ක්රිකට් ක‍්‍රීඩකයන් දහඩිය වගුරවමින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ගෙන එන මුදල් ක‍්‍රිකට් පරිපාලකයන්ගේ ඕනෑ එපාකම් මත හිත මිතුරන්ට බෙදා දෙන තත්ත්වය අන් කිසිදාකට වඩා වැඩි වැඩියෙන් සිදුවන බව ප‍්‍රසිද්ධ රහසකි. වර්තමාන ක‍්‍රිකට් පරිපාලනය තුළ හිතමිතුරු සංග‍්‍රහය වඩාත් වැඩි වී ඇති බව පසුගිය මාස කීපය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් පැහැදිළි කරගත හැකිය.
එය එසේ වුවද වර්තමාන ක‍්‍රිකට් පරිපාලකයන් ඔවුන්ගේ එහෙයියන්ට තනතුරු ලබාදෙමින් සුපිරි වැටුප් පිරිනැමීම නවත්වන දිනයක් පෙනෙන තෙක් මානයක නැත.
හිතවතුන්ට හතර අතේ මුදල් විසිකරන ක‍්‍රිකට් ලොක්කෝ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත‍්‍රාත්තුව සකස් කිරීමේදී පසුගිය වසරේ ක‍්‍රීඩකයන් දැඩි අපහසුතාවට පත්කරමින් ගෙවීම් අඩු කිරීමට කටයුතු කළහ.
ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට මාස කීපයක් ඇතුළත මේ වන විට තෙවැනි කළමනාකාරවරයා ද පත්කිරීම පසුගිය සතියේ සිදුවිය. 1996 ලෝක ශූර ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රබලතම සාමාජිකයකු වූ අසංක ගුරුසිංහ ‘ක‍්‍රිකට් කළමනාකරු’ ලෙස පත් කළේය.
ශ්‍රී ලංකා පිලේ කළමනාකරු ලෙස චරිත් සේනානායක මහතා ලබන සැප්තැම්බර් මස දක්වා ලක්‍ෂ 2 කට අධික වැටුපක් මාසිකව ලබයි. සේනානායක මහතා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් හේතුවෙන් ඔහු සේවයෙන් ඉවත් කළද කොන්ත‍්‍රාත් ගිවිසුම සැප්තැම්බර් මස අවසන් වීම නිසා ඒ දක්වා වැටුප ගෙවිය යුතුය.
ඔහු ඉවත් කර පසුගිය දකුණු අප‍්‍රිකානු සංචාරයේ සිට රංජිත් ප‍්‍රනාන්දු මහතා කළමනාකරු ලෙස පත් කළේය. ඒ මහතාට රැරුපියල් ලක්‍ෂ 3 කට ආසන්න වැටුපත් ගෙන බව වාර්තා වේ.
නව පත්වීම් ලැබූ අසංක ගුරුසිංහ මහතාට රුපියල් ලක්‍ෂ 6 ක පමණ වැටුපක් ගෙවන බව දැනගන්නට තිබේ.
මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ජාතික කණ්ඩායමේ කළමනාකරැවන් සඳහා පමණක් රුපියල් මිලියනයකට අධික මුදලක් ගෙවයි. මේ මුදල් වර්තමාන ක‍්‍රිකට් පාලකයන් ගෙදරින් රුගෙන ආ මුදල් නොවන අතර ක‍්‍රීඩකයන්ගේ දස්කම්වල අඩු වැඩිය අනුව ලැබෙන මුදල්ය.
මේ අකාරයට තවදුරටත් ක‍්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සංචාරයකට සහභාගි වන විට ක‍්‍රීඩකයන් 15 දෙනාට වඩා නිලධාරීන් පිරිසක් සහභාගි වීමේ අවදානමක් ද නැතුවා නොවේ.
වර්තමාන පාලකයන් 2016 වසරේ ජනවාරි මසික පාලනයට පැමිණීමෙන් පසුව විවිධ තනතුරු නිර්මාණය කරමින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආතනයේ මුදල් හිතවතුන්ට මාස වැටුප යන ලේබලය යටතේ බෙදා දෙමින් සිටියි.
එම ක‍්‍රමවේදය හරහා ක‍්‍රිකට් ලොක්කෙකු තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ පුද්ගලයන්ට ද ඇතැම් තනතුරු කෑලිවලට කඩා නව තනතුරු නිර්මාණය කර වැටුප් ලබා දෙයි. එවිට එම පුද්ගලයාට ගෙදරින් දෙන වැටුප අහිමිවන බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වසර පහකට ආසන්න කාලයක් මාධ්‍ය කළමනාකරු ලෙස කටයුතු කළ නිලධාරියා ඉවත් කල එම තනතුර විවිධ නම්වලින් කොටස් තුනකට කඩා ක‍්‍රිකට් ලොක්කෙකුගේ හිතවතුන් තිදෙනනකුට ලබාදී තිබේ.
මෙහි ඇතැමුන්ගේ එකම කාර්යය සතියේ දිනවල පෙරවරුවේ ක‍්‍රිකට් ආයතනයට පැමිණ දිනයේ පුවත්පත් බැලීම පමණක් බවත් දැනගන්නට තිබේ.
මෙවැනි තනතරු රැසක් පසුගිය කාලය පුරාම නිර්මාණය කර ඡන්දයට ප‍්‍රතිඋපකාර කිරීමට ක‍්‍රිකට් බලධාරීහු කටයුතු කළහ.
♦ සටහන: වරකාගොඩ ගමගේ