ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වසර 12 කට පසු පසුගිය ඉරිදා පැවැත්වූ ක‍්‍රිකට් ආයතන වාර්ෂික මහ සභාවේදී ක‍්‍රිකට් ආයතනයේ වත්කම් පාලනය සඳහා වත්කම් කළමනාකරණ සමාගමක් පිහිටුවීමට කළ යෝජනාව ඉතාමත් බරපතළ තත්ත්වයක් බව ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ බොහෝ ප‍්‍රවීණ පරිපාලකයෝ පවසති. මෙම යෝජනාව ක‍්‍රියාත්මක වුවහොත් ක‍්‍රිකට් ආයතනය තව දුරටත් අගාධයට ඇද වැටෙන බව පරිපාලන ප‍්‍රවීණයෝ පෙන්වා දෙති.
මෙම යෝජිත ‘වත්කම් කළමනාකරණ සමාගම’ පිහිටුවහොත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක සභාවට පෞද්ගලික සමාගමක අධ්‍යක්‍ෂ මණ්ඩයක බලතල ලැබීමෙන් වර්තමානයේ සිදුවනවාට වඩා අනව්‍යශ ගනුදෙනු විය හැකි බවට සැකයක් මතු වී තිබේ. එය එසේ වුවහොත් වර්තමාන පාලකයන් මේ වනවිට ගෙන යන නිදහස් පාලනය තවදුරටත් පුළුල් වීම නැවැත්විය නොහැකි වන බවත් ඇතැම් ක‍්‍රිකට් ලොක්කන්ට ඇති ව්‍යාපාරික මේනියාව මෙයට හේතුව බවත් ප‍්‍රවීණයෝ පවසති.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් පාලකයෝ මීට පෙර ‘ක‍්‍රිකට් ඒඩ්’ ව්‍යාපෘතිය විධායක කමිටුවේ ඇතැම් නිලධාරීන්ගේ නමින් විවිධ ව්‍යාජ තනතුර යොදා ගනිමින් සමාගමක් ලෙස ලියාපදිංචි කිරීම පිළිබඳව ‘කෝප්’ කමිටුවේ අවධානයට පවා ලක්විය. එහිදී ඒ සඳහා කෝප් කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබූ අතර ඒවා ක‍්‍රියාත්මක වූයේ ද දන්නේ දෙවියන් පමණි.
මෙවර ‘වත්කම් කළමනාකරණ සමාගම’ පිටු පස සිටින්නේ යැයි කියන ඉහළ අධ්‍යාපන නාමයක් දරන සිටින පුද්ගලයා ශ්‍රී ලංකා ක‍්‍රිකට් වර්තමාන පරිපාලනයේ ලොක්කකුගේ අතිජාත මිත‍්‍රයකු බව පැවසේ. එම පුද්ගලයා සහ ක‍්‍රිකට් ලොක්කා අතර මිතුදම කොතරම්ද කිවහොත් ක‍්‍රිකට් ලොක්කාගේ නිවසේ නිරන්තරයෙන් අදාළ පුද්ගලයා දැකිය හැකි බව තතු දන්නෝ පවසති.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ‘දවල් මිගෙල් රෑ දනියෙල්’ පරිපාලනයක් පවතින බව ශ්‍රී ලාංකිකයන්ට නොහරසකි. ක‍්‍රිකට් පාලකයන් පිරිවැය කපාහැරීමට ක‍්‍රීඩකයන්ගේ ගෙවීම් සහ සේවකයන්ගේ ප‍්‍රසාද දීමනා කපා හැරියද ඡන්දය දුන් ක‍්‍රීඩා සමාජ නියෝජිතයන් සතුටු කිරීමට මහ සභාව වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 100 කට ආසන්න මුදලක් වැයකර ඇති බව වාර්තා වේ.
මෙහිදී ක‍්‍රීඩා සමාජ නියෝජිතයන් 150 ක් සඳහා සූදානම් කළේ යැයි කියන දහවල් කෑම එකක මිල රැපියල් 4,000 ක් බවද එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේ ඉදිකළ වායුසමීකරණය කළ තාවකාලික අට්ටාලයට සහ පීඨිකාව සඳහා රුපියල් ලක්‍ෂ 30 ක් පමණ ද, වැය කර ඇති බවට දැනගන්නට තිබේ. රුපියල් 4,000 බැගින් දිවා ආහාර 200 ක් ඇනවුම්කර තිබූ බවත් ක‍්‍රීඩා සමාජ සාමාජිකයන් 75 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වී ඇති අතර සෙසු ආසන පිරවීම සඳහා ක‍්‍රිකට් ආයතනයේ සේවකයන්ට අසුන්ගන්වා ඇති බව වාර්තා වේ. මහ සභාවට සහභාගි වූ පිරිසට ඇති පදමට සූර්වීමට සැර බාල බීම වර්ගද තිබූ බව දැනගන්නට තිබේ.
