2017 ජුනි 10 වන සෙනසුරාදා

පාපන්දු සමුළුව ගංවතුරින් ගොඩයයි

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

ගංවතුරෙන් සහ නායයෑම්වලින් ඇතැමුන් ගොඩගියා යැයි පවසන අවස්ථා අප කොතෙකුත් අසා තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන වර්තමාන පාලකයෝ ගංවතුරෙන් සහ නායයෑමවලින් මියගිය පුද්ගලයන්ගේ කර මතින් පසුගියදා ගොඩවූහ

ශ්‍රී ලංකාවේ පසුගිය දිනවල පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබන ජූලි මස 17 වැනිදා චීනයේදී ආරම්භ වන වයස 23න් පහළ කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි විය නොහැකි බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ආසියානු පාපන්දු සම්මේලනයට දැන්වීමෙන් පසුව දඩයකින් තොරව තරගාවලියෙන් ඉවත්වීමේ අවස්ථාව ලබාදී තිබුණි.

පාපන්දු පරිපාලකයන්ට ආපදාව කදිම කටගැස්මක් වූ අතර එසේ නොවී තරගාවලියෙන් ඉවත් වූයේ නම් අමෙරිකානු ඩොලර් 10,000ක් හෙවත් රැපියල් ලක්‍ෂ 15 කට අධික දඩයකට යටත්වීමට සිදුවේ. 

මෙම සිද්ධිය තවත් ආකාරයකට කියනවා නම් අඬන්න සිටි මිනිහට ඇඟිල්ලෙන් ඇන්නා යැයි ද අර්ථ දැක්වීම නිවැරදිය. පාපන්දු සම්මේලනය ගොඩයෑමට අවස්ථාවක් සොයමින් සිටි බව ප‍්‍රසිද්ධ රහසකි. 

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ බලය ලබාගැනීමට ප‍්‍රධාන පාර්ශව දෙකක් අතර පවතින බල අරගලය හේතුවෙන් කණ්ඩායමක් තරග සංචාරයකට සහභාගි කරවීමට පාපන්දු පරිපාලකයන් කිසිදු සූදානමක් නැත. 
මෙම තරගාවලියට සංචිතය තෝරා ගැනීම සඳහා බැද්දගාන ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථානයේදී තේරීම් සැසියක් පවත්වා 40 ක සංචිතයක් තෝරාගත් බව පැවසුවද එහි ඇත්ත නැත්ත කිසිවෙක් නොදනිති.

එවැනි සංචිතයක් තෝරාගෙන තිබේ නම් ජූලි මස මැද පැවැත්වෙන තරගාවලියෙන් ඉවත් වීමට මැයි මස අවසර ඉල්ලීම පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍යංශය පරීක්‍ෂණයක් පැවැත්විය යුතුය. ශ්‍රී ලංකාවේ තරැණ පාපන්දු ක‍්‍රීඩකයන්ට ලැබෙන අවස්ථාවක් පරිපාලකයන් අහිමි කිරීම බරපතළ තත්ත්වයකි.

එසේ නොවේ නම් මෙම සංචිතයට ඇතුළත් ක‍්‍රීඩකයන් කීදෙනකු ආපදාවලට මුහුණ දී සිටීද?, තරගාවලියෙන් ඉවත්වීමට තරම් බලපෑ සිද්ධීන් මොනවාද? යන ජනතාවට පැහැදිළි කළ යුතුය. 

එවැනි කිසිදු දෙයක් නොමැතිව තරගාවලියකින් ඉවත්වීමට පාපන්දු සම්මේලනයේ නිලධාරීන්ට බලයක් තිබේද යන්න ගැටලු සහගතය.