2017 ජුලි 29 වන සෙනසුරාදා

රිදී පදක්කම් දෙකකින් ලංකාව ඉස්සූ කයිල්

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 136

බහමාස්හිදී පසුගිය සඳුදා නිමාවූ හයවැනි පොදුරාජ්‍ය මණ්ඩල යොවුන් ක‍්‍රීඩා උළෙලේදී පිහිනුම් ක‍්‍රීඩක කයිල් අබේසිංහ දිනාගත් රිදී පදක්කම් දෙක නොවන්නට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට මෙම ක‍්‍රීඩා උළෙල ද තවත් විනෝද චාරිකාවක් වනවාට සැක නැත. මෙම ක‍්‍රීඩා උළෙලට මලල ක‍්‍රීඩා, බොක්සිං, රග්බි, ජූඩෝ, පිහිනුම් සහ ටෙනිස් යන ක‍්‍රීඩා නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 30 කට ආසන්න සංඛ්‍යාවක් සමගින් 40 ක පමණ පිරිසක් සහභාගි වී සිටියහ.

සුපුරුදු පරිදි මෙම ක‍්‍රීඩා උළෙලට ද කාර්ය භාරයක් නොමැති නිලධාරීන් ද සහභාගි වී සිටි බව වාර්තා වේ. කයිල් අබේසිංහ පමණක් ඒ අතරින් පදක්කම් දෙකක් දිනා ගනිමින් රටට විශාල කීර්තියක් අත්කර දුන්නේය. සෙසු ක‍්‍රීඩික ක‍්‍රීඩිකාවෝ සහභාගිත්වයෙන් පමණක් සෑහීමට පත්වූහ. කයිල් පසුගිය සාග් ක‍්‍රීඩා උළෙලේදී ද රිදී සහ ලෝකඩ පදක්කම බැගින් හිමිකර ගැනීමට සමත් විය. කයිල් අබේසිංහ සාග් රන් පදක්කම්ලාභී පිහිනුම් ක‍්‍රීඩක මැතිව් අබේසිංහගේ බාල සොයුරා වේ. 

ඉන්දියාවේදී පසුගිය වසරේ පැවැති සාග් ක‍්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ සාර්ථකම සාග් ක‍්‍රීඩා උළෙල බවට පත්කිරීමේ දැවැන්තම කොටස්කරුවට බවට පත්වූ මැතිව් අබේසිංහ එහිදී රන් පදක්කම් 7 ක් දිනා ගැනීමට සමත් විය. එහිදී මැතිව් රන් පදක්කම් 7 ක් දිනා ගැනීමත් සමඟ වසර 24 ක් පැරුණි ජුලියන් බෝලින්ගේ වැඩිම රන් පදක්කම් වාර්තාව බිඳ වැටිණි.

පිහිනුම් ක‍්‍රීඩාවට උපන් හපන් පවුලක් වන ඇන්ඩෘ, මැතිව්, ඩිලන් සහ කයිල් යන සොහොයුරන් සිවුදෙනාම පිහිනුම් ශූරයෝ වෙති. දකුණු ආසියානු පදක්කම්ලාභි හිටපු ශ්‍රී ලංකා පිහිනුම් ශූර ඇන්ඩෘ අබේසිංහ, මැතිව්ගේ වැඩිමහල් සොයුරා වේ. ඔවුන් සිවුදෙනාගේ පුහුණුකරු ලෙස ඔවුන්ගේ පියා මනෝජ් අබේසිංහ මහතා කටයුතු කිරීමට වඩාත් කැපී පෙනෙන සිද්ධියකි. කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයකු වන මැතිව්ගේ පියා මනෝජ් අබේසිංහ මහතා එදා සිට අද දක්වා ඔහුගේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා ක‍්‍රීඩා බලධාරීන් පිහිනුම් ක‍්‍රීඩාවට ලබාදෙන පහසුකම් වැඩි කළහොත් පිහිනුම් ක‍්‍රීඩාව මීට වඩා පෙරට ගතහැකි බව මෙහිදී කිව යුතුය. පොදුරද මඩුලු යොවුන් පිහිනුම් තරගාවලියේදී කයිල් මීටර 100 නිදහස් ආර සහ මීටර 50 නිදහස් ආර ඉසව්වලින් රිදී පදක්කම් දිනාගත් අතර ඒ පිළිබඳව අවධානය යොමු කර ඉසව්වක් හෝ දෙකක් තෝරාගෙන දිරිගැන්වීම කළ යුතුය.

මැතිව් අබේසිංහද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියේදී ක‍්‍රීඩා උළෙල කීපයකට සහභාගි වීමට නියමිත අතර ක‍්‍රීඩාවන් නොකරන සංගම්වලට ලක්‍ෂ ගණනින් මුදල් ලබාදීම නවතා පදක්කම් ඉලක්ක කර මුදල් වියදම් කිරීම වඩාත් සුදුසුය. 
බහමාස්හිදී පිහිනුම් ක‍්‍රීඩක අකලංක පීරිස් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට ද සමත් විය. එවැනි ක‍්‍රීඩකයන් කීප දෙනක්ම ශ්‍රී ලංකාව සතුව සිටිති. ක‍්‍රීඩා අමාත්‍යංශය කළ යුත්තේ අමාත්‍යංශයේ නිලධාරීන් බුරුතු පිටින් සංචාරවලට සහභාගි කරවීම නොව සිහිබුද්ධියෙන් ක‍්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීමය.

♦ යොහාන් භාසුර 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00