මෙවර ‘වත්කම් කළමනාකරණ සමාගම’ ද ‘ක‍්‍රිකට් ඒඩ්’ එවැන්නක් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ශ්‍රී ලංකාවේ සිටින ප‍්‍රවීණම ක‍්‍රිකට් පරිපාලයෙක් ‘දේශය’යට පැවසීය. නම සඳහන් කිරීමට අකමැති වූ එම නිලධාරියා පැවසුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සතුව වර්තමාන සේවකයන්ට පාලනය කළ නොහැකි තරම් වත්කම් නොමැති බවයි.
මේ හදන්නේ වත්කම් පාලනය කරන්න නොවෙයි. මේ හදන්නේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අනුග‍්‍රහකයන්ගෙන් සහ වෙනත් ආකාරයට ලැබෙන දැවැන්ත මුදල්වලින් කොටසක් ගිලින්නයි.
ඔය කියන විදියේ සමාගමක් පිහිටුවහොත් සමාගම් නීතියට අනුව කළ යුතුයි. එසේ වුවහොත් දැන් තියෙන විධායක කමිටුව අධ්‍යක්‍ෂ මණ්ඩලය බවට පත්වෙයි. එවිට දැන් කරන වැඩ කිසිදු බාධාවකින් තොරව කරයි යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ දිස්ත‍්‍රික්ක කීපයක් මේ වනවිට ආපදාවන්ට ලක්ව සිටිය ද ‘ක‍්‍රිකට් ඒඩ්’ කළේ යැයි කියන ව්‍යාපෘතියක් දැකින්නට ලැබුණේ නැත. මෙවර ක‍්‍රිකට් පාලකයන්ට ඒ සඳහා වෙලාවක් නොමැත. එංගලන්තයේ පැවැත්වෙන ‘ශූරයන්ගේ කුසලාන’ නැරඹීමට බුරුතු පිටින් පිටත්ව යෑමට සූදානම් වීම නිසා ක‍්‍රිකට් පාලකයන්ට මෙවර ගංවතුර දෙස බැලීමට කාලය නැතුවා විය හැකිය. මීට පෙර ආපදාවලදී ‘ක‍්‍රිකට් ඒඩ්’ සඳහා ජනතාව ලබාදුන් ඉතිරි වතුර බෝතල් ක‍්‍රීඩා ලොක්කෙකුට සම්බන්ධ කොළඹින් පිට ආසනයේ බෙදාහැරිය බවද තතු දන්නෝ පවසති. මෙම ආපදා අවස්ථාවලදී ඇතැම් දරුවන් ඔවුන් පණ මෙන් එකතු කළ කැටය පවා කඩා මුදල් ලබාදෙන සිද්ධීන් අප දැක තිබේ.
‘ක‍්‍රිකට් ඒඩ්’ වකුගඩු රෝගීන්ගේ විස්තර ඇතුළත් දැන්වීමක් බොහෝ අවස්ථාවලදී විකාශනය කරනවා අප දැක තිබේ. එය එසේ වුවද වකුගඩු රෝගීන් වෙනුවෙන් කළ දෙයක් පිළිබඳව නම් සටහනක් නොමැත. පසුගිය ඉරිදා ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී පැවැති මහ සභාව වසර 12 කට පසුව පැවැත්වූ බව පැවසීම ද එහි ප‍්‍රධාන මේසයේ අසුන් ගෙන සිටි බොහෝ දෙනකුට කිවයුත්තේ ‘ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි’ යන කියමනය.
පැවැති වාර්ෂික මහ සභාවේ ප‍්‍රධාන මේසයේ අසුන්ගෙන සිටි පිරිසෙන් 90 ක්ම පසුගිය වසර 12 තුළ වසර කීපයක් පරිපාලනයේ සිටි නිලධාරීහු වෙති. මෙරටේ ක‍්‍රීඩාවට සැබෑ ආදරයක් තියෙන ක‍්‍රීඩා ඇමැතිවරයෙකු සිටී නම් මෙම ප‍්‍රකාශය පිළිබඳව පරීක්‍ෂණයක් කර කරුණු විමසිය යුතුය. එසේ නොවන බව දන්නා ක‍්‍රිකට් ලොක්කෝ ප‍්‍රසිද්ධියේ උඩ බලාගෙන කෙළ ගසති.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලය 2003 වසරේ ‘ශ්‍රී ලංකා ක‍්‍රිකට්’ ලෙස නම වෙනස් කරමින් ව්‍යාපාරයක් බවට පත්කිරීමෙන් පසුව සිදුවූ දේ අමුතුවෙන් කිවයුතු නැත. ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලන බල අරගලය වාසියක් බවට පත්කරගෙන සිටින ක‍්‍රිකට් ලොක්කන් පාලනයේ සිටින තාක්කල් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීන්නට වෙන දෙයක් බලා සිටීම පමණක් ඉතිරිව තිබේ.
වරකාගොඩ ගමගේ