2017 ජුනි 03 වන සෙනසුරාදා

මලල ක්‍රීඩාව වසර 4කට මේජර් ජනරාල් පාලිත අතට

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 94

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති ධූරයට ඉදිරි වසර හතර සඳහා මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා පසුගිය අඟහරැවාදා වැඩි ඡන්ද 47 කින් පත්විය. පාලිත ප‍්‍රනාන්දු මහතා සභාපති ධූරයට පත්වූ හයවැනි අවස්ථාව මෙය වේ. මෙහිදී සභාපති ධූරයට තරග කළ හිටපු සභාපති මෙන්ම හිටපු ජාතික කෙටි දුර ධාවන ශූර සුගත් තිලකරත්න මහතා මෙහිදී පරාජයට පත්විය. එහිදී පාලිත ප‍්‍රනාන්දු ඡන්ද 79 ක් ද, සුගත් තිලකරත්න ඡන්ද 32 ක් ද, ලබාගත්හ. 
මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනකු පවසන්නේ සුගත් තිලකරත්න ඡන්ද 32 ක් ලබා ගැනීමත් ජයග‍්‍රහණයක් ලෙස සැළකිය හැකි බවයි. ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා පරිපාලනයේ ජ්‍යෙෂ්ඨයකු වන පාලිත ප‍්‍රනාන්දු වැනි නිලධාරියකු සමඟ තරග කිරීම දැඩි අභියෝගයක් බව මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය පිළිබඳ දැනුමැත්තෝ පවසති.    

මලල ක‍්‍රීඩා සංගම් නිලවරණය අත්හිටුවමින් වාරණයක් පනවන ලෙස කොළඹ දිසා අධිකරණයට මලල ක‍්‍රීඩා පුහුණුකරුවන් දෙදෙනකු ඉදිරිපත් කළ පෙත්සම අධිකරණය පසුගිය සඳුදා ප‍්‍රතික්ෂේප කිරීම නිසා නිලවරණය පැවැත්වීමේ අවස්ථාව හිමිවිය.  නිලවරණය අත්හිටුවීමට  ඕනෑතරම් කරුණු තිබියදී අධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමට පිළිගතහැකි කරුණු අන්තර්ගතව නොතිබුණු බව වාර්තා වේ. මෙහිදී ‘ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය’ යන නියම නම පවා එම පෙත්සමේ නිවැරදිව සටහන්ව නොතිබුණු බව දැනගන්නට තිබේ.  

පසුගිය අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා දැල්පන්දු සංගම් නිලවරණයද මූල්‍ය වාර්තාවට විගණන අනුමැතිය නොලැබීමේ හේතුවෙන් දින නියමක් නොමැතිව කල්දැමීමට සිදුවිය. 
ශ‍්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනා සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විරෝධතා සම්බන්ධයෙන් පසුගිය සතිය මුලදී කථා බහක් නිර්මාණය වී තිබුණි. එහිදී ලේකම් ධූරය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබූ ක‍්‍රීඩා අමාත්‍යංශයේ ප‍්‍රධාන නිලධාරියකුගේ මිතුරයකුට එරෙහිව යොමුකර තිබූ විරෝධතාවක් හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකරන බවට චෝදනා එල්ල වී තිබුණි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වාර්ෂික මහ සභාවද පසුගිය ඉරිදා ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී එහි සභාපති තිලංග සුමතිපාලගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වත්කම් කළමණාකරණ සමාගමක් පිහිටුවීමට යෝජනා කර තිබේ. 

 භාසුර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00