2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

ආසියාවම හෙල්ලූ අපේ රත්තරන් කෙල්ල

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 156

“ජාතික පාසල් මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 400, 800 ප්‍රථම ස්ථානය දිනාගනිමින් දක්ෂතම ක්‍රීඩිකාව වුණු මෙම ක්‍රීඩිකාව පසුගිය දිනෙක මෙම ක්‍රීඩාංගණයට පුහුණුවීමට ආපු අවස්ථාවේදී රුපියල් 30 ක මුදලක් ඈ ළඟ නොතිබීම නිසා පරුෂ වචනයෙන් බැණලා මෙම ක්‍රීඩාංගණයෙන් එළියට දානවා."

මෙය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝ පටයක කොටසකි. මේ සිදුවීම එක්තරා පුද්ගලයකු විසින් රට හමුවේ අනාවරණය කරන විට ඊට ආසන්න අසුනේ වාඩිවී සිටි හීන්දෑරි කෙල්ලක දෑස් දල්වාගෙන ඉතාම කලකිරීමෙන් මාධ්‍ය දෙස බලා සිටින අයුරු එම වීඩියෝවෙහි දැකගැනීමට හැකිවිය. පසුව මාධ්‍ය ඇමතීමට පැමිණියේ ඒ පුංචි අහිංසක කෙල්ලය. ඈ කිසිදු පැකිලීමකින් තොරව මෙහෙම කතාවක් කීවාය.

“මට ඉදිරිය ගැන ලොකූ ඉලක්කයක් තියෙනවා. මගේ ලොකුම බලාපොරොත්තුව තමයි ඔලිම්පික් මෙඩ්ල් එකක් ගේන එක. මගේ සර් තමයි ආයේ මාව මෝටිවේට් කරලා ඕල් අයිලන්ඩ් මීට් එකට යැව්වේ. මේ අභියෝග මැද්දේ නව තරග වාර්තා දෙකකුත්, දක්ෂතම ක්‍රීඩිකාව හැටියටත් මට දිනන්න හැකියාව උදා වුණා."

එම වීඩියෝව ඒ වන විටත් සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වී අවසන්ය. 

තවත් දිනක එවැනිම සෝචනීය ප්‍රවෘත්තියක් දැකගැනීමට හැකිවිය. ඒ කොලොම්බියාවේ පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ තරගාවලියට යාමට සූදානම් වූ මෙරට වාර්තා තැබූ ක්‍රීඩිකාවකට ක්‍රීඩා බලධාරීන් විසින් ගුවන් ගමන් ටිකට් පත් නිසි වේලාවේ ලබා නොදීම නිසා මීටර් 800 පූර්ව වටයේ තරග සඳහා සහභාගිවීමට නොහැකිවීම පිළිබඳ පුවතකි. ඒ හේතුවෙන් ඇයට මෙරටින් පිටවීමට සිදුවූයේ නියමිත වෙලාවට පසුවය.

මෙලෙස අසාධාරණයට ලක්වූ ක්‍රීඩිකාව කවුරුන්ද යන්න සොයා බැලීමේදී අනාවරණය වූයේ පෙර රුපියල් 30 නැතිව දිගන ක්‍රීඩාංගණයෙන් එළියට ඇද දැමූ පුංචි කෙල්ල ද ඇයම බවය. මේ ගැන ගමේ නම් කියැවුණේ ‍මෙය "කෙල්ලගේ කරුමය" බවය. එහෙත් ඇත්තටම මෙය රටේ කරුමය නොවේදැයි එදින ලියුම්කරුට සිහිවිණි.

කාලය ගෙවී ගියේය. පසුගිය අඟහරුවාදා උදෑසන මා හිතවතකු මුහුණුපොතේ මෙවැනි පෝස්ටුවක් පළ කර තිබිණි.

“අද රන් පදක්කමක් ෂුවර් දවසක්"

ඒ පෝස්ටුව දුටු සැණින් ලියුම්කරුගේ හිතට ආවේ ආසියානු ක්‍රීඩා තරගාවලියේදී ලංකාවට ඉතාම තීරණාත්මක තරගයක් එදින නියත වශයෙන්ම පැවැත්වෙනු ඇති බවය. එහෙත් විවිධ රාජකාරි නිසා ලියුම්කරුට ඒ තරගය කුමක්ද යන්න සෙවීම මගහැරී ගියේය.

