2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා

පන්දු යවන්නත් මැතිව්ස් සූදානමින්

 2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 99

 

දකුණු අප‍්‍රිකානු සංචාරයේදී තමන් පන්දු යැවීමේ සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් විදේශ මාධ්‍ය වෙත පවසා තිබුණි. ඇන්ජලෝ විවිධ ආබාධ හේතුවෙන් පසුගිය වසර දෙකක පමණ කාලයක් පන්දු යැවීම අඩුකර තිබූ අතර අවසන් මාස කීපයේ තරගවලදී මැතිව්ස් පන්දු යැවීමෙන් ඉවත්ව සිටියේය. මැතිව්ස් පාදයේ ආබාධයක් හේතුවෙන් පසුගිය සිම්බාබ්වේ සංචාරයෙන්ද ඉවත්ව සිටි අතර ආබාධය සම්පූර්ණයෙන්ම සුව වන තෙක් මැතිව්ස් පන්දු යැවීමෙන් ඉවත්ව සිටීම වඩාත් සුදුසු විය හැකිය. මැතිව්ස් පන්දු යැවීමට ගොස් නැවතත් ආබාධයකට ලක්වුහොත් පිතිකරුවකු ලෙස කණ්ඩායමට ලැබෙන සේවය ද අහිමිවී යෑමේ අවදානමක් තිබේ.

ශ්‍රී ලංකා පිල පොචෙස්ට්‍රොම්හිදී අද (18) ආරම්භ වන තුන්දින පුහුණු තරගයත් සමඟ දකුණු අප‍්‍රිකානු සංචාරය ආරම්භ කිරීමට සූදානමින් සිටියේය. මෙම පුහුණු තරගය ශ්‍රී ලංකා පිලට ඉතාමත් වැදගත් තරගයක් බවට පත්ව තිබේ. මෙම තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලෙන් වැඩි සංඛ්‍යාවක් දකුණු අප‍්‍රිකාවට ආගන්තුකයන් වීම ඊට ප‍්‍රධාන හේතුවය.

මෙම තරගාවලිය ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් වන සුරංග ලක්මාල්, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, නුවන් ප‍්‍රදීප් සහ විකුම් සංජය යන පස් දෙනාට වඩාත් වැදගත් වී තිබේ. මෙම තරගාවලියේදී වේගපන්දු යවන්නන්ට වැඩි කාර්යභාරයක් පැවරෙනවාට සැක නැත. දුෂ්මන්ත චමීර ආබාධය සුවවීමෙන් පසුව සහභාගි වන පළමු තරගාවලිය වීම නිසා ඔහු පරිස්සමට පාවිච්චි කිරීමේ වගකීම නායකයා සතුවේ. විකුම් සංජය නවක වේගපන්දු යවන්නකු වීම නිසා ඔහුට කණ්ඩායමේ ස්ථානය ලැබීම පිළිබඳව අදහස් ප‍්‍රකාශ කිරීමට තවම කාලය වැඩි බව පෙනේ. 

දකුණු අප‍්‍රිකානු තණතීරුවල වේගපන්දු යවන්නන්ට වේගය මෙන්ම දෝලනය ද ඉතාමත් වැදගත් සාධකයක් බවට පත්ව තිබේ. ඇන්ජලෝ මැතිව්ස් පන්දු දෝලනය කරමින් කඩුලු ලබා ගැනීමට වඩාත් ප‍්‍රසිද්ධයක් ඉසිලීම හේතුවෙන් ඔහුට සාර්ථකවීමට ඇති හැකියාව වැඩිය.

සිම්බාබ්වේ සංචාරයේදී දස්කම් දැක්වූ අසේල ගුණරත්න සහ නිරෝෂන් දික්වැල්ල සංචිතයෙන් ඉවත් කිරීමට සිදුවීම පිළිබඳව තමන්ට කනගාටු වන බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පසුගිය සතියේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. තේරීම් කමිටුව උනන්දුවක් දැක්වූයේ නම් අසේල ගුණරත්න සංචිතයට ඇතුළත් කිරීමේ අවස්ථාව තිබුණි. උපුල් තරංගගේ ස්ථානයට පහසුවෙන්ම අසේල ගුණරත්න ආදේශ කළ හැකිය. 

උපුල් තරංග තෙවැනි ආරම්භක පිතිකරු ලෙස යොදාගෙන ඇති බව පැවසුවද කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් ද අවශ්‍යතාව අනුව ආරම්භක පිතිකරු ස්ථානයට ආදේශ කළ හැකිය. ශ්‍රී ලංකාව මෙම සංචිතයෙන් තරගාවලියට සහභාගි විය යුතු අතර අපට ඒ දෙස බලා සිටීම පමණක් කළ හැකිය.    

♦ සටහන: යොහාන් භාසුර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00