2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු ඉහළට: මැතිව්ස්ගේ මැජික්!

 2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 77

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ  ශ්‍රී ලංකා පිල බැංගලෝර්හිදී පසුගිය බ්‍රහස්පතින්දා එංගලන්ත පිල පහසුවෙන් පරාජය කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට තරගාවලිය තුළ නව බලාපොරොත්තුවක් නිර්මාණය විය.

ශ්‍රී ලංකා පිල මේ දක්වා සහභාගි වූ තරග පහේදී ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වන අතර ශ්‍රී ලංකා පිල මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු 4 ක් සමඟින් ලකුණු  සටහනේ 5 වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය. ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයට පෙර ප්‍රසාද ලකුණු 2 කට -1.048 ක ශුද්ධ ලකුණු වේගය  සමඟින් ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවිය. ශ්‍රී ලංකා පිතිකරුවෝ එංගලන්ත පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 157 ඉලක්කය ඕවර 25.4 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමෙන් ශුද්ධ ලකුණු වේගය -0.205 ක් දක්වා ඉහළට ගෙන ඒමට සමත් වූහ.

ශ්‍රී ලංකාවට ඉහළින් මෙම සටහන තබන මොහොත වන විට ඉන්දියාව (ප්‍රසාද ලකුණු 10), දකුණු අප්‍රිකාව (ප්‍රසාද ලකුණු 8), නවසීලන්තය (ප්‍රසාද ලකුණු 8) සහ ඔස්ට්‍රේලියාව (ප්‍රසාද ලකුණු 6) පළමු ස්ථානයේ සිට සිව්වැනි ස්ථානය දක්වා පිළිවෙළින් රැඳී සිටි අතර පාකිස්ථානය ප්‍රසාද ලකුණු 4 ක් ලබා ශුද්ධ ලකුණු වේගය -0.400 ක් සමඟින් 6 වැනි ස්ථානයේ පසුවිය.

ශ්‍රී ලංකාවට පළමු වටයේ තවත් තරග හතරක් ඉතිරිව ඇති අතර අවම වශයෙන් එම තරග හතරෙන් තුනක් ජය ලැබුවහොත් අවසන් පූර්ව වටයට (අවසන් කණ්ඩායම් 4 ට) පැමිණීමේ අවස්ථාව හිමිවේ.  ශ්‍රී ලංකා පිල හෙට  (30 වැනිදා) ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරගයට පූනේහිදී සහභාගි වන අතර ඉන් අනතුරුව ඉන්දියාව, බංග්ලාදේශය සහ නවසීලන්තයට එරෙහිව තරග කිරීමට නියමිතය.

ලෝක ශූර එංගලන්ත පිලට එරෙහිව පසුගිය බ්‍රහස්පතින්දා ලැබූ පහසු ජයග්‍රහණය ඇතැම්විට මෙවර ලෝක කුසලාන තරගාවලියේ පෙරළියක් වීමට ද ඉඩ තිබේ.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා පිලේ මානසිකත්වය විශාල වර්ධනයක් ලබා ඇති අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එක පිම්මටම ඉතිරි තරග හතර ද ජය ලැබීමට අධිෂ්ඨාන කරගෙන සිටිති. මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට  සුදුසුකම් ලබන කණ්ඩායම් පිළිබඳව අනාවැකි කීමට මෙය අවස්ථාව නොවන අතර ඒ සඳහා මේ වන විට තියුණු තරගයක් නිර්මාණය වී තිබේ.

එංගලන්තයට එරෙහිව ජයග්‍රහණයේ දැවැන්තම කොටස්කරු දින කිහිපයකට පෙර කණ්ඩායමට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් කිවහොත් එහි වරදක් නොමැත.

ඇන්ජලෝ මැතිව්ස් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට ‘කන රත්වන මාදිලියේ’ පහරක් ගසමින් එංගලන්ත පිලේ පළමු කඩුල්ල ලෙස ඩේවිඩ් මලන් දවාගනිමින් සාර්ථක ආරම්භයක් ගෙන දුන්නේය.

