2019 මැයි 25 වන සෙනසුරාදා

ක්‍රිකට් ලොවේ රජ දැක්ම

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 96

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව (අයි.සී.සී.) වසර හතරකට වරක් සංවිධානය කරන ලෝක ක‍්‍රිකට් පිටියේ ‘මංගල්‍ය’ ලෙස සැළකෙන ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ 12 වැනි දිගහැරැම ලබන බ‍්‍රහස්පතින්දා (30 වැනිදා) එංගලන්තයේදී ආරම්භ වේ. බි‍්‍රතාන්‍ය ජාතිකයන්ට ලෝක කුසලාන තරගාවලියක උණුසුම ලැබීමේ අවස්ථාව වසර 20 කට පසුව ලැබීම මෙහිදී කැපී පෙනේ. 1999 වසරෙන් පසුව බි‍්‍රතාන්‍යයේදී ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ත්‍යාග වෙනුවෙන් ඉතිහාසයේ පළමුවරට ඩොලර් මිලියන 10ක් හෙවත් රුපියල් කෝටි 178කට ආසන්න මුදලක් වෙන්කර තිබේ. මෙවර ලෝක ශූරයන්ට ඩොලර් මිලියන හතරක් හෙවත් රුපියල් කෝටි 71 කට ආසන්න අති දැවැන්ත ත්‍යාග මුදලක් පිරිනමන අතර අනු ශූරයන්ට ඩොලර් මිලියන දෙකක් හෙවත් රුපියල් කෝටි 35 කට අධික මුදලක් පිරිනැමීමට නියමිතය.

ලෝක කුසලාන ආසන්නතම ශූරයන් වන  ඕස්ටේ‍්‍රලියාවට 2015 වසරේ ඩොලර් මිලියන 3.75 ක් පිරිනැමූ අතර ඒ අනුව මෙවර ඩොලර් 250,000 ක් වැඩි කර තිබේ. මුදලේ අගයේ වෙනස්වීම් නොසැළකුවහොත් එය රුපියල් කෝටි 4.5 කට ආසන්න වැඩිවීමකි. පළමු  වටයේ ජයගන්නා සෑම තරගයක් සඳහාම ඩොලර් 40,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 70 කට ආසන්න ත්‍යාග මුදල බැගින් හිමිවේ. එකම තරගයක් හෝ ජයගැනීමට අපොහොසත් වන කණ්ඩායමකට ඩොලර් ලක්‍ෂයක් හෙවත් රුපියල් ලක්‍ෂ 175කට ආසන්න මුදලක් ලැබේ.

මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය මීට පෙර පැවැති තරගාවලිවලට වඩා වෙනස් ආකාරයට පැවැත්වෙන අතර මෙවර ලීග් තරගාවලියකින් පසුව වැඩිම ප‍්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් හතර අතර අවසන් පූර්ව තරග දෙකක් පැවැත්වේ. එම තරග දෙකෙන් ජය ලබන කණ්ඩායම් ජූලි මස 14 වැනිදා අවසන් මහ සටනේදී තරග වදී. එම ලීග් තරගාවලියට අනුව සෑම කණ්ඩායමක්ම තරග නවයකට සහභාගි වන අතර පළමු වටයේ සම්පූර්ණ තරග සංඛ්‍යාව 45 කි. අවසන් පූර්ව තරග දෙක සහ අවසන් මහ තරගය සමඟ මෙවර ලෝක කුසලාන තරගාවලියේ සම්පූර්ණ තරග සංඛ්‍යාව 48 කි. මෙම තරග එංගලන්තයේ සහ වේල්සයේ ක‍්‍රීඩාංගණ 11 කදී පැවැත්වේ.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙවර තරගාවලියේදී මුදල තරග පාවාදීමට වැට බැඳීමට පියවර රැසක් ගෙන තිබීම කැපී පෙනෙන තත්ත්වයකි. එහි එක් පියවරක් ලෙස සෑම කණ්ඩායමකටම දූෂණ මර්දන නිලධාරියා බැගින් අනුයුක්ත කර තිබේ.  

ලෝක කුසලාන ක‍්‍රිකට් ඉතිහාසය වසර 44 ක් දක්වා දිවයයි. 1975 වසරේ පළමු ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය එංගලන්තයේදී පැවැත්විණි. ටෙස්ට් තත්ත්වය නොලැබූ ශ්‍රී ලංකාව පළමු ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සිට මේ දක්වා ලෝක කුසලාන තරගාවලි 11 ටම සහභාගි වී තිබේ. ශ්‍රී ලංකාවෙන් බිහිවූ වඩාත් මහත්මා ගුණයෙන් යුතු ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු ලෙස සැළකෙන අනුර තෙන්නකෝන් මහතා පළමු ලෝක කුසලාන තරගාවලියේදී නායකයා ලෙස කටයුතු කළේය.

එංගලන්තයේදී 1975 සහ 1979 යන වසරවලදී පැවැති ලෝක කුසලාන තරගාවලි දෙකේදීම බටහිර ඉන්දීය කොදෙව්වෝ ශූරයන් බවට පත්වූහ. එදා මෙදාතුර වසර 40ක් ගතවී තිබුණද කොදෙව්වන්ට නැවත එක්දින ලෝක ශූරයන් වීමට නොහැකිව තිබේ. ලෝක කුසලාන එක්දින තරගාවලි 11න් පහකදී  ඕස්ට්‍රේලියාව ශූරයන් බවට පත්ව සිටියි. ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දෙවරක් බැගින්ද, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එකවරක් බැගින්ද, ශූරයන් වී තිබේ.

ශ්‍රී ලංකාව 1996 වසරේ ආසියාවේ පැවැති හයවැනි ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැති අවසන් මහ තරගයේදී ඕස්ටේ‍්‍රලියාව පරාජය කරමින් ‘විල්ස්’ ලෝක කුසලාන දිනාගැනීමට සමත් විය. එහිදී නායකයා ලෙස කටයුතු කළ අර්ජුන රණතුංග වර්තමානයේ කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකාව 2007 සහ 2011 යන තරගාවලිවලදී මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවද ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව හමුවේ පරාජයට පත්වී අනු ශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

පාකිස්තානය 1992 වසරේ  ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය කේන්ද්‍ර කරගනිමින් පැවැති පස්වැනි ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් බවට පත්වූ අතර එම කණ්ඩායමේ නායකයා වන ඉම්රාන් ඛාන් වර්තමානයේ පාකිස්තානයේ ජනාධිපතිවරයා වේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වෙතින් ඉඟි පළකර ඇති කණ්ඩායම් අතර එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය සහ දකුණු අප‍්‍රිකාව පිළිවෙළින් සිටියි. එය එසේ වුවද සෙසු රටවල්වලටද පෙරළියක් කිරීමේ හැකියාව තිබේ. ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වීම ඕනෑම ක‍්‍රිකට් ක‍්‍රීඩකයකුගේ සිහිනයකි. ලෝක කුසලාන තරගාවලියක ශූරයන් වීම ඕනෑම කණ්ඩායමක සහ නායකයකුගේ ඉලක්කයකි.

සටහන: යොහාන් භාසුර

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00