2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

හඳහන නිසා රාග දැලේ පැටලුණු ’’ඩැනී’’

 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 397

 - අධිකරණයේදී සියල්ල වමාරයි 

(මෙහි සඳහන් සංවේදී තොරතුරු නිසා පාඨකයන් කම්පනයට පත්විය හැක.)

ශ්‍රී ලංකා ක්‍රිකට් හරහා විටින් විට සුළි කුණාටු හඹා යයි. ධනුෂ්ක ගුණතිලක යනු එවන් සුළි කුණාටු කිහිපයක්ම නිර්මාණය කළ ක්‍රීඩකයෙකි. කෙසේ වෙතත් ඔහු අරභයා ඕස්ට්‍රේලියාවේදී අවසන් වරට නිර්මාණය වූ සුළි කුණාටුව බරපතළ විය. ධනුෂ්ක ගුණතිලක විසින් ඕස්ට්‍රේලියාවේදී තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්විය. ඒ හා සම්බන්ධයෙන් වූ නඩු විභාගය ඉකුත් සතියේ අවසානය කරා එළැඹීය.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් 21 වැනිදා සිඩ්නිහි ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණයේදී නඩුව විභාග කොට අවසන් විය. එහි තීන්දුව මෙම මස 28 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතය. නඩු විභාගයේ සිව්වැනි දිනයේ සිදුවීම් පෙළ සම්බන්ධයෙන් බී.බී.සී සීංහල වෙබ්අඩවිය දීර්ඝ වශයෙන් වාර්තා කොට තිබුණි. එම වාර්තාවට අනුව අවසන් නඩු විභාගයේ සිදුවීම් පෙළ දිගහැරෙන්නේ මේ අයුරිනි.

පැමිණිල්ලේ දේශනය සිදු කරමින්, ලිංගික හැසිරීම "ඇය බලාපොරොත්තු වූ හෝ ඇයට අවශ්‍ය වූ දේට වඩා බෙහෙවින් වෙනස් වූ" බව රජයේ අධි චෝදක ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් විනිසුරුවරයාට පැවසුවේය. එම අවස්ථාව රළු බවත්, චූදිතයා විසින් තරුණියගේ කිසිදු ඉල්ලීමකට හෝ සීමාවකට ගරු නොකළ බවත් එහිදී වැඩිදුරටත් පැවසූ රජයේ අධිචෝදකවරිය, “ඇගේ පැහැදිලි කැමැත්ත" නොතකා කොන්ඩමය ඉවත් කරනු ඇති තැනැත්තකුගේ හැසිරීමට ඔහුගේ හැසිරීම "හොඳින් ගැලපෙන" බවටද තර්ක කළාය.

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සහ තරුණිය හමුවීමට පෙර අන්තර්ජාලය ඔස්සේ ඔවුන් පැවැත්වූ සම්බන්ධකම ගැන ද අධිචෝදකවරිය විසින් කරුණු දක්වා තිබුණි. එහිදී ඔහු මුණගැසීම සඳහා බ්‍රිස්බේන් වෙත පැමිණීමට අදාළ තරුණිය වෙත ගුවන් ප්‍රවේශපත්‍රයක් සඳහා මුදල් ගෙවීමට ධනුෂ්ක ගුණතිලක උත්සාහ කළත්, ඇය එය ප්‍රතික්ෂේප කළ බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ විය.

තරුණියගේ නිදන කාමරයේදී ලිංගිකව එක්විමේදී ආරක්ෂක උපක්‍රම භාවිතය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවති බවත්, එහිදී ධනුෂ්ක ගුණතිලක ඔහු කොන්ඩම් භාවිත කිරීමට අකැමැති නොවන බවට අදහස් දක්වා ඇති බවත් අභිචෝදකවරිය පැවසීය. ක්‍රිකට් ක්‍රීඩකයා කොන්ඩමය ඉවත් කරනු තරුණිය දැක නැතැයි ද, නමුත් ලිංගික සංසර්ගයෙන් පසු එය බිම දමා තිබෙනු ඇය දැක ඇතැයි ද මීට පෙර අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කෙරිණි.

