2017 ජුලි 08 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට බහිරවයෙක් රිංගලා!

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 302

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තුළ ගැටලු නිර්මාණය කරමින් වාසි ලබාගන්නා පුද්ගලයකු පිළිබඳව මේ දිනවල සමාජ වෙබ් අඩවිවල විවිධ ආකාරයේ වාර්තා පළවෙමින් තිබේ. ක‍්‍රීඩකයන්ගේ ඒජන්තවරයකු යැයි කියන අදාළ පුද්ගලයා ක‍්‍රීඩකයන්ගෙන් 10%ක පංගුවක් බෙදා ගන්නා බවද කියති. හිටපු සුපිරි ක‍්‍රීඩකයන් දෙදෙනකුගේ සහ වර්තමාන ක‍්‍රිකට් පිලේ ක‍්‍රීඩකයන් 20ක පමණ මෙහෙයවන්නා බවට පත්ව සිටින්නේ යැයි කියන මෙම පුද්ගලයාගේ බලපෑම ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන කඩා වැටීමට සෘජුව බලපා ඇති බවට සමහරු චෝදනා කරති. 

මෙම පුද්ගලයා පිළිබඳව අර්ජුණ රණතුංග, නිශාන්ත රණගුංග ඇතුළු හිටපු ක‍්‍රිකට් පරිපාලකයන් මීට පෙර දැඩි චෝදනා එල්ල කළද ඔහු පාලනය කිරීමට මේ දක්වා නොහැකි වී තිබේ. විදේශිකයකු වන අදාල පුද්ගලයාගේ රූකඩයන් බවට ශ්‍රී ලංකා පිලේ ඇතැම් ක‍්‍රීඩකයන් පත්ව සිටීමෙන් කණ්ඩායම තුළ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. 

මෙම තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැඩි අවධානය යොමු කළ යුතු කාලය මේ වන විට එළඹ තිබෙන බව ක‍්‍රිකට් ප‍්‍රවීණයෝ පවසති.

සිම්බාබ්වේට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු තරගයට චයිනමන් පන්දු යවන ලක්‍ෂාන් සඳහන් ක‍්‍රීඩා නොකළේ අදාළ පුද්ගලයා මෙහෙයවන ක‍්‍රීඩකයකු විසින් කළ බලපෑමෙන් බවට මේ වනවිට චෝදනා එල්ල වෙමින් තිබේ. සඳකැන්ට අදාළ පුද්ගලයාගේ සේවය ලබා ගැනීමට කළ යෝජනාවක් ප‍්‍රතික්ෂේප වීම මෙම පළිගැනීමට හේතු වී ඇති බව වාර්තා වේ. තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගේ දැඩි මැදිහත්වීමෙන් දෙවැනි තරගයට සඳකැන් ඇතුළත් කළ බව දැනගන්නට තිබේ. 

එංගලන්තයේ පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියට ද සඳකැන් ඇතුළත්ව සිටියද ඔහුව ක‍්‍රීඩාකරවීමට ක‍්‍රීඩකයකු අකමැත්ත පළකළ බව වාර්තා වේ.   

සූරියවැවදී පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති තෙවැනි තරගයේදී ශ‍්‍රී ලංකා පිල ලකුණු 311ක් හඹායමින් ජය ලැබීමත් සමඟ තරගාවලිය පිළිබඳ යළි පිබිදීමක් ඇතිවිය.

සුරංග ලක්මාල් තෙවැනි තරගයට පෙර අසනීප වීම හේතුවෙන් නුවන් කුලසේකර සහ ළහිරු කුමාර කැඳවීමට තේරීම් කමිටුව ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට ඉදිරිපත් කළද එහිදී කුලසේකර කපා දමා ළහිරුට පමණක් අනුමැති ලැබුණු බව තතු ද න්නෝ පවසති. මාලිංග සහ කුලසේකර ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය ඉහළින්ම සමත්ව පරීක්‍ෂණ ප‍්‍රතිඵල ලේඛණය සමඟ ඡායාරූප ගෙන තිබූ අතර ඒවා සමාජ වෙබ් අඩවිවල ද පළවී තිබුණි.  

