණි. ඒ ඝාතනයට ලක්වූ නොයෙල් අමරසිංහගේ වැඩිමල් සහෝදරියගේ දරුවන් දෙදෙනාය. ඔවුන් දෙදෙනා කොළඹ පාතාලයේ භයානකම පුද්ගලයන්  වූ අතර වැඩිම ඝාතන සිදුකළේ ද ඔවුන් දෙදෙනාය. ඒ චින්තක අමරසිංහ හා ධම්මික අමරසිංහය. අමරසිංහලා එහෙන් මිනීමරන විට නාවල් නිහාල් ගෝඩ් ෆාදර් වෙමින් මෙහෙන් මිනීමරන්නට ගත්තේය.

ඒ අස්සේ කොළඹ මුස්ලිම්, දෙමළ වශයෙන් ද කොළඹ පාතාලය බෙදී ගියේය. පොට්ට නවුෆර්ලා, ආනමාලු ඉමිටියාස්ලා, ෆාජිලා, මාමාස්මිලා, කිඹුලා ඇළ ගුණාලා ඊට හොඳම උදාහරණ වූහ.

කෙසේ වෙතත් මේ අතර බ්ලූමැන්ඩල් ප්‍රදේශය රජකරමින් තවත් පාතාල නායකයෙක් කරලියට ආවේය. ඔහු ප්‍රින්ස් කොලම් නැමති අයකි. ඔහුද නහුතෙට මිනීමැරුම් කළ අයෙක් විය. කෙසේ වෙතත් මේ අතර ඔහු සමීපයේ තවත් ගෝලයන් කිහිප දෙනක් හැදී වැඩුණාය. ඒ අය අතර බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තා උඩින්ම සිටියේය. ප්‍රින්ස් කොළඹගේ ඝාතනයත් සමඟ ඔහුගේ ගෝලයන් සීසීකඩ විසිරී ගිය අතර සංඛද පාවී ගොස් එවකට කොළඹින් දේශපාලනය කළ තරැණ මන්ත්‍රීවරයකු සමීපයට හේත්තු විය.

ඒ අසල දෙමටගොඩ චමින්ද වැනි පාතාලයන් ද සිටියෝය. මේ අතර සංඛ හෙරොයින් විකිණීම ද ආරම්භ කර තිබුණේය. සංඛ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම කළ අතර දෙමටගොඩ චමින්ද දෙමටගොඩ අවට සිදු කළේය. චමින්ද මහා පරිමාණයෙන් කුඩු ජාවාරම සිදු කරමින් එය කොළඹ පුරා ව්‍යාප්ත කිරීමට තීරණය කළේය. මේ නිසා සංඛත් අතර ගැටුමක් පටන් ගත්තේය. සංඛ චමින්දට එරෙහිව අවි අමෝරා ගත්තේය.

මේ අතර සංඛට බන්ධනාගාරයේදී තවත් යාලුවෝ දෙන්නෙක් මුණ ගැසිණි. ඒ කෝටි හතේ මංකොල්ලයට සම්බන්ධ දෙදෙනෙකි. එකෙක් ආමි සම්පත්ය. අනෙකා මාකිලංගමුවේ සංජීවය. පසුව සංඛ මෙම තිදෙනා සමඟ එක්ව දෙමටගොඩ චමින්ද ඝාතනයට පිඹුරු පත් ඇන්ඳෝය.

එහි පළමු ප්‍රහාරය 2012 දෙමටගොඩ ප්‍රදේශයේදී සිදුකෙරිණි. සංඛ, සංජීව, ආමි සම්පත් සහ සුජිත් යන සිව්දෙනා ටී 56 ගිනි අවිත් රැගෙන චමින්ද සොයා යමින් සිටියහ.

පසුව මේ පිළිබඳව චමින්දට දැනගැනීමට ලැබී චමින්දත්, ඔහුගේ සහෝදරයා වූ රුවනුත් එක්ව දෙමටගොඩ මස්කඩය අසලදී සංඛලා පැමිණි මෝටර් රථයට වෙඩි තැබූහ. එහිදී සුජිත් මිය ගිය අතර සංඛ සහ අනෙක් දෙදෙනා පැනගත්හ.

එසේ පැනගත් සංඛ, සම්පත්, සංජීව නතර වුණේ ඩුබායි රාජ්‍යයට ගොස්ය. මේ අතර චමින්දගේ සහ සංඛගේ ගෝලයෝ තරගයට දෙදෙනාගේ නියෝග මත මරා ගත්තෝය. හෙරොයින් ගනුදෙනුවක ප්‍රතිඵලයක් නිසා සම්පත් ඩුබායි සිට සැලසුම් කර පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රී සාමෙල් සඳරැවන් වෙඩි තබා ඝාතනය කළේ මේ අතරතුරේය.

කෙසේ වෙතත් මේ අතර දෙමටගොඩ චමින්ද භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට බන්ධනාගාරගත වන්නේය. එතෙක් අතුරැදන්ව සිටි සංඛත්, සම්පතුත්, සංජීවත් නැවත ලංකාවට එන්නේ චමින්දගේ බිල්ල ගැනීම සඳහාය.

