2017 මැයි 27 වන සෙනසුරාදා

කනිටු දැල්පන්දු පිලේ කඩාවැටීමට වගකිවයුත්තෝ

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 126

ඕස්ට්‍රේලියාවේදී පසුගියදා අවසන් වූ ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා දැල්පන්දු පිලේ නිලධාරිනියන් අතර පැවතියේ යැයි කියන කෙස්වලු පටලවා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට සෘජුව බලපෑ බවට චෝදනා එල්ල වේ. ශ්‍රී ලංකාව ආසියානු ශූරීයන් ලෙසින් මෙම තරගාවලියට සහභාගි වී සිවුවැනි ස්ථානයට පත්ව ප‍්‍රශ්න කන්දරාවක් හිසදරා නැවත පැමිණියේය. 

මෙහිදී කනිෂ්ඨ දැල්පන්දු පිලේ පුහුණුකාරිණී තමාරා ලියනගේ සහ වෛද්‍ය දමින්දා අත්තනායක සීමාව ඉක්මවා කළේ යැයි කියන හැසිරීම සහ කළමනාකාරිණී ලයානි රේණුකා කුරුප්පු බලය පාවිච්චි නොකළේ යැයි මෙහිදී චෝදනා එල්ල වී තිබේ.  වෛද්‍යවරියට එරෙහිව පුහුණු සැසි අවලංගු කිරීම, කළමනාකාරියගෙන් ලැබිය යුතු උපදෙස් ක‍්‍රීඩිකාවන්ට දීම, තරග අවස්ථාවලදී ක‍්‍රීඩිකාවන්ට උපදෙස් දීම සහ වෛද්‍යවරියගේ කටයුතු පැහැර හැරීම ආදි චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ. 

පුහුණුකාරිණී තමාරා ලියනගේට එරෙහිව කණ්ඩායම දෙකඩ කළ බවට, නිත්‍ය නායිකාව සිටියදී වෙනත් ක‍්‍රීඩිකාවක් නායිකාව ලෙස පත්කිරීම සහ ඇතැම් ක‍්‍රීඩිකාවන්ට වැඩි සැළකිල්ලක් දැක්වීම යන චෝදනා එල්ල වී තිබේ. මෙම තත්ත්වය හමුවේ කළමනාකාරිණිය සිය බලය පාවිච්චි නොකළ බවටද චෝදනා එල්ල වේ. 

මෙම තත්ත්වය පිළිබඳව කළ විමසුමේදී කළමනාකාරිණී ලයානි රේණුකා කුරුප්පු මහත්මිය එම චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් පැවසුවේ තමන්ට පුවත්පත්වලට ප‍්‍රකාශ ලබාදිය නොහැකි බවයි. 

දැල්පන්දු පරිපාලනය ද සුපුරුදු පරිදි මේ වනවිට ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබේ. ක‍්‍රීඩා අමාත්‍යංශයට මෑතකදී පත්වූ නිලධාරියකු පසුගියදා පැවැත්වූ දැල්පන්දු රැස්වීමක් පිළිබඳවද මේ වනවිට දැල්පන්දු ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබුණි. 

එහිදී අදාළ නිලධාරියා පත්වීමට සිටින්නේ යැයි කියන නිලධාරීනියන්ට අවශ්‍ය ආකාරයට රැස්වීම මෙහෙයවූ බවට චෝදනා එල්ල වේ.   

 වරකාගොඩ ගමගේ 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00