ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණයට නාමයෝජනා ඉදිරිපත් කළ ඇතැම් අපේක්‍ෂකයන්ගේ සහතිකපත් සහ ලිපි ලේඛන රජයේ රසපරීක්‍ෂකවරයා වෙත යොමු කිරීමේ සූදානමක් පවතින බව පසුගිය සතියේ අග වන විට වාර්තා විය.
සහතිකපත් රසපරීක්‍ෂකවරයා වෙත යොමු කිරීමෙන් අපේක්‍ෂකයන් ඉදිරිපත්කර ඇති සහතිකවල කාලය සහ වලංගුභාවය පිළිබඳ සහතියක් ලබාගැනීමට ක‍්‍රීඩා අමාත්‍යංශය බලාපොරොත්තු වේ.
නිලවරණයට නාමයෝජනා සමඟ හොර සහතික කරළියට පැමිණ ඇති බවට ක‍්‍රීඩා අමාත්‍යංශය තුළ සැකයක් මතු වී තිබේ.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පසුගිය සතියේ අග වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබුණි. ලබන ජූලි මස 01 වැනිදා පැවැත්වීමට නියමිත නිලවරණය එදින පැවැත්වීම පසුගිය බ‍්‍රහස්පතින්දා පස්වරුව දක්වා අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබුණි.
මෙහිදී නාමයෝජනා ඉදිරිපත් කළ බොහෝ දෙනකුගේ සුදුසුකම්වල සත්‍යතාව පිළිබඳ ගැටලු මතු වී තිබුණි.
පාපන්දු නිලවරණයේදී තෝරාපත්කර ගැනීමට නියමිත තනතුරු 10ක් සඳහා 50 කට ආසන්න පිරිසක් නාමයෝජනා ඉදිරිපත්කර තිබූ අතර ඒ අතරින් 16 දෙනකුගේ සුදුසුකම් පිළිබඳව ගැටලු මතු වී තිබුණි. ඒ අතර හිටපු සභාපතිවකු මෙන්ම මූල්‍ය කමිටුවේ වත්මන් සහභාගි රංජිත් රුද්‍රිගු සහ හිටපු සභාපති අනුර ද සිල්වා යන මහත්වරු ද සිටීම කැපී පෙනේ.
රංජිත් රුද්‍රිගු මහතා පළමු පෙළ පාපන්දු තරගාවලියට සහභාගි වී ඇති බවට ඉදිරිපත් කර ඇති ක‍්‍රීඩා හැදුනුම්පත සහ කණ්ඩායම් ලේඛනය පිළිබඳව සැකයක් මතුවී ඇති අතර එහි මුල් පිටපත් ඉදිරිපත් කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍යංශයේ නාමයෝජනා කමිටුව දැනුම්දී තිබුණි.
ඒ මහතා පළමු පෙළ තරගාවලියට ක‍්‍රීඩා කර නොමැති බවට දිගින් දිගටම චෝදනා එල්ල වුවද 1987 වසරේ සිට තමන් පළමු පෙළ තරගාවලියට සහභාගි වූ බවට ඔහු ලේඛන ඉදිරිපත් කර ඇති බවට වාර්තා වේ.
රොද්‍රිගු මහතා පාපන්දු සම්මේලනයේ සභාපති ධූරයට පත්වීමෙන් පසුව පළමු පෙළ තරගාවලියට සහභාගි වී ඇති බවට වාර්තා වන අතර ශ්‍රී ලංකාවේ හිටපු නම ගිය ඇමැතිවරයකු ද ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට පත්වීමට එවැනි ආකාරයටම සුදුසුකම් සපුරාගත් බව තතු දන්නෝ පවසති.
වර්තමාන සභාපති අනුර ද සිල්වා මහතා පාපන්දු සම්මේලනය හරහා පාපන්දු තරගාවලියක් නැරඹීමට ජපානයට ගොස් ආගමන විගමන නීති උල්ලංඝනය කළ පුද්ගලයකු බවට චෝදනා එල්ල වී තිබේ.
එය පෞද්ගලික ප‍්‍රශ්නයක් බවත් එය සභාපති ධූරයට තරග කිරීමට බාධාවක් නොවන බව අනුර මහතා පවසන බවත් වාර්තා වේ.
ඒ මහතාට ද සියලුම විදේශ ගමන්බලපත්වල මුල් පිටපත් සහ අදාළ සිද්ධියට අදාළ සියලුම ලිපිලේඛනවල මුල් පිටපත් නාමයෝජනා කමිටුවට ඉදිරිපත් කර ලෙස දැනුම් දී තිබුණි. මෙම සිද්ධියත් සමඟ අනුර ද සිල්වා මහතා ජපානයෙන් පිටමන් කළ පුද්ගලයකු බවට විරෝධතාවයේ සඳහන්ව ඇති බව වාර්තා වේ.
නාමයෝජනා ඉදිරිපත් කළ සෙසු 14 දෙනා අතරින් බහුතරයකගේ ද සහතිකපත්වල සත්‍යතාව පිළිබඳව ගැටලු මතුවී තිබේ.
හොර සහතික ඉදිරිපත් කරමින් විවිධ උප්පරවැට්ටි යොදමින් පාපන්දු පරිපාලනයට එන්නට සුදානම් වන්නේ එහි රස ගැන හොඳ වැටහීමක් ඇති පිරිසකි. මෙම නිලධාරීන්ගේ පරිපාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ පාපන්දු ක‍්‍රීඩාව කබලෙන් ළිපට වැටුණු බව අමතක නොකළ යුතුය.
භාසුර