2017 ජුනි 17 වන සෙනසුරාදා

බැඩ්මින්ටන් සංගමයේ අවුල යට ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන්

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

ක‍්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන්ගේ නොහැකියාව නිසා මේ වන විට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක‍්‍රීඩාව දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. ක‍්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් පසුගිය 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය නොපැවත්වීමෙන් අන්තර්ජාතික බැඩ්මින්ටන් සංගමය ශ්‍රී ලංකාවට තහනමක් පැනවීමට බොහෝ දුරට ඉඩ තිබේ. 

නිලවරණය නැවත ලබන ජූලි මස 11 වැනිදා පැවැත්වීමට දින යොදාගෙන ඒ පිළිබඳව අන්තර්ජාතික බැඩ්මින්ටන් සංගමයට දැනුම්දී ඇති බව ද වාර්තා වේ. 

පැවැති නිලවරණයට විගණනය කළ ගිණුම් වාර්තා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්වූ නිලධාරී මණ්ඩලය අවලංගු කර පරිපානය සඳහා කමිටුවත් පත් කරන ලදී. 

ඉන් පසුව ක‍්‍රීඩා අමාත්‍යංශය නිලවරණයක් කැඳවූ අතර ක‍්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට අපොහොසත් වීමෙන් හේතුවෙන් නිලවරණය පැවැත්වීමට නොහැකි විය. 

ක‍්‍රීඩා අමාත්‍යංශ නිලවරණ කමිටුව නියමිත වේලාවට ගිණුම් වාර්තා ලබා ගැනීමට අපොහොසත්වීම නිලවරණය කල්දැමීමට ප‍්‍රධාන හේතුව බවට පත්විය. 

තවද නිලවරණයට නාමයෝජනා ඉදිරි පත්කළ ක‍්‍රීඩා අමාත්‍යංශයේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ සමීප හිතවතුන් යැයි කියන පුද්ගලයන්ගේ නාමයෝජනා ප‍්‍රතික්ෂේප වීම ද මෙම කල්දැමීම පිටිපස තිබෙන බව තතු දන්නෝ පවසති. 

ක‍්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකු අවලංගු කළ නිලධාරී මණ්ඩලයේ පුද්ගලයන් සමඟ පසුගියදා ඕස්ට්‍රේලියාවේ සංචාරයකට ද සහභාගි වී තිබුණි. එහිදී ක‍්‍රීඩා අමාත්‍යංශයේ ගිණුමෙන් රුපියල් ලක්‍ෂ 50 කට ආසන්න මුදලක් වැය කර ඇති බව ද වාර්තා වේ. මෙම තත්ත්වය යටතේ ක‍්‍රීඩා අමාත්‍යංශයේ පිරිසක් බැඩ්මින්ටන් නිලවරණය කල්දුමීම පිටුපස සිටින බව බැඩ්මින්ටන් ක්ෂේත‍්‍රයේ කථා බහට ලක්ව තිබේ. 

ක‍්‍රීඩා අමාත්‍යංශයේ ඇතැමුන්ගේ නොහැකියාව මෑතකදී පැවැත්වූ ක‍්‍රීඩා සම්මාන උළෙලකින් ද පැහැදිළි විය. ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රීඩා සම්මාන උළෙල වන එම සම්මාන උළෙල අඩු පාඩු රැසකින් සමන්විත බව අමුතුවෙන් කිවයුතු නැත. 

තවද ක‍්‍රීඩා පනත අවස්ථා 15 කට ආසන්න සංඛ්‍යාවක් සංශෝධනය කිරීමෙන්ම ක‍්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන්ගේ තරම මැනගත හැකිය. 

 වරකාගොඩ ගමගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00