ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙයිව ඔස්ට්‍රේලියානු තරුණියක විසින් පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට සිඩ්නි නුවර අධිකරණය තීන්දු කළේය. තම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු සාරා හගට් ප්‍රකාශ කළේ විත්තිකරුට ආරක්ෂිත කොපුව ඉවත් කිරීමට අවස්ථාවක් නොලැබුණු බව සාක්ෂිවලින් සනාථ වන බවයි.
2022 වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අතරවාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික ධනුෂ්ක ගුණතිලක විසින් ටින්ඩර් සමාජ මාධ්‍ය යෙදවුම හරහා හඳුනාගත් 29 හැවිරිදි තරුණියක ලිංගික අපයෝජනයට ලක්කළ බවට අපයෝජනයට ලක් වූ තරුණිය විසින්ම කරන ලද පැමිණිල්ලක් මත ඔහු පොලිස් අත්අඩංගුවට පත් වූයේ පසුගිය වසරේය.
සිඩ්නි නුවර පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක දින 11කට ආසන්න කාලයක් රඳවා සිටි 32 හැවිරිදි ධනුෂ්ක සිඩ්නි නුවරදී අදාළ කාන්තාවගේ කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදුණු බවට වන චෝදනා හතරක් යටතේ ඔහුට නඩු පැවරිණි. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 2022 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වූ නව නීති ප්‍රතිසංස්කරණ යටතේ (තහවුරු කළ කැමැත්ත යන නීතිය යටතේ) කාන්තාවගේ අනුමැතියකින් තොරව ආරක්ෂක කොපුව ඉවත් කිරීම - ලිංගික අතවර වරදක් බවට පත් කෙරිණි.
ධනුෂ්කට එරෙහි නඩු විභාගය නැගෙනහිර සිඩ්නි නුවර පිහිටි ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණය හමුවේ පැවැත්වුණු අතර. ඔහු පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දිනයක 29 හැවිරිදි එම තරුණිය හමු වූ බවත්, ඔවුන් සිඩ්නි නගරයට තදාසන්න ප්‍රදේශයක පිහිටි ඇගේ නිවසට පැමිණි අවස්ථාවේදී ඇයව දූෂණයට ලක් කළ බවට වූ චෝදනාව සම්බන්ධයෙන් නඩුව විභාග කෙරිණි. එම අවස්ථාවේ දී එරට රජයේ නීතිඥයන් විසින් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලකර තිබූ ලිංගික අපයෝජන චෝදනා හතරෙන් චෝදනා තුනක් ඉවත්කර ගැනීමට පියවර ගත්තේය. එසේ වුවද, කාන්තාවගේ කැමැත්තකින් තොරව අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක නිරතවීම සම්බන්ධ චෝදනාව යටතේ නඩුව විභාගයට ගැනිණි. 2022 නොවැම්බර් මස වාර්තා වූ මෙම සිද්ධියේදී අදාළ කාන්තාව ''තම ජීවිතය ගැන බියෙන් සිටි අතර විත්තිකරුගෙන් ගැලවීමට නොහැකි වූ'' බව අධිකරණයට ගොනුකරන ලද පොලිස් වාර්තාවේ සඳහන් විය.
2022 නොවැම්බර් 16 නඩුව කැඳවූ අවස්ථාවේදී ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මුරුගන් තංගරාජ් කියා සිටියේ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඉදිරිපත්ව ඇති කරුණු අනුව ගොනුකළ චෝදනාවන්හි ශක්තිමත් නඩු නිමිත්තක් නොමැති බවටය. ඒ අනුව ඔහු 2022 නොවැම්බර් මස 17 වැනිදා ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක ඇපයක් සහ දැඩි කොන්දේසි මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.
ධනුෂ්ක ගුණතිලකට එරෙහි පළමු නඩු විභාගය 2023 සැප්තැම්බර් 18 වෙනිදා ආරම්භ විය. එයට ඔහු අධිකරණයේ පෙනී සිටි අතර අනන්‍යතාව රහසක් වශයෙන් තබාගෙන සිටි පැමිණිලිකාරිය විඩියෝ තාක්ෂණය ඔස්සේ පෙනී සිටියාය.
