2023 ජුනි 04 වන ඉරිදා

ඉන්දියා කෙල්ලන්ගේ හදවත දිනූ ලංකාවේ ’’පුංචි කොල්ලා’’

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 328

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයකුට දකුණු ඉන්දියාවේ තරගයකට සහභාගිවීමට නොහැකිව තිබූ තත්ත්වය උඩු යටිකුරු කරමින් යොවුන් වේගපන්දු යවන ක‍්‍රීඩක මතීෂ පතිරණ දකුණු ඉන්දියාවේ යෞවනියන්ගේ ‘හදවතේ කුමරා’ බවට මේ වනවිට පත්ව සිටී.

ජාතිවාදී ප‍්‍රශ්න හේතුවෙන් අයි.පී.එල්. තරගාවලියේදී චෙන්නායි පිලට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් ඇතුළත්කර නොගත් සහ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් කුමන කණ්ඩායම නියෝජනය කළද දකුණු ඉන්දියාවේ පැවැත්වෙන තරගවලට සහභාගි වීමේ අවස්ථාව අහිමි වූ යුගයක්ද පැවතුණි.

මෙවර ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දක්වා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පැමිණි ගමනේදී දැවැන්ත කාර්ය භාරයක් කළ ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු ක‍්‍රීඩක මතීෂ පතිරණ, සිංහලයන් පිළිබඳව දකුණු ඉන්දියානුවන් තුළ වූ වැරුදි චිත‍්‍රය සම්පූර්ණයෙන්ම මකා දැමීමට මේ වනවිට සමත්ව සිටියි. 

''ශ්‍රී ලංකාවේ පුංචි කොල්ලා''ට අපි ගොඩක් ආදරෙයි. එයා ඉන්දියානුවන් විශ්මයට පත්කර අවසන්. ඔහුව අඛණ්ඩව ඉන්දියාවේ ක‍්‍රීඩා කරන්න යොදාගන්න ඕනේ'' යැයි තමිල්නාඩුවේ තරුණියක් චෙන්නායි කණ්ඩායම සහභාගි වන තරගයක් නැරඹීමට පැමිණ පවසා තිබුණි. 

ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයන් වන මතීෂ සහ මහීෂ් තීක්‍ෂණ ඇතුළත්ව සිටීම නිසාම ශ්‍රී ලාංකිකයෝද අවසන් මහ තරගයේදී නිරායාසයෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් පිලට සහයෝගය දැක්වූහ.  

හිටපු සුපිරි වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගගේ පන්දු යැවීම ඉදිරියව්වට සමාන ආකාරයට පන්දු යවන නිසා ‘බේබි මාලිංග’ ලෙසද ඉන්දියානුවෝ මතීෂ පතිරණ හඳුන්වති. ‘බේබි මාලිංග’ පසුගිය සතියේ පැවැති අවසන් මහ තරගයේදී ගුජරාට් ටයිටන්ස් ඉනිමේ අවසන් ඕවරයේදී ලකුණු 14ක් පමණක් දෙමින් කඩුලු දෙකක් දවා නොගත්තේ නම් චෙන්නායි පිලට අනු ශූරතාවයෙන් සෑහීමට පත්වීමටද ඉඩ තිබුණි. 

මතීෂගේ පළමු පන්දු දෙකට සායි සුදර්ශන් හයේ පහර දෙකකින් සංග‍්‍රහ කිරීමත් සමඟ එම ඕවරය ලකුණු 25කින් 30කින් අවසන්වනු ඇතැයි ලෝකවාසී ක‍්‍රිකට් ලෝලීහු අනුමාන කළහ. එය එසේ වූයේ නැත. මතීෂ සායි සුදර්ශන්ගේ ඉනිම ලකුණු 96 කට සීමා කරමින් ගුජරාට් පිලේ ලකුණු සංඛ්‍යාව 214 කට සීමා කළේය. ගුජරාට් පිලේ ලකුණු සංඛ්‍යාව ලකුණු 225ක් පමණ වූයේ නම් වර්ෂාවෙන් පසුව ඕවර සංඛ්‍යාව 15 කට අඩු වීමේදී ඉලක්කය තවත් විශාල වේ. 

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අවස්ථාව විස්සයි20 තරගයකට පමණක් සීමාවූ මතීෂ නැමැති මැණික ඔපදමන්නා වීමේ ගෞරවය ඉන්දියාවෙන් බිහිවූ සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිට හිමිවේ. දෝනි, මතීෂගේ අනාගතය පිළිබඳව මෙසේ ප‍්‍රකාශ කර තිබුණි.

''මම පෞද්ගලික හිතනවා මතීෂ ටික කාලයක් යනතෙක් ටෙස්ට් ක‍්‍රීඩා නොකළ යුතුයි කියලා. මම හිතන්නේ ඔහු රතු පන්දුවට ළං වෙන්නවත් හොඳ නෑ. සුදු පන්දු ක‍්‍රිකට්වලද එක්දින තරග ඔහු ඉතාමත් අඩුවෙන් ක‍්‍රීඩා කළ යුතුයි. 

ඔහුව ප‍්‍රධාන තරගාවලි සඳහා හොඳ ශාරීරික යෝග්‍යතාවකින් තබාගැනීමට කටයුතු කළ යුතුයි. ඔහු ශ්‍රී ලංකාවට විශාල සම්පතක්. ඔහු ගොඩක් තරුණ බව අමතක නොකළ යුතුයි. ඔහු පසුගිය වසරේ තරමක් ශරීරි ප‍්‍රමාණයෙන් අඩුයි. නමුත් මේ වනවිට ඊට වඩා ශක්තිමත් වෙලා. එහෙත් ඔහු කොපමණ පන්දු යවන්නේද යන්න පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි. ඔහු අනාගතයේදී සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් වෙයි.''

දෝනි යනු ක‍්‍රිකට් අත්දැකීම් සම්බන්ධයෙන් කථා කළහොත් තොග ගබඩාවකි. දෝනිගේ ප‍්‍ර‍්‍රකාශ ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් හොඳ සිහියෙන් මතයේ තබාගැනීම වැදගත්ය. දෝනි යනු මහත්මා ගුණයෙන් පිරි මානවයෙක් බවද ඔහු මතීෂ සම්බන්ධ සිද්ධියේදී ප‍්‍රදර්ශනය කළේය. 

මෙවර අයි.පී.එල්. තරගාවලිය පැවැත්වෙමින් තිබියදී දෝනි මැදිහත්ව මතීෂගේ මව, පියා සහ සහෝදරිය ඇතුළු පවුලේ සාමාජිකයන් ඉන්දියාවට ගෙන්වාගෙන තිබුණි. එම සංචාරයේදී මතීෂගේ පවුලේ සාමාජිකයන්ගේ සියලුම වියදම් දෝනි දරා ඇති අතර දෝනිට අයිති යැයි කියන ගුවන් යානයකින් ඔහු සමඟ සංචාරයකටද සහභාගී කර ඇති බවද වාර්තා වේ. 

චෙන්නායි පිල ලැබූ මෙම අතිවිශිෂ්ට ජයග‍්‍රහණ සම්බන්ධයෙන් කථා කරද්දී දඟපන්දු යවන මහීෂ් තීක්‍ෂණගේ දස්කම්ද අමතක කළ නොහැක. අයි.පී.එල්. තරගාවලියේදී පන්දු යවනවා කියන දේම අභියෝගයකි. දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි පිල වෙනුවෙන් පන්දු යැවීම එම අභියෝගය දෙගුණ කරන්නකි.

I සටහන: යොහාන් භාසුර