2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

සනාගේ පාත්තරේට ගුරා!

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 416

අසංක ගුරුසිංහ, ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයකු ලෙස සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදාවීමට ආසන්නයේ තිබියදී පත්කරනු ලැබීය. එම පත්වීමට ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතිය ලැබුණු බව සඳහන් විය.  ගුරුසිංහ එම පත්වීමට ලැබීමට මාසයකට පමණ පෙර ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමණාකරුවකු ලෙසද පත්කිරීමට ක‍්‍රිකට් පරිපාලනය පියවර ගත්තේය. එහිදී ගුරුසිංහට ‘කළමණාකරු ක‍්‍රිකට්’ ලෙස විශේෂණ පදයක් ද හිමිවිය.

ගුරුසිංහ තේරීම් කමිටුවට පත්කිරීම තේරීම් කමිටු සභාපති හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මට්ටු කිරීමට එසේත් නැත්නම් අතුගා දැමීමේ ක‍්‍රිකට් ලොක්කෙකුගේ මෙහෙයුමක පළමු පියවර බව ලොක්කා ගැන දන්නා බොහෝ දෙනෙක් පවසති.

අසංක ගුරුසිංහ 90 දශකයේ ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ ප‍්‍රබල චරිතයකි. 1996 විල්ස් ලෝක කුසලාන දිනාගැනීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අති විශේෂ කාර්යයක් ගුරුසිංහ ඉටු කළේය. එහි තර්කයක් නැත. නමුත් ගුරුසිංහ, ශ්‍රී ලංකාවේදී ක‍්‍රිකට් පරිපාලනය සම්බන්ධ තනතුරකට පත්වූ පළමු අවස්ථාව මෙය වීම නිසා ඔහුගේ පරිපාලන හැකියාව පිළිබඳව තක්සේරුවක් ලබාදීමට ඉක්මන් වියයුතු නැත. 

කෙසේ වෙතත් ගුරුසිංහ ලෝක කුසලාන ජයග‍්‍රහණයෙන් පසුව වැඩි කලක් ශ්‍රී ලංකාවේ රැදී නොසිටි අතර ඔහු වසර 20කට ආසන්න කාලයක්  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටියේය. ඒ හේතුවෙන් වර්තමාන ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම හෝ ක‍්‍රීඩකයන් පිළිබඳව ගුරුසිංහට සතු දැනුම අල්ප බව පමණක් අපට කිව හැකිය.

ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ නායක අර්ජුණ රණතුංග මහතාද පවසා තිබුණේ ගුරුසිංහ වසර 20ක් පමණ ශ්‍රී ලංකාවේ නොසිටි බවයි.

මෙම පත්කිරීම තුළ ගුරුසිංහ කෙරුමකු කිරීමේ සැබැ උවමනාවක් නැති වුවද “ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තබා කැපීමේ” උවමනාවක් පමණක් ඇති බව සමහරු කියති.

ක‍්‍රිකට් ලොක්කකුගෙන් බලපෑම් ඇති බව ක‍්‍රීඩා ඇමැතිවරයාට පැමිණිළි කරමින් සනත් ජයසූරිය තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉවත්වීමට මීට මාස දෙකකට පමණ පියවර ගත්ත ද සාකච්ඡා කීපයකින් පසුව නැවත කටයුතු කිරීමට ඔහු තීරණය කර තිබිණි. 

සනත් ජයසූරිය ජාතික කණ්ඩායම සමඟ සංචාරවලට තේරීම් කමිටු සාමාජිකයා ලෙස සහභාගි වීම නතර කිරීමට ක‍්‍රිකට් විධායක කමිටුව ඇතැමුන්ට අවශ්‍යව තිබුණි. එහිදී ඔවුන් පැවසුවේ ජයසූරිය වෙනුවෙන් අධික වියදමක් දැරීමට සිදුවන බවයි. 

ජයසූරිය යනු ශ්‍රී ලංකාවේ සම්පතක් බව ක‍්‍රිකට් පරිපාලනය කරන මහත්වරුන්ට අමතක වී තිබේ. ඔහු නොවන්නට ඇතැම් විට ශ්‍රී ලංකාව තවමත් ලෝක කුසලානයක් දිනාගැනීමට සිහින දකිනවා විය හැකිය. ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේදී ජයසූරිය වෙනුවෙන් මුදල් වියදම් කිරීම සාධාරණය නොවේ යැයි කිසිවකුට කිව නොහැක.  
ජයසූරිය වෙනුවෙන් වියදම් කිරීම නාස්තියක් නම් ‘ක‍්‍රිකට් ඒඩ්’ යැයි පවසමින් ක‍්‍රිකට් පරිපාලකයන් බුරුතු පිටින් රට සවාරි ගොස් කාබාසනියා කරන මුදල් ජාතික අපරාධයකි. 

ගුරුසිංහ ජාතික කණ්ඩායමේ කළමණාකරුවකු බැවින් ඉදිරියේදී තේරීම් කමිටු සභාපති ජයසූරිය සංචාරවලට සහභාගි වීමේ අවශ්‍යතාවක් නොමැති බව ප‍්‍රකාශ කරනවාට සැක නැත. 

වර්තමාන ක‍්‍රිකට් පරිපාලනය පත්වීමෙන් පසුව මෙවැනි සිද්ධීන් බොහෝමයක් සිදුවූ බව ක‍්‍රිකට් ආයතනයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. 

වර්තමාන ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයකුගේ ක‍්‍රිකට් ආනාගතය විනාශ කිරීමටද ඇතැමුන් පිඹුරුපත් සකස් කරමින් සිටින බව ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ. 

ක‍්‍රීඩකයා නොමැති වුවද ක‍්‍රීඩා කිරීමට සූදානම් බව ඇතැමුන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්නේ නිකමට විය නොහැක.      

I සටහන: යොහාන් භාසුර