තම නිවසට පැමිණි පසු ඔවුන් දෙදෙනා වයින් වීදුරු දෙකක් පානය කරමින් ආලින්දයේ සිටියදී ධනුෂ්ක ගුණතිලක තමාව බලෙන් සිප වැළඳගත් බවත් ඇගේ අකමැත්ත මත ලිංගික ක්‍රියාවලියක නිරතවූ බවත් එහිදී තමන් අපහසුතාවයට පත්වූ බවත් ඇය ප්‍රකාශ කර තිබිණි. ආරක්ෂක කොපුවක් පළඳින ලෙස ඇය කළ ඉල්ලීමට ඔහු එතරම් කැමැත්තක් නොදැක්වූ අතර පසුව ඔහු එය පැළඳි බවද ඇය අධිකරණය හමුවේ සඳහන් කළාය.
දෙවැනි නඩු දිනයේදී සාක්ෂි දුන් පැමිණිලිකාරිය ධනුෂ්ක ගුණතිලක තමාගේ ගෙල තෙවරක් සිර කළ බව කියා සිටියාය. එහිදී ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඥ මුරුගන් තංගරාජ් විමසා සිටියේ ඇය පොලිසියට ලබාදුන් කටඋත්තරයේදී ''ඩැනී'' ලෙස හැඳින්වූ තම සේවාදායකයා ආරක්ෂක කොපුව ඉවත් කළේ කෙසේදැයි යනුවෙනි. ''ඒ සඳහා ඔහුට ගතවන්නේ තත්ත්පර කිහිපයක් පමණකැ''යි ඇය එහිදී ප්‍රකාශ කළාය. පටිගත කරන ලද පොලිස් සම්මුඛ සාකච්ඡාවේදී මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ, ඔහු තමා කොන්ඩම දෙකක් පැළඳි බවත්, පළමු කොන්ඩමය නිසි පරිදි ක්‍රියා නොකළ නිසා දෙකක් භාවිත කළ බවත් විමර්ශකයන්ට පැවසීය. දෙවැනි කොන්ඩමය පිළිබඳ ප්‍රකාශය ''හිතාමතා සිදුකළ අසත්‍ය'' ප්‍රකාශයක් බව අභිචෝදකවරිය පැවසුවාය. ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින විත්තියේ නීතිඥ මුරුගන් තංගරාජ්, කාන්තාවගේ ස්ථාවරය ''කාලයත් සමඟ වෙනස් වී ඇති'' බවත්, විවිධ මාතෘකා සම්බන්ධයෙන් ඇය අසත්‍ය සහ ඇයට වාසි අත්වන ස්වයං සාක්ෂි ලබා දී ඇති බවත් සඳහන් කළේය.
පටිගත කරන ලද ධනුෂ්කගේ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් එදින අධිකරණයේදී ප්‍රකාශයට පත්කර තිබිණි. තමන් තරුණියගේ නිවසේ සෝපාව මත සිට ඇය සිපගත් බවත් පසුව ඇගේ නිදන කාමරයේ ලිංගිකව හැසිරුණු බවත් ගුණතිලක පොලිසියට පවසා තිබිණි. එම වීඩියෝ පටය මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර. එහි සඳහන් වූයේ මෙවැන්නකි.
“අනාගතය සහ පසුගිය ආත්මය ගැන කියන්න පුළුවන් කියලා ඇය කිව්වාම ඒ ගැන මට උනන්දුවක් ඇතිවුණා. බෞද්ධයකු විදිහට අපි හඳහන් බලනවා සෑම මාස 2කට වරක් වගේ. මගේ අම්මයි එය පරීක්ෂා කරන්නේ. මම හිතුවා එය උනන්දුව දනවන සුළු සංවාදයක් කියා.''
පොලිස් කාන්තාව- “ඔබ මොනව හරි පරීක්ෂා කරන බව කිව්වද?”
අනෙක් පොලිස් නිලධාරියා- ''හඳහන''
ධනුෂ්ක ගුණතිලක- “හඳහන''
පොලිස් කාන්තාව- ''ඔබ ඔබගේ මව ගැන මොනවත් කිව්වද?''
