ශ්‍රී ලංකාව එක්දින ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයට පත්වුවද 2019 වසරේ එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාවේ සහභාගිත්වයට ඉන් බලපෑමක් ඇතැයි සිතිය නොහැක.
මෙම වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා වන විට එක්දින ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානය දක්වා කණ්ඩායම් නිරායාසයෙන්ම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන අතර සෙසු කණ්ඩායම් දෙක තෝරාගැනීම සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පැවැත්වේ.
ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 93ක් ලබා 8 වැනි ස්ථානයේ සිටින අතර බටහිර ඉන්දීය කොදෙව් පිල ප‍්‍රසාද ලකුණු 77ක් ලබා 9 වැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකාව සහ කොදෙව් අතර පරතරය ප‍්‍රසාද ලකුණු 16 කි. බටහිර ඉන්දීය කොදෙව්වන්ට මාස තුනක කාලයක් තුළ ප‍්‍රසාද ලකුණු 16ක් ලබා ගැනීමේ හැකියාව නොමැත. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ 8 වැනි ස්ථානය සැප්තැම්බර් 30 වැනිදා ආරක්‍ෂා වීම ස්ථිරය.
බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාවේ අතර පසුගිය සිකුරාදා තරග පහකින් සමන්විත එක්දින තරගාවලියක් ආරම්භ වූ අතර එම තරගාවලියේ තරග පහම කොදෙව්වන් ජය ලැබුවද ප‍්‍රසාද ලකුණු 17ක් හිමිවීමේ අවස්ථාවක් නොමැත. කොදෙව් පිල ඉදිරියට ඒමට නම් ඉදිරි මාස තුළ ඇතුළත ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් රැසක් පරාජය කළ යුතුවනවා මෙන්ම ශ්‍රී ලංකාව ද ඉදිරි සංචාරවලදී පරාජයට පත්විය යුතුය.
බංග්ලාදේශය ප‍්‍රසාද ලකුණු 94 ක් ලබා 7 වැනි ස්ථානයේ ද, පාකිස්තානය ප‍්‍රසාද ලකුණු 95 ක් ලබා 6 වැනි ස්ථානයේ ද, පසුවෙයි. ශ්‍රී ලංකාවට නැවතත් 6 වැනි ස්ථානය දක්වා පැමිණීමට අවශ්‍ය වන්නේ ප‍්‍රසාද ලකුණු 2 ක් පමණි.
ශ්‍රී ලංකාව එළඹෙන මාස දෙක තුළ සහභාගි වීමට නියමිත සිම්බාබ්වේ තරගාවලිය 5x0ක් ලෙස සහ ඉන්දීය එක්දින තරගාවලිය අවම වශයෙන් 3x2 ක් ලෙස ජය ලැබුවහොත් පහසුවෙන් නැවතත් 6 වැනි ස්ථානයට පැමිණීමේ අවස්ථාව තිබේ.
‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියට සහභාගි වන විට පාකිස්තානය 8 වැනි ස්ථානයේ පසු වූ අතර එම තරගාවලියේ ශූරයන් වීමත් 6 වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය. අනු ශූරයන් වූ ඉන්දියාව ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථාන දක්වා පහතට ඇද වැටුණි.
යොහාන්
එක්දින ක‍්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීම
ස්ථානය රට ප‍්‍රසාද ලකුණු
1. දකුණු අප‍්‍රිකාව 119
2. ඕස්ට්‍රේලියාව 117
3. ඉන්දියාව 116
4. එංගලන්තය 113
5. නවසීලන්තය 111
6. පාකිස්තානය 95
7. බංග්ලාදේශය 94
8. ශ්‍රී ලංකාව 93
9. බ.ඉ.කො. 77
10. ඇෆ්ගනිස්තානය 54
11. සිම්බාබ්වේ 46
12. අයර්ලන්තය 41