තරුණිය සැනසීම සඳහා ගුණතිලක පළමුව කොන්ඩමය පළඳිනු ලැබුව ද, ඔහුට එය ඉවත් කිරීමට ඕනෑම අවස්ථාවකදී හැකියාව පැවති බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජයේ අභිචෝදකවරිය ප්‍රකාශ කළාය. ඔහු කොන්ඩමය ඉවත් කරනු ඇය නොදැකීමට හේතු වන්නට ඇත්තේ, එම ලිංගික එක්වීම ඉතා අප්‍රසන්න වූ බැවින් එම කාලසීමාවේදී ඇය ඒ පිළිබඳව අවධානයකින් පසු නොවීම බව අභිචෝදකවරිය පවසා තිබිණි.

පටිගත කරන ලද පොලිස් සම්මුඛ සාකච්ඡාවේදී මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන ක්‍රිකට් ක්‍රීඩකයා, ඔහු කොන්ඩම දෙකක් පැළඳි බවත්, පළමු කොන්ඩමය නිසි පරිදි ක්‍රියා නොකළ නිසා එහි කොන්ඩම් දෙකක් තිබූ බවත් විමර්ශකයන්ට පැවසීය. මේ දෙවැනි කොන්ඩමයේ ප්‍රකාශය "හිතාමතා සිදු කළ අසත්‍ය" ප්‍රකාශයක් බව අභිචෝදකවරිය පවසයි. ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින විත්තියේ නීතිඥ මුරුගන් තංගරාජ්, කාන්තාවගේ ස්ථාවරය "කාලයත් සමඟ වෙනස් වී ඇති" බවත්, විවිධ මාතෘකා සම්බන්ධයෙන් ඇය අසත්‍ය සහ ඇයට වාසි අත්වන ස්වයං සාක්ෂි ලබා දී ඇති බවත් පැවසුවේය.

“පොලිසිය හමුවේදී, කොන්ඩමය ගැලවී ගිය බවට ඇය කළ ප්‍රකාශය හා ඇය වෙනත් පුද්ගලයන් සමඟ ඒ සමඟ සැකයක් පමණක් මතුකිරීම එකිනෙකට පරස්පර" බව පැවසූ නීතිඥවරයා, එම තරුණිය ඇගේ මිතුරන් දෙදෙනකු සමඟ කර ඇති සංවාද පිළිබඳව මෙහිදී කරුණු ඉස්මතු කළේය. කාන්තාවට තමා පවසන කතාවට ගැලපෙන ලෙස කරුණු දැක්වීමට නොහැකි වී ඇති බව නීතිඥ තංගරාජ් පැවසුවේය.

ඔවුන් දෙදෙනාගේ අන්තර්ජාල කතාබහ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, වෙනත් රාත්‍රියකදී ක්‍රීඩකයා තරගයකින් පසු ඔහු වෙහෙසට පත්ව සිටි බවත්, එම කාන්තාව එම රාත්‍රියේදී හමුවීමට නොහැකි බවත් එක් අවස්ථාවක කියා ඇති බව පැවසූ නීතිඥ තංගරාජ්, “ඔහු තරුණිය හඹා ගොස් ඇති බවට රජයේ අභිචෝදකයන් කරන චෝදනාවට මෙය නොගැලපෙන" බවද කියා සිටියේය.

සේවාදායකයා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයකු බව අවධාරණය කළ ඔහු, හුස්ම හිර කිරීම වැනි දෘශ්‍යමාන තුවාල ඇති කරන ආකාරයේ හැසිරීම් සිදු කර අවදානමක් ගන්නේ මන්දැයි ප්‍රශ්න කළේය. මෙම කාන්තාව ඇගේ නිවෙසට යන ගමනට පෙර සිදුවූ දේ සහ ඇගේ සෝපාව මතදී ඇයව ග්‍රහණයට ගත් බව වන ප්‍රකාශ හරහා "ආක්‍රමණශීලි හැසිරීමක් ගැන කතාවක්" නිර්මාණය කළ බව නීතිඥ තංගරාජ් පැවසුවේය.

