2025 ජනවාරි 04 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත් වෙයි

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 61

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දුර්වල ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කරන බොහෝ අවස්ථාවලදී මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන් විනය විරෝධීව හැසිරුණු බොහෝ අවස්ථාවලදී ක්‍රිකට් පරිපාලනයට ඇඟිල්ල දිගු කිරීම මෙරට ඇතැම් පුද්ගලයන්ගේ පුරුද්දක් වී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසර දෙකක පමණ කාලය තුළ ලෝක කුසලාන තරගාවලි කිහිපයකදී දැඩිව අසාර්ථක වෙද්දී ක්‍රිකට් පරිපාලනයට කළ චෝදනා ඇසෙන්නට ලැබුණු අතර ධනුෂ්ක ගුණතිලක ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙක් විනය විරෝධීව හැසිරුණු අවස්ථාවලදී ද ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් වන අදෝනාව පණ ගැන්විණි.

ක්‍රිකට් පරිපාලනයට චෝදනා කරන්නන් අතර ක්‍රිකට් නිලවරණයේදී සාමාජික ක්‍රීඩා සමාජවල ඡන්දයෙන් තනතුරුවලට තේරීපත් වීමට නොහැකි පුද්ගලයන් රැසක් සිටින අතර ඒ අතර ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රසිද්ධ චරිත කිහිපයක් ද ඉදිරියෙන් සිටිති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවත් ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන ක්‍රීඩා සමාජ සංඛ්‍යාව වැඩි බවත් ඇතැම්හු පසුගිය කාලයේ අඛණ්ඩව චෝදනා කළහ. එම චෝදනා කළ පුද්ගලයන් අතර ක්‍රීඩා ඇමැතිවරු ද සිටියහ. එම චෝදනා කළ ඇතැමුන්ගේ ප්‍රධාන ඉලක්කය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු දැවැන්ත මුදල් කන්දරාවෙන් කොටසක් කඩා ගැනීමට බව පැහැදිලිව පෙනුණි.

“ක්‍රිකට් ඉහළින් තියෙන ඕස්ට්‍රේලියාව, එංගලන්තය වැනි රටවල්වලත් ක්‍රිකට් නිලවරණයේදී ඡන්ද හය හතයි තියෙන්නේ. ඒත් අපේ රටේ ක්‍රිකට් නිලවරණයට ඡන්ද 150 ක් විතර තියෙනවා” යැයි ඇතැම්හු චෝදනා කළහ.
මෙරට ධනවත්ම ක්‍රීඩා සංගමය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරු ද මැදිහත් වූහ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කමිටුවක් පත් කළේය. එම කමිටුව රනිල් වික්‍රමසිංහ මහතාට නිර්දේශ වාර්තාවක් ද භාර දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තත්වය පිළිබඳව අවධානය යොමුකර එහි සාමාජික ක්‍රීඩා සමාජ සහ සංගම්වල සහභාගිත්වයෙන් විශේෂ මහ සභාවක් පසුගිය 20 වැනිදා කැඳවා එම චෝදනාවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ කැපී පෙනෙන සංශෝධන කිහිපයක් කළේය.

එහිදී ප්‍රධානම සංශෝධනය ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී ප්‍රකාශ කරන ඡන්ද සංඛ්‍යාව 60 ක් දක්වා අඩු කිරීමට පියවර ගත්තේය. ක්‍රිකට් නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට මීට පෙර සාමාජිකයන් 87 න් නියෝජියෝ 147 ක් සුදුසුකම් ලැබූහ. මෙම සංශෝධනයත් සමඟ ක්‍රිකට් නිලවරණයේ ඡන්ද 87 ක් අඩුවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන කිසිදු තරගාවලියකට සහභාගි නොවන ක්‍රීඩා සංගම් රැසකට ක්‍රිකට් නිලවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවන බවත් එම ඇතැම් ක්‍රීඩා සමාජවලට ඡන්ද දෙක බැගින් හිමිව ඇතැයි එල්ල වූ චෝදනාවට මෙම සංශෝධනය හොඳ පිළිතුරක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජික කාණ්ඩ අනුව පාලක ක්‍රීඩා සමාජ 20 ට සහ අනුබද්ධ සංගම්වලට ඡන්ද දෙක බැගින්ව හිමිව තිබුණි. අනුබද්ධ ක්‍රීඩා සමාජයකට ඡන්දය බැගින් ද හිමිවිය. මෙම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ ක්‍රීඩා සමාජයකට හෝ සංගමයකට ඡන්දයක් පමණක් හිමි වේ. මෙම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන තරගාවලි වන පළමු කොටසේ ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩවල ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ සහ ආණ්ඩුකාර කුසලාන යන තරගාවලිවලට සහභාගීවීමට සුදුසුකම් ලබන ක්‍රීඩා සමාජවලට පමණක් ඡන්ද බලය හිමිවේ.