කාලය ගත විය. ඉර බැස යන මොහොතේ රට පුරාම විශේෂ ප්‍රවෘත්තියක් ප්‍රචාරය  විය. ඒ ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා තරගයෙන් ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනාගැනීමට සමත් වූ බවකි. සුසන්තිකාලා දමයන්තිලාගෙන් පසුව මෙලෙස ශ්‍රී ලංකාව රනින් සැරසූ කෙල්ල කවුදැයි ලියුම්කරු සොයා බැලුවේ ඒ අනුවය. දෙවියනේ! ක්‍රීඩාවේ නොවිඳිය යුතු කටුක අත්දැකීම් ගොන්නකට කර තැබූ ඒ පුංචි කෙල්ල ඇයයි. ඈ තරගය අවසන් කරන මොහොත සැබැවින්ම ලාංකිකයන්ගේ ඇසට කඳුළක් ගෙන ඒමට සමත් විය. එතරම් අභිමානයක් ඒ පුංචි කෙල්ල ලක් මාතාවට ගෙන ආවාය. මේ කෙල්ල අන් කවරකු නොව, රටේම පාසල් මළල ක්‍රීඩාවේ ආධිපත්‍ය සමන් සතු කරගත් වලල ඒ රත්නායක විද්‍යාලය විසින් බිහි කළ ක්‍රීඩිකාවකි. ඇය 18 හැවිරිදි, තරුෂි කරුණාරත්නය. ආසියානු ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 ධාවන තරගයෙන් රන් පදක්කම දිනාගත් "රන් කෙල්ල" ඇයයි. වසර 21කට පසුව ආසියානු තරගාවලියකදී මෙරට රනින් හැඩ කළ එකම ධාවන ශූරිය වන්නේ ද ඇයයි. එලෙසින් රටට අභිමානයක් වූ මේ කෙල්ල ගැන අපි මෙසේ සටහන් කරමු.

2004 වසරේ නොවැම්බර් 28 වැනිදා කහටගස්දිගිලිය ප්‍රදේශයේ උපත ලැබූ ඇය, මධ්‍යම පාන්තික පවුලක දෙවැනියා විය. ඇගේ වැඩිමහල් සහෝදරයා ඇගේ ජීවිතයේ පරමාදර්ශී චරිතයයි. ඒ අන් කවරකු නොව නොව වලල ඒ රත්නායක විද්‍යාලයෙන්ම බිහිවූ මීටර් 800 පිරිමි තරගාවලියේ මෙරට වාර්තා තැබූ හර්ෂ කරුණාරත්නය. හර්ෂ කාලයක් පාසල් මළල ක්‍රීඩාව තුළ සෙල්ලම් දැමූ අයකු වූ අතර කවදා හෝ ඔලිම්පික් හිමිකම් ලැබීමට තරම් සුදුසුකම් සහිත ක්‍රීඩකයෙක් ද විය. එහෙත් හර්ෂ හිටිහැටියේම ක්‍රීඩාවෙන් නොපෙනී ගියේය. එය පුදුමයක් නොවේ. හේතුව අපේ රටේ ක්‍රීඩා බලධාරීන් එවැනි ක්‍රීඩකයන් අතුරුදන් වූ පසුව සොයා බැලීමක් නොකිරීමය. එසේ සොයා බලන්නේ ක්‍රිකට් නම් පමණි.