බී.බී.සී සිංහල වෙබ්අඩවිය දක්වා ඇති පරිදි අවසන් නඩු දිනයේ සිදුවීම් පෙළ සිදුව ඇත්තේ ඒ අයුරිනි. කෙසේ වෙතත් ඊට පෙර නඩු දිනවලදී අධිකරණයේදී පෙර පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවක් මෙහිදී ප්‍රදර්ශනය කොට තිබේ. එහිදී, ඔවුන් දෙදෙනා තරුණියගේ සෝපාව මත සිපගැනීමට පටන්ගත් බවත් පසුව ඇගේ නිදන කාමරයේ ලිංගිකව හැසිරුණු බවත් ගුණතිලක පොලිසියට පවසා තිබුණි. මෙහිදී ධනුෂ්ක ගුණතිලක එම සාක්ෂි සටහනේ වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කොට තිබේ. මේ වන විට එම වීඩියෝ පටය මාධ්‍ය වෙත නිකුත් කොට ඇත. එහි සඳහන් වන්නේ මෙවැන්නකි.

“අනාගතය සහ පසුගිය ආත්මය ගැන කියන්න පුළුවන් කියලා ඇය කිව්වාම ඒ ගැන මට උනන්දුවක් ඇතිවුණා. බෞද්ධයකු විදිහට අපි හඳහන් බලනවා සෑම මාස 2කට වරක් වගේ. මගේ අම්මයි එය පරීක්ෂා කරන්නේ. මම හිතුවා එය උනන්දුව දනවන සුළු සංවාදයක් කියා."

පොලිස් කාන්තාව - “ඔබ මොනව හරි පරීක්ෂා කරන බව කිව්වද?”
අනෙක් පොලිස් නිලධාරියා - "හඳහන"
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක - “හඳහන"
පොලිස් කාන්තාව - "ඔබ ඔබගේ මව ගැන මොනවත් කිව්වද?’

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක - “මම කිව්වේ මගේ අම්මා මාස දෙක තුනකට වරක් හඳහන පරීක්ෂා කරන බව. ඒක එක අතකින් ආශිර්වාදයක් වගේ. එතකොට අපි පන්සලට ගොස් ආගමික කටයුතු වගේ දේ කරනවා. ඒ හඳහන් විශ්වාස කරන අය ගැන මම කිව්වේ. ඇය කිව්වා ඇයට එම බලය තිබෙන බව. මමත් දැනගෙන හිටියා හාමුදුරු කෙනකුට හෝ කිහිප දෙනකුට පමණක් එවැනි බලයක් තිබිය හැකි බව. ඒ බුද්ධාගම අනුව. ඔව් මට ඉතින් උනන්දුවක් ඇතිවුණා. මට මතකයි මම හිනාවෙලා ඇයගෙන් ඇහුවා.. ගිය ආත්මේ මම කවුරුන්ද කියා? ඇය දෑස් පියාගෙන මොනව කළාද කියා මම දන්නේ නැහැ. ඇය කිව්වා ඇය සහ මම තායිලන්තයේ අසල්වැසියන් ලෙස සිටි බව. අපි තායිලන්තයේ ඉපදී ඇය හා අසල්වාසීන් ලෙස ජීවත් වූ බව ඇය කිව්වා." 

පොලිස් කාන්තාව - "ඔබ සහ ඇය අසල්වැසියන්?”

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක - “ඔව්, ගිය ආත්මයේ තායිලන්තයේදි. පසුව මට යම් බියක් ඇතිවුණා. මම දන්නේ නැහැ මට එහෙම හැඟීමක් ඇතිවුණේ ඇයිද කියලා."

ඒ අනුව පසුව එම කාන්තාව ඔහුට කුලී රථයක් සූදානම් කළ බවත්, ඔහු පිටත්ව යාමට පෙර සූදානම් වී දෙදෙනා සිපගත් බවත් ධනුෂ්ක ගුණතිලක පවසා තිබේ.

කෙසේ වෙතත් පැමිණිලිකාරිය ලබාදුන් සාක්ෂියේදී පෙර ජීවිත පිළිබඳ මාතෘකාව මුලින්ම මතු කළේ තමා යැයි වන ප්‍රකාශය ඇය ප්‍රතික්ෂේප කර තිබේ. හරස් ප්‍රශ්න කිරීම් යටතේ ඇය එය "පෞද්ගලික සහ සමීප" සාකච්ඡාවක් බව ප්‍රතික්ෂේප කළ අතර, ඇය විසින් පොලිසියට කළ වාර්තාවලින් එය හිතාමතා ඉවත් කළ බව ප්‍රකාශ කර ඇත. ඒ අත්වැරදීමක් බව පසුව ඇය සඳහන් කොට තිබේ. එසේම ක්‍රිකට් ක්‍රීඩකයාට ඇසීමට අවශ්‍ය දේ ඔහුට පැවසීම සඳහා ඇය "කතාවක්" ගෙතූ බවද පැමිණිලිකාරිය පවසා තිබේ. 

