ක්රීඩා අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ පසුගිය සඳුදා පාර්ලිමේන්තුවේදී පැවැති අයවැය විවාදයේදී ක‍්‍රීඩා අමාත්‍යංශය ඉදිරිපත්කර තිබූ මෙම වර්ෂයේ (2016) ප‍්‍රගති වාර්තාවේ ‘ග‍්‍රාමීය ක්‍රීඩාංගණ සංවර්ධනය’ සඳහා ප‍්‍රතිපාදන වෙන්කිරීමේදී ක‍්‍රීඩා අමාත්‍යංශය කුරුණෑගල දිස්ත‍්‍රික්කයට අයත් අමාත්‍යංශයක් ද යැයි සැක මතුවිය.
එසේ වූයේ ක‍්‍රීඩා අමාත්‍යාංශය ඇස්තමේන්තු සකස්කර ඇති ඇවිදීමේ මංතීරු හතෙන් හයක්ම කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ඉදිකර තිබීමය. එය ක‍්‍රීඩා අමාත්‍යවරයා තම දිස්ත‍්‍රික්කයට අත දිගහැර බෙදා ගැනීමක් යැයි අමුතුවෙන් කිවයුතු නැත. ග‍්‍රාමීය ක්‍රීඩාංගණ සංවර්ධනය සඳහා ප‍්‍රතිපාදන වෙන්කිරීමේදී ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා නියෝජනය කරන කුරුණෑගල දිස්ත‍්‍රික්කයට සෙසු දිස්ත‍්‍රික්කවලට සාපේක්‍ෂව විශාල මුදලක් ලබාදී ඇති බව බැලූ බැල්මටම පැහැදිලි වේ.
මෙම වසරේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාමීය ක්‍රීඩාංගණ 146 ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 442.84 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 4428 කට අධික මුදලක් ලබාදී ඇති බව ක‍්‍රීඩා අමාත්‍යංශයේ ප‍්‍රගති වාර්තාවේ සඳහන්ව තිබේ. ග‍්‍රාමීය ක්‍රීඩාංගණ සංවර්ධනයට දෙවැනි ඉහළතම මුදල් ප‍්‍රමාණය මහනුවර දිස්ත‍්‍රික්කයේ ක්‍රීඩාංගණ 28 ක් සංවර්ධනය වෙනුවෙන් ලබාදී තිබේ. මහනුවරට ලැබුණු මුදල් ප‍්‍රමාණය මිලියන 133.74 ක් හෙවත් ලක්‍ෂ 1337 කි.
කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාමීය ක්‍රීඩාංගණ 17 ක් සංවර්ධනයට ලබා දුන් රුපියල් මිලියන 97.40 ක් හෙවත් ලක්‍ෂ 974 තෙවැනි ස්ථානයට පත්ව තිබේ. ශ්‍රී ලංකාව වැඩිම ජනගහණයක් සිටින බස්නාහිර පළාතේ කොළඹ (10), ගම්පහ (14) සහ කළුතර (7) දිස්ත‍්‍රික්ක තුනේ ක්‍රීඩාංගණ 31 ක් සංවර්ධනයට ලබාදී ඇත්තේ මිලියන 96.9 ක් හෙවත් ලක්‍ෂ 969 ක් පමණි.
ක‍්‍රීඩා අමාත්‍යංශයේ 2016 වසරේ ප‍්‍රගති වාර්තාවේ ග‍්‍රාමීය ක්‍රීඩාංගණ සහ පාසල් ක්‍රීඩාංගණ සංවර්ධනය යටතේ දිස්ත‍්‍රික් 25 ක ග‍්‍රාමීය ක්‍රීඩාංගණ 532 ක් සඳහා රුපියල් මිලියන 1432.20 ක් හෙවත් ලක්‍ෂ 14322 ක් වැයකර තිබේ. එම ලක්‍ෂ 14322 න් 4428 ක් හෙවත් 31%කට ආසන්න මුදල් ප‍්‍රමාණයක් එක දිස්ත‍්‍රික්කයකට වැය කිරීම තොරම් සාධාරණය ද යන්න මෙහිදී මතුවන ප‍්‍රධාන ගැටලුවයි. මහනුවරට සහ කෑගල්ලට ලැබුණු මුදල් ප‍්‍රමාණය 16% ඉක්මවයි.