එලෙස අතුරුදන් වූ හර්ෂට සිදුවූයේ කුමක්දැයි හෙළිවූයේද ඔහුගේ නැගණිය වූ තරුෂිගේ මේ ජයග්‍රහණයත් සමඟිනි. තරුෂි යනු වයසින් බාල වුවත් ලංකාවේ මීටර් 800 තුළ වාර්තා පිට වා‍ර්තා තැබූ දියණියකි. ඇගේ වාර්තාව සටහන් වන්නේ 2.00.66 ක් ලෙසිනි. එසේම කනිෂ්ඨ අංශයේ මීටර් 400 වාර්තාවද ඇය සතු විය. ඒ තත්ත්පර 53.41 ක් ලෙසිනි. එවන් දක්ෂතාවයක් ඇති දරුවකු මෙරට ක්‍රීඩා බලධාරීන් විසින් තඹ සතයකට මායිම් කළේ නැත. මේ කෙල්ල ගැන අබ ඇටයක සොයා බැලීමක් කළේ ද නැත. එසේ සොයා බැලුවේ නම් රුපියල් 30 ක් නොමැතිව දිගන ක්‍රීඩාංගණයෙන් එළියට ඇද දමන්නේ ද නැත. එසේම ලෝක ශූරතාවයට යාමට වෙලාවට ටිකට් පත ලබා නොදෙන්නේ ද නැත. මේ සියල්ලෙන්ම පෙනෙන්නේ තරුෂි කරුණාරත්න ගැන මෙරට ක්‍රීඩා බලධාරීන් තඹයකට මායිම් නොකළ බවය. වෙනත් රටක ක්‍රීඩිකාවක නම් තරුෂි අද සිටින්නේ පර් යේෂණාගාරයක විය හැකිය. ඇය ක්‍රමානුකූලව පෝෂණයක්, මානසිකත්වයක් සහිතව, නිසි පුහුණුවකින් යුතුව ඉතාම සංයමයෙන්, ආරක්ෂිතව සැකසෙනු ඇත. එහෙත් අපේ රටේ තරුෂි උන්නේදැයි බලන්නට එක් බලධාරියකු සිටියේ නැත.

එහෙත් කැලේම පිපී කැලේම පරවෙන්නට යාමට සිටි මේ "රත්තරන් කෙල්ල" ආසියානු තරගාවලිය පැවැත්වෙන චීනය ධාවන පථය වෙත සිටගන්නා තුරු ඇගේ පසුපස දැවැන්ත සෙවණැල්ලක් විය. ඔහු වලල ඒ රත්නායක විද්‍යාලයේ මැජික් ශිල්පියා කිවහොත් නිවැරදිය. මීටර් 200ක පමණ ධාවන පථයක් හිමි වලල විද්‍යාල ක්‍රීඩාංගණයෙන් ජාතික තලයට දරුවන් ප්‍රාධූර්භූත කළ ඒ විජ්ජාකාරයා, නමින් සුසන්ත ප්‍රනාන්දුය. සුසන්ත ප්‍රනාන්දු යනු වලල ක්‍රීඩා භාර ගුරුවරයාය. එසේම එම අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා වන්නේ ද මොහුය.

වලල දරුවන් ඔහුව ඇමතුවේ "අපේ සර්" ලෙසිනි. සැබැවින්ම සුසන්ත එසේ ආමන්ත්‍රණයට ලක්වන්නට ප්‍රධානම හේතුව වූයේ වලල විද්‍යාලය පාසල් මළල ක්‍රීඩාවේ ආධිපත්‍යයට යටත් කර ගැනීමට ඔහු ලබාදුන් දායකත්වයයි. සැබැවින්ම සුසන්ත නැතිනම් වලලක් ද නැත. එපමණක් නොව තරුෂිද නැත. එපමණක් නොව ආසියානු රන් පදක්කමක්ද නැත. එහෙත් මෙරට මුග්ධ ක්‍රීඩා බලධාරීන් එක් අවස්ථාවක තරුෂි ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වීම සඳහා සූදානම් වූ අවස්ථාවක ඇය සමඟ සුසන්තට යාමට අවසර ලබා දුන්නේ නැත. කුඩා කල සිටම තම ක්‍රීඩිකාවගේ මොඩලය දන්නා එකම පුහුණුකරුවා, ක්‍රීඩිකාවගෙන් වෙන් කිරීමට තරම් මෙරට ක්‍රීඩා බලධාරියෝ කෝමා තත්ත්වයෙන් පෙලී සිටියහ. එහෙත් දැන් තරුෂි ගැන ගුණ වයන්නට එන ක්‍රීඩා බලධාරීන් කලිසම් ඇඳගෙන එන්නේදැයි ඕනෑම විටක සුසන්තටත් තරුෂිටත් ඇසිය හැක. 1990 දශකයේදී වලල ඒ රත්නායක පාසලට පැමිණි සුසන්ත, ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩාවේ ආධිපත්‍ය තම සේවය සපයන විද්‍යාලය වෙත ලබා දීමට 1993 වසරේ සිට කැපවී ක්‍රියා කළේය. ඉන් අනතුරුව මේ වන තෙක්ම සුසන්ත මේ පාසලේ මළල ක්‍රීඩා විජ්ජාකරු කිවහොත් නිවැරදිය.

