2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවට 5වැනි දිනයේ රන් පදක්කම් 06 ක්

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 120

නේපාලයේදී දැන් පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග් ක‍්‍රීඩා උළෙල) පස්වැනි දිනය වූ පසුගිය බ‍්‍රහස්පතින්දා පස්වරුව වනවිට ශ්‍රී ලංකාව රන් පදක්කම් 17ක් පමණක් දිනාගනිමින් දැඩි පසුබෑමකට ලක්ව සිටියේය. ශ්‍රී ලංකාව ඒ වනවිට රන් පදක්කම් 17ක්, රිදී පදක්කම් 35ක් සහ ලෝකඩ පදක්කම් 55ක් ලබා සමස්ත පදක්කම් 92ක් ලබා සිටියේය. 

සත්කාරක නේපාලය රන් පදක්කම් 36ක් හිමිකරගනිමින් දෙවැනි ස්ථානයේ පසුවීම වඩාත් කැපී පෙනුණි. නේපාලය පසුගිය 2016 සාග් ක‍්‍රීඩා උළෙලේදී දිනා සිටියේ රන් පදක්කම් තුනක් පමණි. 

ශ්‍රී ලංකාව මෙවර රන් පදක්කම් 35ක් ලබාගැනීමේ සූදානමින් සිටි අතර එය සිහිනයක් පමණක් වීමට බොහෝදුරට ඉඩ තිබේ. කෙසේ වුවද 5වැනි දවස වූ බ්‍රහස්පතින්දා රන් පදක්කම් 06ක් දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව පසුගිය 2016 සාග් ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 25ක් ජයග‍්‍රහණය කරමින් සමස්ත පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට පත්විය. මෙවර එම පදක්කම් 25 හෝ රැකගැනීමට හැකිවේද යන්න ඉදිරි දින කීපයේදී තීරණය වේ. මලල ක‍්‍රීඩා ඉසව්වලින් රන් පදක්කම් 6ක්, ටයිකොන්ඩෝ ඉසව්වලින් රන් පදක්කම් 4ක්, වූෂු ඉසව්වලින් රන් පදක්කම් 2ක් සහ බර ඉසිලීමෙන් රන් පදක්කමක් ලෙස ශ්‍රී ලංකාව පසුගිය බ‍්‍රහස්පතින්දා වනවිට රන් පදක්කම් 17 එකතු කරගෙන සිටියේය.  

ශ්‍රී ලංකාව රන් පදක්කම් බලාපොරොත්තු තබා සිටින පිහිනුම් ඉසව් බ‍්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිතව තිබුණි. මෙවර ක‍්‍රීඩා උළෙලේ සමස්ත පිහිනුම් ඉසව්වල රන් පදක්කම් සංඛ්‍යාව 38 කි. ශ්‍රී ලංකාව මලල ක‍්‍රීඩා ඉසව්වලින් බලාපොරෙත්තු තබා තිබූ  රන් පදක්කම් නොලැබීම මේ දක්වා පසුබෑමට ප‍්‍රධාන හේතුව බවට පත්ව තිබේ. මීටර 100 පිරිමි ඉසව්වෙන් රන් පදක්කමක් බලාපොරොත්තුව සිටියද හිමාෂ ඒෂාන් දෙවැනි තැනට පත්වෙමින් රිදී පදක්කමින් සෑහීමට පත්වීමට සිදුවිය. දකුණු ආසියානු කලාපයේ වේගවත්ම මිනිසා ලෙස මෙවර සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ හිමාෂ ඒෂාන්, මාලදිවයින් ක‍්‍රීඩකයකුට පරාජය විය. මාලදිවයින මේ දක්වා එම රන් පදක්කම පමණක් හිමිකරගෙන සිටියේය. 

සාග් ක‍්‍රීඩා උළෙලේ බොහෝ දෙනකුගේ අවධානය යොමූ වී තිබෙන මලල ක‍්‍රීඩා ඉසව් පසුගිය අඟහරුවාදා ආරම්භ වූ අතර එහිදී නිලානි රත්නායක මීටර 1500 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම එකතු කිරීමේ ගෞරවය හිමිකරගත්තාය.  නිලානි මෙවර සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගි වූයේ මීටර 5000 කාන්තා ඉසව්ව නියෝජනය කිරීම සඳහා වුවද මීටර 1500 ඉසව්වේ ශූරිය වන නිමාලි ලියනාරච්චි අවසන් මොහොතේ රිය අනතුරකට ලක්වීමෙන් ක‍්‍රීඩා උළෙලෙන් ඉවත්වීමට සිදුවිය. ඒ අනුව නිලානි ආදේශ ක‍්‍රීඩිකාව ලෙස තරගයට සහභාගි වී විනාඩි 4.34:34 කින් තරගය අවසන් කිරීමට සමත් වූවාය. නිලානි පසුගිය සාග් ක‍්‍රීඩා උළෙලේ ද මීටර 1500 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම් ලාභිනිය වන අතර ඇය බාධක දිවීමේ ශූරියක් ද වන්නීය. 

තුන්ප‍්‍රයාම කාන්තා ඉසව්වේදී දුලක්‍ෂි එරංගා වීරසිංහ රන් පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකාවට දෙවැනි රන් පදක්කම එකතු කිරීමට සමත් වූවාය. ක‍්‍රීඩා උළෙලේ දෙවැනි දිනය වූ පසුගිය සඳුදා ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ ක‍්‍රීඩකයෝ වයස 23න් පහළ කාණ්ඩයේ කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර එය ශ්‍රී ලංකාවේ තෙවැනි රන් පදක්කම බවට පත්විය.

ශ්‍රී ලංකාව 600 කට අධික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගි කරවමින් ඉතිහාසයේ ඉහළතම කණ්ඩායම මෙම තරගාවලියට සහභාගි කරවීය. රුපියල් මිලියන ගණනක් වැය කරමින් පුහුණු සංචිත පවත්වාගෙන ගියේය. මෙවැනි තත්ත්වයක් තුළ 2016 වසරේ ලබාගත් රන් පදක්කම් 25 හෝ ලබාගැනීමට නොහැකි වුවහොත් මේ සඳහා වැයකළ රුපියල් කෝටි 35 ක පමණ මුදල නාස්තියකි.

මෙම ක‍්‍රීඩා උළෙලේදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සහ සෙසු නිලධාරීන්ට හිමිව ඇති පහසුකම් අවම මට්ටමක පවතින බවද වාර්තා වේ. 

I යොහාන් භාසුර

 

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00