2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

ලංකාවේ ’සර්’ එක්ක ක්‍රිකට් ලෝකය හෙල්ලූ බංගලාදේශ මල්ලිලා

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 437

ශ්‍රී ලංකා ජාතික සහ කනිෂ්ඨ ක‍්‍රිකට් තේරීම් කමිටු හරි හරියට ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්පත් විනාශ කරද්දී බංග්ලාදේශය, ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්පත් මනාව ප‍්‍රයෝජනයට ගනිමින් ලෝක ක‍්‍රිකට් පිටියේ නව පරිච්ඡේදයක් සටහන් කිරීමට පසුගිය ඉරිදා සමත් විය. බංග්ලාදේශ යොවුන් ක‍්‍රීඩකයෝ දකුණු අප‍්‍රිකාවේදී අවසන් වූ 13 වැනි යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරයෝ බවට පත්වූහ. බංග්ලාදේශ පිල අවසන් මහ තරගයේදී ප‍්‍රබල ඉන්දීය පිල පරාජය කිරීම එහි වඩාත් කැපී පෙනෙන සිද්ධිය බවට පත්විය.

ලෝක ශූර බංග්ලාදේශ යොවුන් ක‍්‍රිකට් පිලේ පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක‍්‍රීඩකයකු මෙන්ම ශ්‍රී ලංකා ‘ඒ’ සහ ශ්‍රී ලංකා කාන්තා යන ක‍්‍රිකට් කණ්ඩායම්වල හිටපු පුහුණුකරුවකු වන නවීඩ් නවාස් මහතා කටයුතු කළේය. නවීඩ් මහතා 2009 වසරේ සිට 2010 වසර දක්වා වසර දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළද ඒ මහතාට සැලකිය යුතු වෙනස්කමක් කිරීමට නොහැකි විය.

එයට නවීඩ් මහතාට එක එල්ලයේ දොස් නැඟිය නොහැකි අතර ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම්වල අභ්‍යන්තරයට ඇතැමුන්ගේ ඇඟිලි ගැසීම් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කඩා වැටීමට ප‍්‍රධාන හේතුව බව ඉතිහාසය සාක්‍ෂි දරයි. බලපෑම් විවිධ ආකාරයට සිදුවිය හැකිය. ක‍්‍රිකට් පරිපාලනයේ උසස් නිලධාරීන්, පාලනයේ සිටින ක‍්‍රීඩා අමාත්‍යවරයා, තේරීම් කමිටු නිලධාරීන්, පුහුණුකරුවන්, ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්, ඇතැම් විට බලය ඇති දෙමව්පියන් යන  ඕනෑම පාර්ශවයකින් හෝ පාර්ශව කීපයකින් සිදුවිය හැකිය. එම බලපෑම් කුමන ආකාරයකට සිදුවුවද එහි අහිතකර ප‍්‍රතිඵල පරාජයන් තුළින් එළියට පනී.

ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් කණ්ඩායම 10 වැනි ස්ථානයට පත්වීම පිළිබඳව එම කණ්ඩායමේ කළමනාකාරිත්වයට නිදහසට කරුණු දක්වන ලෙස මේ දක්වා ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් කිසිදු දැනුම්දීමක් කර නොමැත. මෙම ලෝක කුසලාන පරාජයද පුහුණුකරුගේ සහ කළමනාකරුගේ සුපුරුදු වාර්තාවෙන් අවසන් වනවාට සැක නැත. යොවුන් පිලේ පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා තනතුරෙන් ඉවත්කිරීමට සූදානම් වන බව දැනගන්නට ලැබුණද මෙම සටහන තබන මොහොත දක්වා එවැනි ඉවත්කිරීමක් සිදුව නොමැත. 

ලෝක කුසලාන පරාජය පාදක කරගෙන පුහුණුකරු සේවයෙන් ඉවත්කරන්නේ නම් ඊට පෙර මෙම සංචිතය නම් කළ ජාතික තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් මහතා සහ ජාතික තේරීම් කමිටුව නියෝජනය කරමින් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ විනෝදන් ජෝන් මහතා ඉවත්කළ යුතුය. එසේ නම් කනිෂ්ඨ තේරීම් කමිටු සාමාජික සහ වයස 19න් පහළ කණ්ඩායමේ කළමනාකරු ෆර්විස් මහරුෆ් මහතාද සියලු තනතුරුවලින් ඉවත්කළ යුතුය. 

ලෝක කුසලාන තරගාවලියේදී සිදුවූ ඇතැම් සිද්ධීන් පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පිරිසක් පැමිණිලි කිරීමට සූදානම් වන බව වාර්තා වේ. වගකිවයුත්තන් මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් කර හරින තාක්කල් ඉතිහාසයේ වූවා පරිදි ඉදිරියටත් සිදුවනු ඇත.  

I යොහාන් භාසුර

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00