තරුෂිට ක්‍රීඩා බලධාරීන්ගෙන් පමණක් නොව ආර්ථික වශයෙන්ද විශාල පීඩනයකට ලක්වීමට සිදුවිය. ඒ ඇගේ පුහුණුවීම් සඳහා වැයවන පිරිවැය හේතුවෙනි. මේ නිසාම තරුෂිගේ දෙමාපියන් තම නිවෙස විකුණා කුලී නිවෙසකට පවා ගියේ තරුෂිගේ පුහුණුවීමට වාරුවක් වෙමිනි. එපමණක් නොව ලංකාව රනින් සරසන්නට සිටි තරුෂිගේ සහෝදරයා වන හර්ෂ කරුණාරත්නද තම අනාගතයට තිත තබමින් ක්‍රීඩාවට ආයුබෝවන් කීවේද තම නැගණියට ශක්තියක් වෙමිනි. ඒ රුකියාවක් කර තම නැගණිය ජාත්‍යන්තර තලයට ගෙන ඒමේ අරමුණෙනි. තරුෂි කෙතරම් කැපවීමෙන් තම පුහුණුවීම් කළාදැයි කීමට හොඳම උදාහරණය වන්නේ පසුගියදා ඇගේ මව මාධ්‍යයට කී කතාවකි.

“කොරෝනා කාලේ අපි හිටියේ උඩුදුම්බර ගෙදර. එළියට බහින්න බෑ. ඒ නිසා මමයි මහත්තයයි වත්තේ පාරක් කැපුවා. දුව ඒ කන්දේ එහෙට මෙහෙට දුවලා තමයි ටයිමින් හදාගත්තේ. කිසිම දවසක පුහුණුවීම් මග ඇරියේ නෑ."

තරුෂිගේ මවගේ ප්‍රකාශය ඇසූ සැණින් ලියුම්කරුගේ හිතට ආවේ සත්‍ය කතාවක් ඇසුරින් ඉන්දියාවේ නිෂ්පාදනය කළ අමීර් ඛාන් රංගනයෙන් දායකත්වය සැපයූ "දංගල්" චිත්‍රපටයයි. ඒ තාත්තාද රෙස්ලින් කෙල්ලෝ දෙන්නකු ජාත්‍යන්තරයට ගෙන යාමට නොකළ කැපවීමක් නැත. එබැවින් තරුෂිගේ කතාවත් හරියට චිත්‍රපටයක් වැනිය. ඇත්තටම මෙවැනි කතා කවදා හෝ මතු පරපුරට චිත්‍රපටයක් විය යුතුමය.

තරුෂිගේ මෙම ජයග්‍රහණය හදිසියේ පහළ වුවක් නොවේ. ඇය දිගින් දිගටම රට වෙනුවෙන් රන් පදක්කම් ගෙන ආ තරුණියකි. ඇය මේ වසරේම ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදීත්, ආසියානු ශූරතා මළල ක්‍රීඩා උළෙලේදීත් මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම් ලබාගැනීමට සමත් වූවාය. ඒ ක්‍රීඩා බලධාරීන්ගේ විවිධාකාර වූ බාධක මැදය. මේ ගමනේදී ඇයට මල් වෙනුවට ඇතැම්විට ලැබුණේම ගල්ය. මේ සම්බන්ධයෙන් ඇගේ මව පසුගියදා මාධ්‍යයට අපුරු කතාව කීවාය. 