කෙසේ වෙතත් තෙවැනි තරගයේදී නුවන් ප‍්‍රදීප් ආබාධයකට ලක්වීමෙන් නුවන් කුලසේකර සහ අසිත ප‍්‍රනාන්දු කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබුණි.  ගාල්ලේදී පසුගිය ඉරිදා පැවැති තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලු 7ක ජයක් ලබමින් නැවතත් ජයග‍්‍රාහි මානසකත්වයට පැමිණීම සූරියවැව තරග තුන සාර්ථකව අවසන් කිරීමට පසුබිම සකස් කර තිබුණි. 

දෙවැනි තරගයෙන් වේගපන්දු යවන කසුන් මධුසංඛ, දඟපන්දු යවන්නා වන අකිල ධනංජය සහ අමිල අපෝන්සු ඉවත්කර දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග සහ ලක්‍ෂාන් සඳකැන් කණ්ඩාමට කැඳවා සිටියහ. එහිදී සඳකැන් කඩුලු 4 ක් සහ වනිඳු කඩුලු 3 ක් දවා ගැනීමෙන් එම දෙදෙනා පමණක් කඩුලු 7 ක් බෙදා ගත්හ. එහිදී වනිඳු හසරංග කඩුලු ත‍්‍රිත්වයක් දවා ගැනීම ද කැපී පෙනුණි. 

වසර දෙකක පමණ කාලයකට සිට ශ්‍රී ලංකාව නිවැරදි කණ්ඩායම තෝරා ගැනීමට අසමත් වීමෙන් තරග පරාජය වන බව අවස්ථා ගණනාවකින් සටහන් කළේය. මෙම තරගාවලියේ ද සටහන් කරන්නට ඇත්තේ එයමය. තේරීම් කමිටුව සඳකැන් ‘තුරුප්පුව’ ලෙස හැදින්වුවද තුරුම්පුව ප‍්‍රයෝජනයට නොගෙන තරග පරාජයට පත්වීම එයට උදාහරණයකි. දෙවැනි තරගයට පෙර දින පසුගිය සෙනසුරාදා ලසිත් මාලිංග සහ කුසල් මෙන්ඩිස් උණ රෝගය වැළදිමෙන් ක‍්‍රීඩා කිරීම අවිනිශ්චිත බවට ක‍්‍රිකට් ආයතනය නිවේදනය කළේය. කෙසේ වෙතත් එම දෙපළම පෙරවරුවේ කණ්ඩායමට ඇතුළත් වූහ. 

සිම්බාබ්වේ පිලට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලු 6 ක පරාජයක් ලැබීමත් සමඟ ක‍්‍රිකට් ලෝලීහූ දැඩි ඉච්චා භංගත්වයකට පත්වූහ. එහිදී සිම්බාබ්වේ පිතිකරුවෝ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 317 ක ඉලක්කයක් සම්පූර්ණ කළහ. එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත් වූ බව අමුතුවෙන් කිවයුතු නැත. 

කඩුලු රකින ක‍්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ ලසිත් මාලිංග තිදෙනා වෙතින් ගිලිහී ගිය උඩපන්දු තුනද සිම්බාබ්වේ පිලට මෙම ඉලක්කයට යෑමට වෙස්වලාගත් ආශීර්වාදයක් බවට පත්විය. දෙවැනි තරගයේ ලසිත් මාලිංග යැවූ ඉනිමේ පළමු  ඕවරයේ තෙවැනි පන්දුවට හැමිල්ටන් මසකඩ්ෂා ලකුණු නොලබා සිටියදී ලබාදුන් පහසු උඩ පන්දුව කුසල් මෙන්ඩිස් දෙවැනි ස්ලිප්හි සිට බිම දැම්මේය. මසකඞ්ෂා ඉන් පසුව ලකුණු 41ක් රුස් කළේය. 

ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් පන්දු රැකීමේ හිල් වසා නොගතහොත් ඉදිරියට එන තරගාවලිවලදී ද අමාරුවේ වැටීමට ඉඩ තිබේ. ශ්‍රී ලංකා පිල මෑතකදී සිම්බාබ්වේ පිල සමඟ ක‍්‍රීඩා කර නොතිබීමෙන් ඔවුන්ගේ පිතිකරුවන් පිළිබඳ නිසි අවබෝධයක් නැති බව පෙනෙන්නට තිබේ.

 යොහාන් භාසුර, සූරියවැව සිට...

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00