2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

තිරිමාන්නට උසස්වීමක්!

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 168

පාකිස්තානයට එරෙහිව ලබන බ‍්‍රහස්පත්නිදා අබුඩාබිහිදී ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ උප නායකයා ලෙස ළහිරු තිරිමාන්න පත්කිරීම විශ්මය දනවන තත්ත්වයක් බවට පත්ව තිබේ. වසරකට වැඩි කාලයක් කිසිදු සංචිතයක ස්ථානයක් නොතිබුණු තිරිමාන්නට උප නායකත්වය පැවරීමට ඔහු පෙන්වූ විශේෂ වික‍්‍රම තේරීම් කමිටුව පැහැදිලි කළ යුතුව තිබේ. 

ශ්‍රී ලංකා පිලේ මෑතක නිමවූ ටෙස්ට් තරගාවලිය වන ඉන්දීය තරගාවලිය දැඩිව අසාර්ථක වෙද්දී පිටුපස දොරින් තිරිමාන්න සංචිතයට ගෙන ඒමට ක‍්‍රිකට් බලධාරීහු කටයුතු කළහ. එයින් ප‍්‍රයෝජන ගත් නිලධාරීන් නව තේරීම් කමිටුවටද බෝලය බස්සවා තිරිමාන්න උප නායකත්වයේ වාඩිකර තිබේ. හිටපු තේරීම් කමිටුවෙන් කර ගැනීමට නොහැකි වූ වැඩේ ග‍්‍රැහැම් ලැබ්රෝයිගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ඉටුකර තිබේ.

කුම්බලා මාළු කෑවම විඳවන්නට වන බව නව තේරීම් කමිටුවට ද අමතක වී ඇති හැඩක් පෙනී යයි. ශ්‍රී ලංකා පිලේ දෙවැනි ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයා වන හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටීම නිසා මෙම තරගාවලිය අහිමිවීම දැඩි පාඩුවක් බවට පත්ව තිබේ. 

ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා නැවතත් සංචිතයට පැමිණ සිටීම පිතිකරු ලැස්තුවට ශක්තියකි. රොෂේන් සිල්වා මීට පෙරද ටෙස්ට් සංචිතයට ඇතුළත් වුවද ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව නොලැබුණු අතර මෙවර රොෂේන්ට ටෙස්ට් වරම් හිමිවීමට වැඩි ඉඩකඩ තිබේ. 

කෝඩුකාර සදීර සමරවික‍්‍රම ද මෙම සංචිතයට ඇතුළත්ව සිටින අතර එය අනාගත ආයෝජනයක් විය හැකිය. සදීර පසුගිය කාලයේ පළමු පෙළ තරගාවලියේ සහ අන්තර් පළාත් තරගාවලියේ ලකුණු අතර නිරන්තරයෙන් සිටි පිතිකරුවෙකි. ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ වමතින් දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාර අතිරේක ලැයිස්තුවටද ඇතුළත් නොවීම කැපී පෙනෙන සිද්ධියකි. මෙවැනි තීරණවලින් නව තේරිම් කමිටුව ද පරණ සෙල්ලමට මුලපුරා ඇතැයි ද සැකයක් මතුවෙයි. 

ඉන්දීය සංචාරයේ දැඩි පසුබෑමෙන් පසුව සහභාගි වන පළමු තරගාවලිය මෙය වීම නිසා මෙම තරගාවලිය කෙරෙහි බොහෝ දෙනකු අවධානය යොමුකර සිටිනවාට සැක නැත. තවද ශ්‍රී ලංකා පිලට නැවත නැගිටීමට මෙම තරගාවලිය හොඳ අවස්ථාවකි.

ශ්‍රී ලංකා ටෙස්ට් පිල අද (24) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබුණි. 

ටෙස්ට් සංචිතය:

දිනේෂ් චන්දිමාල් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික‍්‍රම, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ලක්‍ෂාන් සඳකැන්, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප‍්‍රදීප්, විශ්ව ප‍්‍රනාන්දු සහ ළහිරු ගමගේ

අතිරේක ක‍්‍රීඩකයෝ:
ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, ළහිරු කුමාර සහ දසුන් ශානක 

සටහන: ගමගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00