2024 අගෝස්තු 03 වන සෙනසුරාදා

ආසියාව දිනූ චමරිගෙ බලඇණිය

 2024 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 78

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට පසුගිය සතියේ සමත් විය. ශ්‍රී ලංකාව ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාව දිනූ පළමු අවස්ථාව ද මෙය වේ.  

මෙම ශූරතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලැබූ ඉහළම ජයග්‍රහණය වේ. ඒ හේතුවෙන් මෙය ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ක්‍රිකට් ජයග්‍රහණයක් වනවාට කිසිදු සැකයක් නැත.

සුපිරි පිතිකාරී චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි 15 ක දැවැන්ත මුදල් ත්‍යාගයක් පිරිනැමීමෙන්ම එම ජයග්‍රහණය කොතරම් සුවිශේෂී ද යන්න පැහැදිලි වේ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා තරගයේදී ප්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායම පරාජය කරමින් ශූරියන් බවට පත්වීම ද මෙම ජයග්‍රහණය රනින් සැරසීය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට පෙර 2004 වසරේ සිට පැවැති ආසියානු කුසලාන කාන්තා එක්දින තරගාවලි හතරේදීම අනු ශූරියන් වී සිටි අතර 2012 වසරේ සිට පැවැති ආසියානු කුසලාන විස්සයි20 තරගාවලි හතරෙන් 2022 වසරේ පමණක් අනු ශූරීයන් බවට පත්ව සිටියේය.

ශ්‍රී ලංකාව 2010 වසර පමණ වන තෙක් ආසියානු කාන්තා ක්‍රිකට් පිටියේ පමණක් නොව ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ ද තරමක ප්‍රබල කණ්ඩායමක් බවට පත්ව සිටියේය. එම කාලයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු රටවල් පමණක් නොව වර්තමානයේ ප්‍රබල කණ්ඩායම් බවට පත්ව සිටින දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය ආදී රටවල්වලටද ප්‍රබල අභියෝගයක් එල්ල කළේය.

ඉන් පසුව 2020 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ පැහැදිලි කඩා වැටීමක් ප්‍රදර්ශනය විය. එම කාලය තුළ ශෂිකලා සිරිවර්ධන සහ චමරි අතපත්තු දස්කම් දක්වන අවස්ථාවලදී අහම්බෙන් තරගයක් දෙකක් ජය ලැබීය.

චමරි අතපත්තු 2018 වසරේ පමණ සිට ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබල චරිතයක් වීමෙන් පසුව චමරි දස්කම් දැක්වුවහොත් ශ්‍රී ලංකාව ජය ලබන තත්ත්වයට පත්වූ අතර 2021 පමණ වන විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විශ්වාසයක් තැබිය නොහැකි භයානක කණ්ඩායම් ගොඩට වැටුණි. චමරි අතපත්තුගේ අදහාගත නොහැකි ප්‍රහාරයන් එයට ප්‍රධාන හේතුව බවට පත්විය.

චමරිගේ එම දස්කම් සමඟ චමරි සාර්ථක වුවහොත් ශ්‍රී ලංකා පිල ජය ලබන්නේ යැයි විශ්වාසයක් ගොඩනැගුණි. ශෂිකලා සිරිවර්ධනගෙන් පසුව නායකත්වයට පත්වූ චමරි සහෝදර ක්‍රීඩිකාවන් සමඟ එකතුව ජයග්‍රහණ ගෙන ඒමට සමත් වූවාය.
ශ්‍රී ලංකාවේදී මෙවර පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භයේ සිටම ශූරතාව දිනාගැනීම සඳහා චමරි ඇතුළු කණ්ඩායම පිඹුරුපත් සකස් කර තිබුණි. එහිදී ප්‍රබල ඉන්දීය පිල පරාජය කිරීමේ අභියෝගයට මුහුණ දීමට සිදුවන බවද ඔවුහු දැන සිටියහ. එහිදී චමරි සිය තරුණ ක්‍රීඩිකාවන් පිළිබඳව දැඩි විශ්වාසයෙන් පසුවූවාය.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එදා පවැති අවසන් මහා තරගයේදී ප්‍රබල ඉන්දීය පිල පරාජය කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට පෙරමුණේ රාළ චරිතයට චමරි පණ පොවද්දී තරුණ ක්‍රීඩිකාවෝ අනගි සහායක් එක් කළහ.

ඉන්දීය පිල පළමුව පන්දුවට පහර දී ලකුණු 165 ක් රැස්කළ පසුව එය ළඟාවිය නොහැකි ඉලක්කයක් ලෙස ඇතැම්හු හැඳින්වූහ. ශ්‍රී ලංකා ඉනිම අතරතුරදී චමරි ලකුණු 61 ක් රැස්කර සිටියදී දැවී යෑමෙන් පසුව ඇතැම්හු බලාපොරොත්තු අත්හැරියහ.
දඹුල්ල ක්‍රීඩාංගණයට රැස්ව සිටි විසිදහසකට අධික ප්‍රේක්‍ෂකයන් කුල්මත් කරමින් හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි ප්‍රබල ඉන්දීය පන්දු යවන්නියන්ට පන්දුව පතිත කළ යුතු ස්ථානය අමතක වන තරමේ ප්‍රහාර දියත් කරමින් කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන ඒමට සමත් වූහ.

චමරි තරගය අවසන් වීමෙන් පසුව පැවසුවේ සිය තරුණ ක්‍රීඩිකාවන් තරගය ජයග්‍රහණයෙන් අවසන් කරන්නේ යැයි තමන් දැඩි විශ්වාසයෙන් සිටි බවයි.

ශෂිකලා සිරිවර්ධන සමුගන්නා විට චමරි පමණක් සිටියද තවමත් 34 වැනි වියේ පසුවන චමරි හැකි උපරිම කාලයක් ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටිය දෙවනත් කර සමුගන්නා කාලය වන විට චමරිගේ කාබන් කොපි කිහිපයක්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දැකිය හැකි බවට ඉඟි පළ වී අවසන්ය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පසුගිය සතියේ ලැබූ එම සුවිශේෂී ජයග්‍රහණය පිටුපස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව, කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව, පුහුණුකරු රුමේෂ් රත්නායක ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලය සිටින බවද අමතක නොකළ යුතුය. 
 
• සටහන - යොහාන් භාසුර

 

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00