ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ නවතම රටාව වන ටී10 එසේත් නැත්නම් ඉනිමක් ඕවර 10 කට සීමාවන ක්‍රිකට් තරග රටාව මෙරටට ද ගෙන එමින් ‘ලංකා ටී10 සුපර් ලීග්’ ලෙස ටී10 ක්‍රිකට් තරගාවලියක් ලබන දෙසැම්බර් මස 11 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.
ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත් ජනප්‍රියතාවයක් ලබමින් තිබෙන ටී10 තරග රටාව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට නම් මේ දක්වා එතරම් සුබදායී එකක් නොවීය. ටී10 තරගාවලිවලට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් කිහිප දෙනකු විවිධ චෝදනා යටතේ තහනමකට ලක්වූ අතර ඇතැම් පුහුණුකරුවන්ට චෝදනාවෙන් නිදහස් කරන තෙක් වසර කිහිපයක්ම ක්‍රීඩාවෙන් ඉවත් වී සිටීමට සිදුවීම එයට හේතුවයි.
‘ලංකා ටී10 සුපර් ලීග්’ තරගාවලියේ සියලුම තරග මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගාවලියේ පළමු වටය කණ්ඩායම් තුන බැගින් කාණ්ඩ දෙකක් යටතේ ලීග් ක්‍රමයට පැවැත්වේ.
දේශීය සහ විදේශීය ප්‍රබල ක්‍රීඩකයන් විශාල සංඛ්‍යාවක් සහභාගී වන මෙම තරගාවලියේ කණ්ඩායම් හය ශ්‍රී ලංකාවේ ප්‍රකට නගර හයක් යොදා ගනිමින් නම් කර ඇති අතර එම කණ්ඩායම් කලම්බු ජගුවර්ස්, ගෝල් මාවල්ස්, ජැෆ්නා ටයිටන්ස්, කැන්ඩි බෝල්ට්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස් සහ නුවරඑළිය කිංග්ස් ලෙස හඳුන්වයි.
සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයන් 17 ක් ඇතුළත් සංචිතයක් නම් කළ යුතු අතර අවම වශයෙන් ක්‍රීඩකයන් 15 ක් සංචිතය සඳහා තෝරාගත යුතු වේ. කණ්ඩායමක් එක් එක් කාණ්ඩයෙන් ක්‍රීඩකයන් හය දෙනකු සමඟ ඍජුවම ගිවිසුම් අත්සන් කළ කළ යුතුය.
ඒ අනුව කණ්ඩායමකට ඇතුළත් වන සුවිශේෂී ක්‍රීඩකයාට (අයිකන් ක්‍රීඩකයා) ඇමෙරිකානු ඩොලර් 50,000 ක් හෙවත් රුපියල් කෝටි එකහමාරක උපරිමයක් දක්වා ගෙවිය හැකිය. ඊට අමතරව මෙම තරගාවලියට සහභාගී වන කාණ්ඩ කිහිපයක ක්‍රීඩකයන්ට ඇමෙරිකානු ඩොලර් 35,000 ක් හෙවත් රුපියල් කෝටියේ සිට ඩොලර් 2500 ක් හෙවත් රුපියල් ලක්ෂ හතහමාරක් දක්වා ගෙවීම් විහිදී යයි.
ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල්. තරගාවලියේ මෙන්ම මෙම තරගාවලියටද වෙන්දේසියක් හරහා ක්‍රීඩකයන් තෝරා ගනු ලැබීය. එහිදීද ඇතැම් කණ්ඩායම් සංචිතයට ප්‍රමාණවත් ක්‍රීඩකයන් සංඛ්‍යාව සම්පූර්ණ නොකිරීම නිසා තවත් මෙරට තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ඉතිරිව තිබේ.
ඒ අනුව මෙම තරගාවලියේ සුවිශේෂී ක්‍රීඩකයන් හෙවත් අයිකන් ක්‍රීඩකයන් ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් නම් කර තිබේ. ඇන්ජලෝ මැතිව්ස්, කලම්බු ජගුවර්ස් පිලේද, මහීෂ් තීක්ෂණ, ගෝල් මාවල්ස් පිලේද, වනිඳු හසරංග, ජැෆ්නා ටයිටන්ස් පිලේද, තිසර පෙරේරා, කැන්ඩි බෝල්ට්ස් පිලේද, දසුන් ශානක, හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පිලේද, අවිශ්ක ප්‍රනාන්දු, නුවරඑළිය කිංග්ස් පිලේද, සුවිශේෂී ක්‍රීඩකයන් ලෙස නම්කර තිබේ.
මෙම තරගාවලියට ශ්‍රී ලංකා ජාතික සංචිතයට ඇතුළත් ප්‍රබල ක්‍රීඩකයන් සහ තරුණ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ද ඇතුළත්ව සිටිති. ඊට අමතරව ලොව පුරා ලීග් තරගාවලිය සඳහා සහභාගී වන නමගිය ප්‍රබල ක්‍රීඩකයන් රැසක්ද මෙම තරගාවලියට එක්වීමට නියමිතය.
එංගලන්තය, බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල් රැසක ප්‍රබල ක්‍රීඩකයන් මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතය.
බංග්ලාදේශය තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්, එංගලන්ත ප්‍රබල ක්‍රීඩකයන් වන ඇලෙක්ස් හේල්ස් සහ ලූක් වුඩ්, කොදෙව් ප්‍රබල ක්‍රීඩක වන ඇන්ද්‍රි ෆ්ලෙචර්, කෙස්ට්රික් විලියම්සන් සහ ජොනතන් චාල්ස්, ඇෆ්ගනිස්ථානු ප්‍රබල ක්‍රීඩකයන් වන මොහොමඩ් ශෂාද් සහ කරීම් ජැනට් මෙන්ම පාකිස්ථානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ඇතුළු විදේශ ක්‍රීඩකයන් 30 කට අධික පිරිසක් මෙම තරගාවලියට සහභාගිවීමට නියමිතය.
‘ලංකා ටී10 සුපර් ලීග්’ මංගල තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙම තරගාවලිය වඩාත් තරගකාරී එකක් වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.
• යොහාන් භාසුර