"එයා මලක් නොවී ගලක් වෙච්ච එක ගැන මට සතුටුයි" යැයි කීවාය. ඇත්තටම තරුෂි මලක් වූවා නම් ඈ පැමිණි මාර්ගයේ වූ කටු පඳුරු, ගල් මුල් නිසා ගමන අත්හරිනු ඇත. එහෙත් ඇගේ මව කියන්නා මෙන් ඈ ගලක් වූ නිසා අද ලෝකයම කතා වන ක්‍රීඩිකාවක් බවට පත්ව සිටියි.

චීනයේ හැන්ග්ශූ හිදී පැවති මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී තරුෂි සම්බන්ධයෙන් සැබැවින්ම බලාපොරොත්තුවක් තබාගෙන සිටින්නට ඇත්තේ ඇගේ පුහුණුකරු වන සුසන්ත පමණක් වන්නට ඇත. ඊට හේතුව වූයේ තරුෂි සමඟ වාර්තා තැබූ ක්‍රීඩිකාවන් දෙදෙනකු තරග වැදීම හේතුවෙනි. එක් අයකු වූයේ චීන ක්‍රීඩිකාවක වූ වැන්ග් ය. අනෙක් ක්‍රීඩිකාව නම් ඉන්දියාවේ හර්මිලන් ය. මොවුන් ලෝකයේ වැඩිම ජනගහනයකට උරුමකම් කියන ඉන්දියාව සහ චීනය තුළ කෝටි ගණනක් අතරින් බිහිවූ ක්‍රීඩිකාවන් දෙදෙනකු බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ නිසා බොහොමයක් දෙනාගේ බලාපොරොත්තුව වී තිබුණේ ඔවුන් දෙදෙනාය. තරගය ආරම්භයේදී  6 වැනි ස්ථානයේ රුඳී සිටි තරුෂි අවසානයේ ඉදිරියට පැමිණියේ චීන ජාතික වැන්ග්ට දෙවැනි වෙමිනි. අවසානයේ ඉතාම සංයමයෙන් චීන ක්‍රීඩිකාව පසුකරමින් ඉදිරියට ආ තරුෂි රන් පදක්කම තමන් සතුකර ගත්තේ 2.03.20 කාලයක් තුළය. එසේම ඒ මොහොතේම ඉන්දියානු ක්‍රීඩිකාවද චීන ක්‍රීඩිකාව පසුකරමින් ඉදිරියට ඇදෙමින් රිදී පදක්කම තමන් සතු කර ගත්තාය. ඒ 2.03.75 ක කාලයක් ගෙවා දමමිනි. තුන්වැනි ස්ථානය දිනාගත්තේ චීන ක්‍රීඩිකාවය. ඒ 2.03.90 කාලයක් ගත කරමිනි. මෙම ජයග්‍රහණය ආසියානු ක්‍රීඩා උළෙල අන්දමන්ද කළ අවස්ථාවක් විය.

මෙම ජයග්‍රහණයෙන් පසුව ලෝකයම මේ හද්දා පිටිසර ගම්මානයක ජීවත් වූ කෙල්ල ගැන සොයන්නට විය. කඩා වැටුණු රටක මිනිස්සු සතුටු කළ ඈ සැබැවින්ම රටට ණය නැති දියණියකි.

මේ වන විට තරුෂිට හුස්ම ගන්න බැරිවෙන තරම් සුබ පැතුම් ගලා එයි. තරුෂි ගැන දැන දැනත් අහක බලාගෙන සිටි ක්‍රීඩා බලධාරීන්ගේ මුහුණුපොත්වල තරුෂිගේ ඡායාරෑප පළ කර සුබාශිංසන පිරී තිබේ. මේ සියල්ල තරුෂි රන් පදක්කමක් දිනාගත් බැවිනි. ඇය දෙවැනියා හෝ තුන්වැනියා වූවානම් කාටවත් ඇයව වැදගත් වන්නේ නැත. තරුෂිගේ දුක්මුසු අතීතය තඹ දොයිතුවකට වැඩක් වන්නේ ද නැත. ඊට හොඳම උදාහරණය වන්නේ ආසියානු තරගාවලියේ අනෙකුත් පදක්කම් ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන අද කවුරුත් කතා නොකරන බැවිනි. කතා වෙන්නේ තරුෂි ගැනය. ඒ නිසා තරුෂිද තේරුම්ගත යුත්තක් තිබේ. ඒ තමන්ව උස්සා පූජාසනයේ තබන උන්ම පරාජය හමුවේ තමන්ට ගල්මුල් එල්ල කරන බවය. ඒ නිසා අපට තරුෂිට දෙන එකම උපදෙස වන්නේ මේ සුබ පැතුම් සියල්ල ඔබේ ජයග්‍රහණය නිසා පමණක්ම වන අතර ඔබේ ජයග්‍රාහී ගමන්‍් මගට සුබපැතුවන් සිටින්නේ අතේ ඇඟිලි ප්‍රමාණයක් පමණක් බවය. ඊට හොඳම උදාහරණයක් තරුෂිගේ නිවෙසේ වෙයි. ඒ තරුෂිගේ අයියා වන හර්ෂය. හර්ෂව හරියට ක්‍රීඩා බලධාරින් හඳුනාගත්තා නම් තරුෂි මෙන්ම හර්ෂත් අද රනින් මේ රට සරසනු ඇත.

