2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

එක දිනුමකින් ලොකු ගැම්මක් ගන්න පුළුවන් - දිනේෂ් චන්දිමාල්

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 158

අපිට ඕනෙ එක තරගයක් ජයග‍්‍රහණය කරන්නයි. ඒක කරන්න තමයි අපිට අමාරුවෙලා තියෙන්නේ. එහෙම වුණොත් ක‍්‍රීඩකයන් සියලුදෙනාම ජයග‍්‍රාහී මානසිකත්වයට එනවා. එතැන් සිට ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක දිනේෂ් චන්දිමාල්, පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලිය සඳහා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට පිටත්ව යෑමට පෙර ඔහුගේ හිසමත පැටවී ඇති බර එලෙස වචන බවට පරිවර්තනය කළේය.

එම ප‍්‍රකාශයෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකා පිලට එක ජයග‍්‍රහණයක් ලැබීමද මේ වනවිට සිහිනයක් බවට පත්ව ඇති බවකි. සිහිනය සැබෑකර ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන්ගේ තීරණ බාධාවක් වීමට ඉඩ ඇති බව චන්දිමාල් ඉඟි පළ කළේය.
ඒක අලුත් අත්දැකීමක්. අපි විදුලි ආලෝක මධ්‍යයේ පුහුණුවීම් කළා. ඒ වගේම අපි පසුගිය දේශීය තරගාවලියේදී රෝස පැහැති පන්දුවෙන් ක‍්‍රීඩා කළා. ලොකු අත්දැකීමක් නැති වුණත් අපි පසුගිය තරගාවලිය ක‍්‍රීඩා කළා. විදුලි ආලෝකය මධ්‍යයේ සහභාගි වන පළමු තරගය. මෙය ලොකු අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය බාරගන්න සූදානම් වෙලා ඉන්නවා.

ශ්‍රී ලංකා පිල දස්කම් සහ මානසික යන අංශ දෙකෙන්ම බිමට සමතලාව සිටින මෙවැනි අවස්ථාවක දිවා/රාත‍්‍රී ටෙස්ට් තරගාවලියට එකඟවීම කොතරම් සුදුසුද යන්න බොහෝ දෙනකුගේ කථාබහට ලක්ව තිබේ. එම තරගය විදුලි ආලෝක මධ්‍යයේ ‘රෝස’ පැහැති පන්දුවෙන් පැවැත්වෙන තරගයකි. ශ්‍රී ලංකා පිල වැටී ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර මෙවැනි තරගයකට සහභාගිවීම පමා කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට වගකීමක් තිබුණි. දිවා ටෙස්ට් තරගයක් දින පහ ක‍්‍රීඩා කිරීමට පසුගිය කාලය පුරාම අපොහොසත් වූ ශ්‍රී ලංකා පිල මෙම තරගයට මුහුණ දෙන ආකාරය දෙස බලා සිටීම පමණක් මේ වනවිට ඉතිරිව තිබේ. 

අබුඩාබිහිදී පසුගිය බ‍්‍රහස්පතින්දා (28 වැනිදා) පළමු ටෙස්ට් තරගය ආරම්භ විය. මෙම තරගාවලියට සහභාගි වන පාකිස්තානු පිලට ප‍්‍රබල පිතිකරුවන් වන මිස්බා උල් හක් සහ යුනිස් ඛාන් නොමැතිවීම වාසියක් බවට හරවාගත හැක්කේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ප‍්‍රමිතිය මතය. එම දෙපළ වෙනුවට නවකයන් වන හැරිස් සොහේල් සහ උස්මාන් සලාවුද්දීන් සූදානමින් සිටියහ. පාකිස්තානු පිතිකරු ලැයිස්තුවට අත්දැකීම් අතින් තරමක අඩුවක් තිබුණද පන්දු යැවීමේ අංශය වඩාත් ප‍්‍රබලවීම දැඩි අභියෝගයක් වනවාට සැක නැත. 

පළපුරුදු වේගපන්දු යවන්නන් වන මොහොමඩ් අමීර් සහ වහබ් රියාස් සමඟ නවක වමතින් වේගපන්දු යවන්නකු වන මීර් හම්සා ද එකතුව සිටියි. ප‍්‍රබල දකුණතින් පා දඟ පන්දු යවන්නා වන යසීර් ෂා මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට ප‍්‍රධාන සාධයක් විය හැකිය. යසීර් ටෙස්ට් තරග 26 කදී කඩුලු 149 ක් දවා ගැනීමෙන්ම ඔහුගේ තරම පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය. කෝඩුකාර වමත් දඟපන්දු යවන්නකු වන මොහොමඩ් අස්ගර් ද සංචිතයට ඇතුළත්ව සිටියි.    

ශ්‍රී ලංකා පිලේ අවසන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරයේදී පාකිස්තානු පිලේ නායක සෆ්රාස් අහමඩ් දැඩි අභියෝගයක් වූ බව අමුතුවෙන් කිවයුතු නැතුවා සේම සෆ්රාස් ශ්‍රී ලංකාවට බැට දෙන්නකු ලෙස ප‍්‍රසිද්ධියක් උසුලයි. මෙම තත්ත්වය හමුවේ මෙම තරගාවලිය සිහින සැබෑකරගන්නා තරගාවලියක් බවට පත්කර ගැනීම දැවැන්ත අභියෝගයකි. ඒ සඳහා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තුන් ඉරියව්වම උපරිමයෙන්ම සාර්ථක විය යුතුය. 

යොහාන් භාසුර