ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ රුපියල් ලක්‍ෂ 280 ක පමණ මුදල් අස්ථානගත වීමේ සිද්ධියට පසුගිය කාලයේ එහි උසස් තනතුරු දැරූ නිලධාරීන් කීපදෙනකුට ද චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ. මෙම චෝදනා එල්ල වී ඇති එක් නිලධාරියකු මීට පෙර සිටි ප‍්‍රබල නිලධාරියකුගේ මූල්‍ය වංචා පිළිබඳව ආසියානු සහ ලෝක පාපන්දු සංගම්වලට පැමිණිළි කළ පුද්ගලයකු බව දැනගන්නට තිබේ. එම පුද්ගලයාට මූල්‍ය චෝදනා එල්ල වීම දෛවයේ සරදමක් බව පාපන්දු ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ.
දූෂණ චෝදනා එල්ල වී සිටින පාපන්දු සම්මේලනයේ හිටපු මූල්‍ය කළමනාකරු පාපන්දු සම්මේලනයට පසුගියදා යොමුකර ඇතැයි කියන ලිපියකින් ආදාළ නිලධාරීන්ට ද චෝදනා එල්ල කර තිබූ බව වාර්තා වේ. මෙම ලිපියෙන් පාපන්දු සම්මේලනයේ පසුගිය පාලනයේ හිටපු ප‍්‍රධාන නිලධාරියකුට සහ මූල්‍ය කටයුතු සම්බන්ධ නිලධාරියකුට දූෂණ කටයුතුවලට අනුබල දුන් බවට චෝදනා එල්ල කර ඇති බව වාර්තා වේ.
මෙම ලිපියත් සමඟ පාපන්දු සම්මේලනය විධායක කමිටුව පසුගියදා හදිසියේ රුස්වී මූල්‍ය වංචාව සෙවීම සඳහා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ අනුමැතිය ලත් විගණන ආයතනයකට එහි මූල්‍ය වාර්තා විගණනය සඳහා බාරදීමට තීරණය කර තිබුණි. බොහෝ දෙනකු චෝදනා කරන්නේ මෙවැනි විශාල මූල්‍ය වංචාවක් පාපන්දු සම්මේලනයේ නිලධාරීන්ට සහ චෝදනා ලැබූ නිලධාරීයා සමතයකට පත්කිරීමට කරන උත්සාහය තුළ රහසක් තිබිය හැකි බවයි.
වර්තමාන නිලධාරී මණ්ඩලයේ ඇතැමුන් ද මෙම මුදල් වංචාවට සම්බන්ධව ඇති බවට ඇතැම්හු සැක කරති.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ආසියානු පාපන්දු සංගමය වාර්ෂිකව ලබාදෙන මුදල් මේ වනවිට අත්හිටුවා තිබීමෙන් එම සංගමය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටියි. මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සමස්ත පාපන්දු ක‍්‍රීඩාවම අක‍්‍රීව පවතින අතර සංචිත පවත්වාගෙන යෑම ද ගැටලුවක් බවට පත්ව තිබේ.
I වරකාගොඩ ගමගේ