2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

ජාතික ක්‍රීඩා උළෙලේ ගෝරි ගොඩයි

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා පැවැති ජාතික ක‍්‍රීඩා උළෙල අතරින් මාතරදී පසුගිය ඉරිදා අවසන් වූ 43 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙල ගිනි ජාලාවක් වූ බව අමුතුවෙන් කිවයුතු නැත. ක‍්‍රීඩා උළෙලේ සමාරම්භක සහ සමාප්ති උළෙලවල ආචාර පෙළපාළිවල ඇතැම් පළාත් ක‍්‍රීඩා කණ්ඩායම් මෙන්ම නිලධාරී කණ්ඩායම් හිස්වීමෙන් එය රටටම ප‍්‍රදර්ශනය විය. 

මෙහි මීටර 100 කාන්තා ඉසව්වේදී රුමේෂිකා රත්නායක මූලික තරගවලට සහභාගි නොවී අවසන් මහ තරගයට සහභාගි වීම මේ වනවිට මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ දැඩි කථාබහට ලක්ව තිබේ. දකුණු ආසියානු රන් පදක්කම්ලාභිනී රුමේෂිකා එහිදී නවවැනි මංතීරුවේ තරග කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. රුමේෂිකා 2020 ටෝකියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ජපානයේ වසිඩා විශ්ව විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සහභාගි වෙමින් සිටින්නීය. 

ඇය ජාතික ක‍්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා ජපානයේ සිට පසුගිය සෙනසුරාදා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඇය ශ්‍රී ලංකාවට පැමිණෙන විට මීටර 100 ඉසව්වේ මූලික තරග අවසන් වී තිබුණි. මලල ක‍්‍රීඩා නීති රීතිවලට අනුව මූලික තරගවලට සහභාගි නොවූ ක‍්‍රීඩකයෙක් හෝ ක‍්‍රීඩිකාවක් අවසන් තරගයට සහභාගි කරවීම නීති විරෝධී වේ. රුමේෂිකා අවසන් මහ තරගයට සහභාගි කරවීම පිළිබඳව ඌව සහ මධ්‍යම පළාත් ක‍්‍රීඩා නිලධාරීහූ ඇතුළු පිරිසක් දැඩි විරෝධය පළ කළහ. ඒ හේතුවෙන් ක‍්‍රීඩා නිලධාරීහු සමාප්ති උත්සවය වර්ජනය කළහ. 

ක‍්‍රීඩා අමාත්‍යංශය පසුගිය සඳුදා නිවේදනයක් නිකුත්කරමින් පැවසුවේ ඇය තරගයට සහභාගි කරවන ලෙස සබරගමුව පළාත් ක‍්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ බවත් ඒ අනුව විශේෂ කමිටුවක අනුමැතිය මත ඇයට තරගයට සහභාගි වීමට අවස්ථාව ලබාදුන් බවයි. කමිටුව කුමක් වුවත් ක‍්‍රීඩාවේ නීති රීති උල්ලංඝණය කිරීමේ ඉතාමත් බරපතළ නරක තත්ත්වයක් බව මලල ක‍්‍රීඩා ප‍්‍රවීණයෝ පවසති. 

එම නිවේදනය වැඩිදුරටත් සඳහන් වන්නේ රුමේෂිකා ජාතික ක‍්‍රීඩා උළෙලේ පළමු දිනය වූ පසුගිය 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණද ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අතපසුවීමකින් පැමිණීම ප‍්‍රමාද වූ බවයි. ක‍්‍රීඩා අමාත්‍යවරයා වර්ජනය කළ නිලධාරීන්ට එරෙහිව පරීක්‍ෂණයක් පවත්වන්නේ නම් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එරෙහිවද පරීක්‍ෂණයක් කළ යුතුය. 

ක‍්‍රීඩා උළෙලේ ක‍්‍රීඩා පහන වෙනුවෙන් රුපියල් මිලියන දෙකකට අධික මුදලක් වැය කළද ප‍්‍රයෝජනයක් නොමැති වීමද ක‍්‍රීඩා නිලධාරීන්ගේ විරෝධතාවට හේතුවක් විය. ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද එහි අභ්‍යන්තර ගැටලුවක් මුල්කර ගනිමින් සමාප්ති උළෙලේ ආචාර පෙළපාළියට සහභාගි නොවූහ. මෙම ක‍්‍රීඩා උළෙල මාතර පැවැත්වීමට මූලිකව කටයුතු කළ දකුණු පළාත් හිටපු ක‍්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත්කිරීමට විරෝධය දක්වමින් දකුණු පළාත් කණ්ඩායම සමාරම්භක උළෙල වර්ජනය කළේය.
 

I වරකාගොඩ ගමගේ 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00