2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා

ශම්මිගේ ටීම් එකම නිතරගයෙන්

 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 38

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ආසියානු ක්‍රිකට් කවුන්සලයේ වර්තමාන සභාපති ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ඉදිරි වසර දෙකක කාලය සඳහා ද සභාපතිවරයා ලෙස නිතරගයෙන් පත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයට වර්තමාන පරිපාලනය ක්‍රියාත්මක කරන ශම්මි සිල්වා මහතා ඇතුළු නිලධාරී මණ්ඩලය ඉදිරිපත් කළ නාමයෝජනා පමණක් පිළිගත් නාමයෝජනා බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 - 2027 කාලය සඳහා නිලධාරී මණ්ඩලය පත් කරගැනීමේ නිලවරණය ලබන මාර්තු මස 31 වැනිදා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සහ ධනවත්ම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවේ පාලකයන් පත් කර ගැනීමේ නිලවරණය එසේත් නැත්නම් ඡන්ද විමසීම මෙරට පාර්ලිමේන්තු මැතිවරණයකටත් එහා ගිය තරගකාරීත්වයක් තිබූ නිලවරණයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඡන්ද විමසීම්වල ඉතිහාසය දෙස හැරී බැලීමේදී වඩාත් විවාදාත්මක සිද්ධි රැසක් ආවර්ජනය කළ හැකිය. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට කාලයෙන් කාලයට පාලනයේ සිටි ජනාධිපතිවරු, මැති ඇමැතිවරු, ප්‍රබල ව්‍යාපාරිකයන් විවිධ ආකාරයෙන් මැදිහත් වූ සහ බලපෑම් කළ ආකාරය පිළිබඳව ඉතිහාසය සාක්ෂි දරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ අතරතුරදී ගිනිඅවිද ගුටිබැටද වාර්තා වූ අවස්ථා ඕනෑ තරම් තිබුණි.

ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා කැඳවූ අවස්ථාවේ සිට මීට වසර දහයක පහළොවක අතීතයේදී කරළියට පැමිණෙන ප්‍රධාන නම් කිහිපයක්ද තිබේ. තිලංග සුමතිපාල, උපාලි ධර්මදාස, ජයන්ත ධර්මදාස, අර්ජුන රණතුංග, මොහාන් ද සිල්වා, නිශාන්ත රණතුංග සහ ශම්මි සිල්වා යන චරිත එහිදී ඉදිරියෙන්ම සිටියහ. බදුරලිය ක්‍රිකට් සමාජය නියෝජනය කළ සුමිත් පෙරේරා මහතා ක්‍රිකට් නිලවරණය ඉතිහාසය ආවර්ජනය කිරීමේදී අමතක කළ නොහැකි චරිතයකි. මීට වසර දහයකට පමණ පෙර තිලංග සුමතිපාල පාර්ශ්වයට දැවැන්ත බලයක් තිබියදී සුමිත් පෙරේරා මහතා එම පාර්ශ්වයට අභියෝග කිරීම කැපී පෙනුණි. තිලංග සුමතිපාල පාර්ශ්වය, ජයන්ත ධර්මදාස පාර්ශ්වය සහ රණතුංග පාර්ශ්වය ආදී කණ්ඩායම් ලෙස මීට පෙර ක්‍රිකට් නිලවරණවලදී එම පාර්ශ්ව හැඳින්වීය.

නිලවරණයට නාමයෝජනා භාරගැනීම ආරම්භ කළ දිනයේ සිට මෙම පාර්ශ්ව තරගයට මෙන් මාධ්‍ය හමු පැවැත්වීමද තවත් විශේෂ සිද්ධියකි. කෙසේ වෙතත් පසුගිය වසර හතර පහ දෙස බැලීමේදී එවැනි තරගයක් නිර්මාණය නොවූ අතර ශම්මි සිල්වා මහතා ඇතුළු කණ්ඩායම නිතරගයෙන් පත්වීම කැපී පෙනුණි.

මෙවරද ශම්මි සිල්වා මහතා ඇතුළු කණ්ඩායමේ නාමයෝජනා පමණක් නිලවරණ කමිටුව නිල වශයෙන් පිළිගෙන තිබීම නිසා එම කණ්ඩායම නිතරගයෙන් පත්වෙයි.

ශම්මි සිල්වා මහතාගේ කණ්ඩායමට අමතරව ගාල්ල ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් දීපාල් චාල්ස් මහතා සභාපති ධුරයට නාමයෝජනා භාර දී තිබුණද ඒ මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප විය. ක්‍රිකට් විධායක කමිටුවේ වසර දෙකක් කටයුතු කර නොතිබීම හේතුවෙන් නාමයෝජනා පත්‍රය භාරදුන් අවස්ථාවේදීම එම නාමයෝජනාව ප්‍රතික්ෂේප වී තිබේ.

ඒ අනුව සභාපති ධුරය සඳහා වර්තමාන සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු තිදෙනකුගේ නාමයෝජනා නිල නාමයෝජනා ලෙස පවතී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන උප සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස සහ වර්තමාන විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වල යන මහත්වරුන්ද සභාපති ධුරය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබේ.

ජයන්ත සහ සමන්ත යන මහත්වරුන් සභාපති ධුරයට නාමයෝජනා භාර දී ඇත්තේ ආරක්ෂාකාරී පියවරක් ලෙස වන අතර නිලවරණ අවස්ථාවේදී එම දෙපළ ඉල්ලා අස්වීමෙන් ශම්මි සිල්වා මහතා නිතරගයෙන් සභාපති ධුරයට පත්වීමට නියමිතය.
උප සභාපති ධුර දෙක සඳහා වර්තමාන උප සභාපතිවරු වන ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරු මෙන්ම සමන්ත දොඩන්වල මහතා ද නාමයෝජනා ඉදිරිපත් කළහ.

ප්‍රධාන ලේකම් ධුරයට වර්තමාන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත, සමන්ත දොඩන්වල සහ බන්දුල දිසානායක යන මහත්වරුද, උප ලේකම් ධුරයට ක්‍රිෂාන්ත කපුවත්ත, සමන්ත දොඩන්වල, බන්දුල දිසානායක සහ නලීන් අපෝන්සු යන මහත්වරුද නාමයෝජනා ඉදිරිපත් කර තිබේ.

භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික ධුරවලට වර්තමාන භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද සහ හිටපු භාණ්ඩාගාරිකවරයෙක් වන ලසන්ත වික්‍රමසිංහ යන මහත්වරු නාමයෝජනා ඉදිරිපත් කළහ.
මෙම සියලු‍ම නාමයෝජනා එකම පාර්ශ්වයේ නාමයෝජනා වීම හේතුවෙන් වර්තමාන නිලධාරී මණ්ඩලයේ සිටින නිලධාරීන්ම එම තනතුරුවලට පත්වීමට නියමිතය.

• යොහාන් භාසුර

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00