එබැවින් නැවත නැවතත් අසන්නට ඇත්තේ තරුෂි පසුපස යන ක්‍රීඩා බලධාරීන් තමන් ඇඳ සිටින කලිසම තිබේදැයි බැලිය යුතු බවය. රුපියල් 30 ක් නැතිව දිගන ක්‍රීඩාංගණයෙන් එළියට දමන තැනට මේ දැරිය පත්වූ මොහොතේ එදින ඇය මානසිකව කඩා වැටුණු මොහොතේ ඈ වෙනුවෙන් හිටියේ සුසන්තය. සුසන්ත තමාව මෝටිවේට් කළ බව ඇය එදා ප්‍රසිද්ධ මාධ්‍යයට කීවාය. එබැවින් තරුෂිට කෝටි ගණනක් මුදල් තෑගි ලැබුණත් කෝටි ගාණක ශක්තියක් වුණු සුසන්ත, හර්ෂ කරුණාරත්න සහ ඇගේ දෙමාපියන් ජීවිතයේ කිසි දිනෙක අමතක නොවනු ඇත. අධික පැසසුම් උපේක්ෂාවෙන් ලබාගනිමින් ඊළඟ සටන ආරම්භ කරන්නට දැන් තරුෂිට කාලය එළැඹ තිබේ.

මීළඟට එළඹෙන්නේ ලෝක ශූරයන් සොයන ඔලිම්පික් තරගාවලියයි. තවත් මාස අටකින් පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට තරුෂි සහභාගිවනවා පමණක් නොව කෝටි දෙකහමාරක ජනතාවගේ එකම පැතුම තරුෂි වන බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ නිසා ඒ මෙහෙයුම දැන් සිටම ආරම්භ කිරීමට මේ මොහොතේ හෝ මෙරට නිදා සිටින ක්‍රීඩා බලධාරින් පියවර ගත යුතුය. එසේම තරුෂිව ප්‍රවීණයන්ගෙන් ඈත් කළ යුතුමය. ඒ මෙරට ඇතැම් ප්‍රවීණයන් සිතන්නේ තමන්ට පමණක් ලක්මව රනින් සැරසීමට හැකි බවය. තරුෂි මෙතැනින් පසුව ජාත්‍යන්තර පුහුණුකරුවකු වෙත යොමුකළ යුතුව ඇති අතර ඒ පිටුපස 'අපේ සර්' හෙවත් සුසන්ත සිටිය යුතුමය. ඒ තරුෂිට ශක්තියක් වීම සඳහාය. වසර 32 ක් තිස්සේ ලේ දහඩිය හෙළමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රුසක් බිහිකළ සුසන්තගේ කූඨාප්‍රාප්තිය සිදුවන්නේ ඔලිම්පික් සමඟිනි. ඒ තරුෂිත් සමඟය. ඒ මෝටිවේෂන් දිය හැක්කේ සුසන්තට පමණි. ඒ නිසා අපි තරුෂිටත් සුසන්තටත් එක සිතින් සුබ පතමු.

දියණිය ඔබට ලක්මව රනින් සරසන්න තව තවත් ශක්තිය ලැබේවා!

I ගයාන් ගාල්ලගේ 

 

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00