ඡන්ද බලය හිමිව තිබියදී යම් ක්‍රීඩා සමාජයක් තරග පරාජය හෝ වෙනත් හේතුවක් මත ආණ්ඩුකාර කුසලාන තරගාවලියෙන් පහතට වැටුණහොත් ඡන්ද බලය අහිමි වේ. ඡන්ද බලය අහිමිවන ක්‍රීඩා සමාජවලට අන්තර් සමාජ තරගාවලිවලට සහභාගි වී වසර තුනක් තුළ ‘ආණ්ඩුකාර කුසලාන’ තරගාවලියට නැවත සුදුසුකම් ලබා ඡන්ද බලය හිමිකර ගැනීමේ අවස්ථාව තිබේ.

බස්නාහිර, මධ්‍යම, උතුරුමැද සහ ඌව යන පළාත් සංගම්වලට සහ දිස්ත්‍රික් සංගම් 22 කට ඡන්ද බලය හිමිව තිබේ. අනුබද්ධ සංගම් අතරින් වෙළෙඳ සේවා, ජනසතු සේවා, රාජ්‍ය සේවා, පාසල්, විශ්වවිද්‍යාල සහ ආරක්‍ෂක සේවා යන සංගම්වලට ඡන්ද බලය හිමිවේ. ආරක්‍ෂක සේවා ක්‍රිකට් සංගමය නියෝජනය කරන යුද, නාවික, ගුවන් සහ පොලිස් යන ක්‍රීඩා සමාජවලට හිමිව තිබූ ඡන්ද අහිමි විය.

කැන්ඩි කස්ටම්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය නොලැබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කළමනාකරණය වඩාත් විධිමත් සහ විනිවිදභාවයෙන් පවත්වාගෙන යෑම සඳහා විගණන කමිටුවක්, ආයෝජන, අයවැය පාලන සහ මූල්‍ය කමිටු පත්කිරීමට පසුගියදා පැවැති විශේෂ මහ සභාවේදී සාමාජිකයෝ ඒකමතිකව තීරණය කළහ.

මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය ශක්තිමත් කිරීම සඳහා විගණන කමිටුව, ආයෝජන සහ අයවැය කමිටුව සහ අදාළ පාර්ශ්වීය ගනුදෙනු කමිටුව පිහිටුවීමට සාමාජිකයෝ ඒකමතිකව අනුමත කළහ.
මෙම සංශෝධනයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඕනෑම ගිණුමක් විගණකාධිපතිවරයාට පරීක්‍ෂා කිරීම සහ විගණනය කළ හැකි බවද කියැවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය 2025 වසරේ මුල මාස තුන තුළ පැවැත්වීමට නියමිත අතර එම නිලවරණය පැවැත්වීමට විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් නිලවරණ කමිටුවක් ද පත් කළේය. සාමාජිකයන් පස්දෙනකුගෙන් යුත් නිලවරණ කමිටුවේ සෙසු සාමාජිකයන් පසුව පත් කිරීමට නියමිතය.

මෙම විශේෂ මහ සභාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට වඩාත් තීරණාත්මක සංශෝධනයක් ගෙන ඒම පිළිබඳව කළ විමසුමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ එහි මව් ආයතනය වන අන්තර්ජාතික ක්‍රිකට් සභාව ද දැනුවත් කර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වඩාත් පරිපූර්ණ පරිපාලනයක්, විනිවිදභාවය සහ කළමනාකරණ ව්‍යුහය තුළ කාර්යක්ෂමතාවය ඇති කිරීමේ අරමුණින් එම සංශෝධන කළ බවයි.

• යොහාන් භාසුර

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00