ඒ අනුව 2014 දී චමින්ද භාරත නඩුව නිමවී බන්ධනාගාරයට යමින් සිටියදී බන්ධනාගාර බස් රථය මෝටර් රථයක් දමා හරස් කොට චමින්දට වෙඩි තැබුවේය. එදා චමින්ද ජිවිතය අනූනවයෙන් ගලවා ගත්තේය. එම ප්‍රහාරයෙන් පසුව සංජීව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගන්නේ තුවාල ලබා සිටියදීය. ඒ බන්ධනාගාර නිලධාරීන් එල්ල කළ වෙඩිල්ලක් නිසාය. එහෙත් සංඛත් සම්පතුත් පොලීසියට කොටුවන්නේ නැත.

මේ අතර 2015 මහ මැතිවරණය පැමිණි අවස්ථාවේ පැවැති පාගමනකට මෝටර් රථයෙන් පැමිණි පිරිසක් වෙඩි තැබුවේය. එම ප්‍රහාරයෙන් තිදනෙක් මිය ගියහ. පසුව දැනගන්නට වූයේ එම රැස්විමේ සංඛත්, සම්පතුත් සිටි නිසා චමින්දගේ පාර්ශවය විසින් වෙඩි තැබූ බවය.

මෙම සිද්ධියෙන් පසුව ඔවුන් දෙදෙනා ගැන කිසිදු තොරතුරක් නොලැබුණු අතර එක් දිනක් පෙනුම වෙනස් කරමින් සිටි ආමි සම්පත් විශේෂ කාර්ය බලකාය මගින් ආයුධ සමඟ අත්අඩංගුවට ගනු ලැබීය.

එසේ අත්අඩංගුවට ගෙන වැඩිකල් ගතවූයේ නැත. එකවර දහවලක සංඛ රහස් පොලීසියට පැමිණ බාර වුණේය. එතැනින් පසු සංඛ ඇතුළු කණ්ඩායම බන්ධනාගාරයේ සිටියහ.

මේ අතර සංජීවට ගෝඩ් ෆාදර් වීමේ උවමනාව මත රටේ නැති අපරාධ සිදුකරමින් දඟලන විට සංඛ සංජිවගෙන් බන්ධනාගාරයෙදී වෙන්වුණේය. අවසානයේ දෙදෙනා කතා නොකරන තැනකට පත්වූහ. එහෙත් සම්පත් සහ සංජීව කතා බහ දිගටම සිදුවිය.
එසේ බන්ධනාගාරයේ සිටි සංඛ සහ සම්පත් මේ වසරේ මුලදී බන්ධනාගාරයෙන් නිදහස් වී එළියට පැමිණියහ. සම්පත් වෙනම ගිය අතර සංඛ එළියට පැමිණ සුපුරුදු රැකියාව වූ හෙරොයින් විකිණීම ආරම්භ කළේය. ඔහු ඒ සඳහා ගෝලයන් කිහිපදෙනකුද සූදානම් කර ගත්තේය.

මේ අතර සංඛ බෝට්ටුවෙන් ඉන්දියාවට යමින් එමින් හෙරොයින් ගෙන එමින් සිටි බව පොලීසිය පවසයි. එසේ ගෙන එන හොරොයින් කොළඹ පුරා විකුණා ඇති බවත් සඳහන් වේ. එසේ විකුණූ අය අතර දිනේෂ් එරන්ද හෙවත් කළුබෝලෙ ද සිටියේය. කළු බෝලේ  සංඛගේ හොඳම ගෝලයා විය. එහෙත් පාතාලයේ ස්ථිර හතුරෝ ද මිතුරෝ ද නැත. මේ නිසා කළු බෝලේගේ සහ සංඛගෙ මිතුරුකම වැඩි කල් තිබුණේ නැත. දෙදෙනා ටිකෙන් ටික ඈත් වුණු අතර දෙදෙනා ගැටෙන තැනට ආවේය. එහි අවසන් හැපීම පසුගිය 26 වැනිදා උදෑසන සිදුවුණේය. ඒ මරණ ගෙදරකදිය.එදින දෙදෙනා බහින් බස්වීමක් සිදුවූ අතර අවසානයේ එම වචන මරණය තෙක් ඇදී ආවේය.

සංඛ යතුරැ පැදියක පැමිණ කළුබෝලේට වෙඩි තැබුවේය. එසේම තවත් හතර දෙනකුට තුවාල විය. සංඛ පැනගත්තේය. සංඛ මේ වනවිට ලංකාවෙනුත් පැන ගොස්ය. ඒ බෝට්ටුවෙන් ඉන්දියාවටය.

එහෙත් ප්‍රශ්නය නිමාවී නැත. සංඛ නැවතත් පැමිණෙනු ඇත. ඒ එන්නේ ද කුඩු ව්‍යපාරය හරහාය. එසේ නම් මේ කුඩු පාතාලයට තිතක් ලැබෙන්නේ කවදාද? ඒකට පිළිතුරක් හැකි ඉක්මනින් ලබාදිය යුතු නොවේද? තීරණය පාලකයන් සතුය.

 ගයාන් ගාල්ලගේ

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03