මැතිව්ස් ඉන් නොනැවතී මුයින් අලී සහ බෙන් ස්ටොක්ස් තරගයේ වාසිය එංගලන්ත පිලට හරවා ගැනීමට හයවැනි කඩුල්ලට ගොඩනගමින් සිටි සම්බන්ධතාව ලකුණු 37 කට සීමා කරමින් මුයින් අලී ලකුණු 15 කට පිටියෙන් ඉවත් කරමින් තවමත් තමන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් බව ප්‍රදර්ශනය කළේය.

එම තරගයේ වීරයා සම්මානය ලැබූ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර, සම්මානය ලැබීමෙන් පසුව පැවසුවේ අත්දැකීම් ‘ලොරියක්’ වන මැතිව්ස් තමන් ආසන්නයේම පන්දු රකිමින් උපදෙස් දීම සාර්ථකත්වයට වඩාත් ප්‍රයෝජනවත් වූ බවයි.
මැතිව්ස් නායක කුසල් මෙන්ඩිස්ට උපදෙස් දෙන ආකාරය නිරන්තරයෙන් දැකිය හැකි වූ අතර මෙන්ඩිස් එම උපදෙස් හිස නමා පිළිගන්නා අයුරු ද ප්‍රදර්ශනය විය.

ශ්‍රී ලංකාව 2014 වසරේ බංග්ලාදේශයේදී පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගන්නා අවස්ථාවේදීද ලසිත් මාලිංග පිටුපස මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දැවැන්ත සෙවණැල්ලක් ලෙස මෙවැනි ආකාරයටම කටයුතු කළහ.

තවද නායක කුසල් මෙන්ඩිස් ඇතුළු සියලුම ක්‍රීඩකයන් මැතිව්ස් කණ්ඩායමට පැමිණීම විශාල භාග්‍යයක් ලෙස දැකීම සුවිශේෂී කරුණකි.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන විටම වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ ඇතුළු ප්‍රධාන පන්දු යවන්නන් කිහිප දෙනකු ආබාධයන්ට ලක්වීමෙන් අමාරුවේ වැටීමෙන් පන්දු යැවීමේ අංශය යම් දුර්වලතාවයකට පත්වූ අතර එය එසේ වුවද පිතිකරුගේ මැද පෙළ ශක්තිමත් කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙතුන් දෙනකුම සිටියදී තේරීම් කමිටුව කණ්ඩායම නම් කිරීමේදී සම්පත් ඌණ උපයෝජනය තුළින් කණ්ඩායම තුළ සිදුරුවලට එහා ගිය ‘රික්තකයක්’ නිර්මාණය කළේය.

තේරීම් කමිටුව ඒ සඳහා ටෙස්ට් පිලේ නායක දිමුත් කරුණාරත්න තෝරාගත්තද එය අසාර්ථක විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සජීවීව මේ වන විට සිටින ප්‍රධානතම පිතිකරු තුන් ඉරියව් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් සංචිතයට ඇතුළත් කිරීමේ අවස්ථාව පසුගිය අඟහරුවාදා හිමිවීම ඉදිරි තරග පහේදී ශ්‍රී ලංකාව ලැබූ ප්‍රසාද දීමනාවක් බඳුය.
ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩාංගණය තුළ පන්දු රකිමින් සිටීම නායක කුසල් මෙන්ඩිස්ට ද විශාල ශක්තියක් වනවාට සැක නැත.

මෙවර ලෝක කුසලාන තරගාවලිය පුරා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අර්ධ ශතක හතරක් රුස්කර සිටීම ශ්‍රී ලංකා ඉදිරි තරගවලට සුබ පෙරනිමිත්තකි.

එංගලන්තයට සහ නෙදර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණ දෙකේදී සදීර සමරවික්‍රම  පරිණත පිතිකරුවකු ලෙස අන්තයක් ආරක්ෂා කරමින් රුස්කළ අර්ධ ශතක දෙක නව  පරිච්ඡේදයක් ලෙස ඉතිහාසයට එක්වේ. 

නායක කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා ඉදිරි තරගවලදී සාර්ථක වුවහොත් මීළඟ සටහන තබන මොහොත වන විට ශ්‍රී ලංකාව පිළිබඳව රන් අකුරෙන් ලිවීමේ අවස්ථාව හිමිවනවාට කිසිදු සැකයක් නැත.

- යොහාන් භාසුර, බැංගලෝර් සිට...

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00