මේ අතර ලිංගික අතවරයට ලක්වූ බව කියන සිද්ධියේ පළමු වාර්තාව ලබාගත් පොලිස් නිලධාරිනියක ඇගේ සේවා මුරය අවසන් වූ පසු ඉවත දැමූ පරණ කඩදාසිවල සටහන් ලියා තැබූ බව මීට පෙර අධිකරණය හමුවේ සඳහන් වී තිබුණි. ඒ පිළිබඳව ඇයගෙන් ප්‍රශ්න කළ විටදී එය අත්වැරදීමක් බව ඇය සඳහන් කර තිබේ.

බී.බී.සී වාර්තාවට අනුව නඩු විභාගය අතරතුරදී පැමිණිලිකාරියගේ සාක්ෂි ලබාදීම මෙසේ සිදුව තිබේ. ඒ අනුව තමාගේ ජීවිතය ගැන බියෙන් පසුවන බවත්, සංසර්ගයේදී ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක තමාගේ ගෙල තෙවරක් සිර කළ බවත් පැමිණිලිකාරිය විනිසුරුවරයාට සිය සාක්ෂියේදී ප්‍රකාශ කර ඇත.

ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින විත්තියේ නීතිඥ මුරුගන් තංගරාජ් මෙහිදී පැමිණිලිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසුවේය. ඇගේ පොලිස් ප්‍රකාශයේදී "ඩැනී" ලෙස හැඳින්වූ තම සේවාදායකයා කොන්ඩමය ඉවත් කළේ කෙසේදැයි මෙහිදී නීතිඥවරයා ඇගෙන් ප්‍රශ්න කළේය. ඇය තරයේ කියා සිටියේ "ඒ සඳහා ඔහුට ගතවන්නේ තත්ත්පර කිහිපයක් පමණි" යනුවෙනි.

“කිසිම අවස්ථාවක (ප්‍රකාශයේ) ඔබ ලිංගික හැසිරීම තත්ත්පර කිහිපයකට නතර වූ බව නොකියයි, ඔබ එයට එකඟද?” නීතිඥ තංගරාජ් එහිදී ඇයගෙන් විමසා සිටියේය. "මම ඒකට එකඟයි” ඇය පිළිතුරු දුන්නාය. අනතුරුව “ඔබේ පළමු ප්‍රකාශයේ විස්තර කර ඇති ආකාරයට ඩැනීට කොන්ඩමය ඉවත් කිරීමට අවස්ථාවක් නොතිබුණි. ඔබ එයට එකඟද?” නීතිඥවරයා ඇයගෙන් විමසා සිටියේය.

“නැහැ, මම ඒකට එකඟ නැහැ,” යනුවෙන් එහිදී ඇය පැවසුවාය. කිසිම අවස්ථාවක ධනුෂ්ක ගුණතිලක කොන්ඩමය බිමට විසිකිරීම හෝ එම ක්‍රියාවට අනුකූල වන අයුරින් ඔහුගේ අත සෙලවීම තමා දුටුවේ හෝ දැනුණේ නැති බව පැමිණිලිකාරිය එහිදී කියා සිටියාය.

සැබැවින්ම මෙය ආන්දෝලනාත්මක නඩු කටයුත්තකි. විනිශ්චය අධිකරණය විසින් සිදු කරනු ඇත. මෙම සියලු වාර්තාවන්ට අනුව අවසන් තීන්දුව කුමක් වේද? ඉදිරි සතියේ අපට දැනගැනීමට ලැබෙනු ඇත. ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් ලෙස අපි ඒ දෙස දෑස් දල්වා බලා සිටිමු.

I චමිඳු නිසල් ද සිල්වා
මූලාශ්‍ර සහ උපුටාගැනීම : බී.බී.සී. වෙබ් අඩවිය