ක‍්‍රීඩා අමාත්‍යංශය 2016 වසරේ ‘ග‍්‍රාමීය ක්‍රීඩාංගණ සංවර්ධනය’ සඳහා වැයවූ මුදලින් 50% කට ආසන්න මුදලක් දිස්ත‍්‍රික්ක තුනක් සඳහා වැයකර ඇති අතර ඉතිරි දිස්ත්‍රික්ක 22 සඳහා 51% ක් පමණක් ලැබී තිබේ. එහිදී කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත‍්‍රික්කවලට කිසිදු මුදලක් ලබාදී නැත. යාපනය දිස්ත‍්‍රික්කයේ ක්‍රීඩාංගණ තුනක් සංවර්ධනයට ලබාදුන් මිලියන 8.30 ක් හෙවත් ලක්‍ෂ 83 දිස්ත‍්‍රික්කයකට ලබාදුන් අඩුම මුදල වේ.
ඇවිදීමේ මංතීරු හයක් කුරැණෑගල දිස්ත‍්‍රික්කයේ හෙට්ටිපොළ (රුපියල් 6,950,262), උඩුබැද්දෑව (රුපියල් 11,386,390.80), කුලියාපිටිය (රුපියල් 5,081,250), පන්නල (රුපියල් 4,901,750), බිංගිරිය (රුපියල් 10,734,798) සහ කටුපොත (රුපියල් 4,656,500) යන ස්ථානවල රුපියල් ලක්‍ෂ 437 කට අධික මුදලක් වැය කර ඉදි කිරීමට ඇස්තමේන්තු සකස් කර ඇති බව ප‍්‍රගති වාර්තාවේ සඳහන් වේ.
මෙහිදී උඩුබැද්දෑව ප‍්‍රදේශීයේ ඉදිකිරීමට යෝජිත ඇවිදීමේ මංතීරුව සඳහා පමණක් රැපියල් ලක්‍ෂ 113 කට අධික මුදලක් වැය කිරීමට සූදානම් වීම කැපී පෙනේ. කුරුණෑගලින් පිටතට ලැබී ඇති එකම ඇවිදීමේ මංතීරුව රුපියල් 4,523,500 ක් මුදලක් වැය කරමින් ගම්පහ දිස්ත‍්‍රික්කයේ නිට්ටඹුව ප‍්‍රදේශයේ ඉදිරිකිරීමට ඇස්තමේන්තු කර තිබේ.
ක‍්‍රීඩා අමාත්‍යංශයට මෙම වසරේ ඇයවැයෙන් වෙන්කර තිබූ මුදල රුපියල් මිලියන 3320.18 ක් හෙවත් ලක්‍ෂ 33201.80 කි. ඊට අමතරව අතිරේක රුපියල් මිලියන 674.50 ක් හෙවත් ලක්‍ෂ 6745 ක් ද හිමිවී තිබේ. ඒ අනුව ලැබුණු මුළු මුදල මිලියන 3994.68 ක් හෙවත් ලක්‍ෂ 39946.80 කි.
එම මුදලින් මෙම වසර තුළදී ප‍්‍රාග්ධන වියදම් වෙනුවෙන් මිලියන 2980.50 ක් හෙවත් ලක්‍ෂ 29805 ක් ද, පුනරාවර්තන වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 1014.18 ක් හෙවත් ලක්‍ෂ 10141.80 ක් වැයකර තිබේ. ඒ අනුව ක‍්‍රීඩා අමාත්‍යංශයේ 2016 වසරේ සමස්ත වියදම ලක්‍ෂ 39946.80 කි. ක‍්‍රීඩා අමාත්‍යංශයේ පසුගිය වසරේ (2015) මුළු වියදම රුපියල් මිලියන 4164 ක් හෙවත් ලක්‍ෂ 41640 කි. අමාත්‍යංශවලට ලැබෙන අති විශාල මුදල අමාත්‍යවරයාගේ දිස්ත‍්‍රික්කයට බෙදා ගැනීම කොරම් සාධාරණය ද යන්න මෙහිදී පැන නැගෙන දැවැන්ත ගැටලුවකි. ඒ හේතුවෙන් මෙම මුදල් බෙදීමේදී සමස්ත ශ්‍රී ලංකාව පුරාම කිසියම් සාධාරණ ක‍්‍රමවේදයකට බෙදී යායුතුය. මෙම වසරේ සිට හෝ විශේෂයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශයේ මුදල් බෙදීම සඳහා ක‍්‍රමවේදයක් සකස් කිරීම යහපාලන ආණ්ඩුවේ වගකීමක් බවට පත්ව තිබේ.
♦සටහන: විශේෂ වාර්තාකරුවකු විසිනි