“පුහුණුකරුවකු ලෙස ඉදිරියේදී මගේ රටට හෝ වෙනත් ඕනෑම රටක කටයුතු කරන්න මම බලාපොරොත්තුව ඉන්නවා. ඒ වගේම ඉදිරි වසර හතරක පමණ කාලය තුළ පුහුණුකරුවකුට අවශ්‍ය වන සුදුසුකම් ඕස්ට්‍රේලියාවේදී සම්පූර්ණ කිරීමටද බලාපොරොත්තු වෙනවා. ඔබට මාව ඉදිරියේදී පුහුණුකරුවකු ලෙස දැකගන්න ලැබේවි,” යැයි ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ ආරම්භක පිතිකරුවෙක් වන දිමුත් කරුණාරත්න පසුගියදා පැවසුවේය.
ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී පසුගිය සතියේ අවසන් වූ ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුවිශේෂී ක්‍රිකට් ක්‍රීඩකයකු වන දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය වූ අතර දිමුත් එම තරගයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නේය.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස වසර පහකට අධික කාලයක් කටයුතු කළ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නිහඬව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට දැනෙන සේවයක් කළ ක්‍රීඩකයකු කිවහොත් එහි වරදක් නැත.
මරදාන ශාන්ත ජෝෂප් විදුහලෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමට දායාද කළ දිමුත් කරුණාරත්න, ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමෙන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළේය.
දිමුත්, ශ්‍රී ලංකා වසර 43 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 17 වැනි ටෙස්ට් නායකයා වන අතර, ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් නායකයන් අතර සාර්ථකම නායකයන් පෙළගැස්මේ ඉදිරියෙන්ම සිටියි.
ඔහු 2019 වසරේ සිට 2023 වසර දක්වා ටෙස්ට් තරග 30 කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබූ අතර එහිදී තරග 12 ක් ජය ලබා, තරග 12 ක් පරාජයට පත්ව තිබුණි. දිමුත් නායකත්වය සැපයූ තරග 6 ක් විසඳුමකින් තොරව අවසන් වී තිබූ අතර දිමුත්ගේ ජයග්‍රහණය කිරීමේ සාමාන්‍ය සියයට 40 කි.
දිමුත් ටෙස්ට් කණ්ඩායමේ පමණක් නොව එක්දින කණ්ඩායමේද නායකයා ලෙස කටයුතු කළ බව බොහෝ දෙනකුට අමතක වී ඇති කරුණකි. ඔහු කා සමඟත් සුහදශීලීව සිටීමේ ගුණාංගයක් ප්‍රදර්ශනය කිරීම නිසා කණ්ඩායම තුළ ගැටලු නිර්මාණය වී තිබූ මෙන්ම යම් කඩාවැටීමකට ලක්ව තිබූ 2019 වසරේ, ඔහුට එක්දින කණ්ඩායමේද නායකත්වය හිමිවිය.
වසරකට අධික කාලයක් එක්දින පිලේ නායකත්වය දැරූ දිමුත් එක්දින ජාත්‍යන්තර තරග 17 කදී කණ්ඩායම මෙහෙයවමින් තරග 10 ක් ජයග්‍රහණය කළ අතර තරග 7 ක් පරාජයට පත්විය. ඒ අනුව දිමුත්ගේ එක්දින තරග ජයග්‍රහණ සාමාන්‍ය සියයට 58.82 කි.
36 වැනි වියේ පසුවන දිමුත් පසුගිය සතියේ ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 100 කදී ශතක 16 ක් සහ අර්ධ ශතක 39 ක් සමගින් ලකුණු 7,222 ක් රැස්කිරීමට සමත්ව සිටියේය. ඔහුගේ ටෙස්ට් ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 39.25 ක් විය.
දිමුත් එම තරගයත් සමඟ ටෙස්ට් තරග 100 කට ක්‍රීඩා කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනාගේ සමාජයටද එකතු විය. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් ක්‍රීඩකයන් 167 ක් අතරින් ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩා කළ හත්වැනි ක්‍රීඩකයා ලෙස දිමුත් ඉතිහාසයට එකතු විය.
වසර දහයකට අධික කාලයක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරුවකු ලෙස සාර්ථක වීම හේතුවෙන් ආරම්භක පිතිකරුවන් පිළිබඳ ගැටලුවක් එම කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ නොතිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් තරග 100 කට ක්‍රීඩා කළ එකම ආරම්භක පිතිකරුවා ද දිමුත් වීම කැපී පෙනේ.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් දිමුත් කරුණාරත්න, ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට නියමිතව ඇති අතර ඔහු ඕස්ට්‍රේලියාවේදී පුහුණුකරුවකු ලෙස ක්‍රිකට් දිවිය ආරම්භ කිරීමට නියමිතය.
• යොහාන් භාසුර