ධනුෂ්ක ගුණතිලක- “මම කිව්වේ මගේ අම්මා මාස දෙක තුනකට වරක් හඳහන පරීක්ෂා කරන බව. ඒක එක අතකින් ආශිර්වාදයක් වගේ. එතකොට අපි පන්සලට ගොස් ආගමික කටයුතු වගේ දේ කරනවා. ඒ හඳහන් විශ්වාස කරන අය ගැනයි මම කිව්වේ. ඇය කිව්වා ඇයට එම බලය තිබෙන බව. මමත් දැනගෙන හිටියා හාමුදුරු කෙනකුට හෝ කිහිප දෙනකුට පමණක් එවැනි බලයක් තිබිය හැකි බව. ඒ බුද්ධාගම අනුව. ඔව් මට ඉතින් උනන්දුවක් ඇතිවුණා. මට මතකයි මම හිනාවෙලා ඇයගෙන් ඇහුවා. ගිය ආත්මේ මම කවුරුන්ද කියා? ඇය දෑස් පියාගෙන මොනව කළාද කියා මම දන්නේ නැහැ. ඇය කිව්වා ඇය සහ මම තායිලන්තයේ අසල්වැසියන් ලෙස සිටි බව. අපි තායිලන්තයේ ඉපදී ඇය හා අසල්වාසීන් ලෙස ජීවත් වූ බව ඇය කිව්වා.''
පොලිස් කාන්තාව- ''ඔබ සහ ඇය අසල්වැසියන්?”
ධනුෂ්ක ගුණතිලක- “ඔව්, ගිය ආත්මයේ තායිලන්තයේදි. පසුව මට යම් බියක් ඇතිවුණා. මම දන්නේ නැහැ මට එහෙම හැඟීමක් ඇතිවුණේ ඇයිද කියලා.''
නඩු විභාගයේ සිව්වැනි දිනය වූ සැප්තැම්බර් 21 දින පැමිණිල්ලේ දේශනය සිදුකරමින්, ලිංගික හැසිරීම ''ඇය බලාපොරොත්තු වූ හෝ ඇයට අවශ්‍යවූ දේට වඩා බෙහෙවින් වෙනස් වූ'' බව රජයේ අධිචෝදකවරිය ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් විනිසුරුවරියට ප්‍රකාශ කළේය. තරුණියගේ පැහැදිලි කැමැත්ත නොතකා කොන්ඩමය ඉවත්කරනු ඇති තැනැත්තකුගේ හැසිරීමට ධනුෂ්කගේ හැසිරීම ''හොඳින් ගැලපෙන'' බවද ඇය කියා සිටියේය.
ධනුෂ්ක ගුණතිලක ආරක්ෂක කොපුව ඉවත් කරනු තරුණිය දැක නොමැති නමුදු ලිංගික සංසර්ගයෙන් පසු එය බිම දමා තිබෙනු ඇය දැක තිබූ බව පෙර දිනයක අධිකරණයට ප්‍රකාශ විය. තරුණිය සැනසීම සඳහා ගුණතිලක පළමුව කොන්ඩමය පළඳිනු ලැබුවද, ඔහුට එය ඉවත් කිරීමට ඕනෑම අවස්ථාවකදී හැකියාව පැවති බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජයේ අභිචෝදකවරිය ප්‍රකාශ කළා ය.
දින හතරක් පුරා පැවැති නඩු විභාගය එදින අවසන් වූ අතර එහි තීන්දුව සැප්තැම්බර් මස 28 දින ප්‍රකාශයට පත්කරන බව සාරා හගට් විනිසුරුවරිය එදින ප්‍රකාශ කළාය. ඒ අනුව සැප්තැම්බර් 28 දින තීන්දුව ප්‍රකාශ කෙරිණි. එහිදී ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කරන ලදී.
අධිකරණයෙන් පිටතදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තීන්දුව තුළින් සියල්ල ප්‍රතාශ කර ඇති අතර තමන්ට අහිමි වූ කීර්තිය යළි හිමි වූ බවයි. ''මගේ ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා, ආපසු ගොස් ක්‍රිකට් ක්‍රීඩා කිරීම මගේ එකම අරමුණයි.'' යනුවෙන් ඔහු වාර්තාකරුවන්ට පවසා තිබේ.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා