ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය රුපියල් මිලියන 250 ක් හෙවත් ලක්‍ෂ 2500 ක් වැය කරමින් රූපවාහිනී නාළිකාවක් ආරම්භ කිරීමට සූදානම් වනබව ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ. මෙම රූපවාහිනී නාළිකාවේ ප‍්‍රධානියා ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප තනතුරක් දරමින් විධායක කමිටුවේ කෙරුමකු බවට පත්ව සිටින නිලධාරියකුගේ බිරිඳගේ සහෝදරයා (මස්සිනා) පත්කිරීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර ඇති බව දැනගන්නට තිබේ. අදාළ පුද්ගලයා මීට පෙර ආණ්ඩුවේ ප‍්‍රබලයන් පිරිසක් පවත්වාගෙන ගිය ක‍්‍රීඩා නාළිකාවක ප‍්‍රධාන තනතුරක් දරා අධිකරණය හමුවේ නඩුවකටද පෙනී සිටි පුද්ගලයකු බව තතු දන්නෝ පවසති.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉදිරියේදී රූපවාහිනී සහ ගුවන් විදුලි නාළිකා දෙකක් ආරම්භ කර ශ්‍රී ලංකා පිල සහභාගි වන තරග විකාශනය කිරීමට සූදානම් වන බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අන්තර්ජාතික තරගවල විකාශන අයිතිය වෙනත් නාළිකාවට ලබාදීමෙන් ගලා යන මුදල් ඉතිරිකර ගැනීමට බලාපොරොත්තු වන බව ක‍්‍රිකට් ආයතනය පවසන බව වාර්තා වේ. කෙසේ වෙතත් ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයේ හැසිරීම අනුව එවැනි දෙයක් වන බවක් නම් පෙනෙන්නට නැත.
ක‍්‍රිකට් ආයතනය මීට මාස දෙකකට පමණ පෙර නාළිකා ප‍්‍රධානී යැයි තනතුරක් නිර්මාණය කර ප‍්‍රවීණ ක‍්‍රිකට් විස්තර විචාරයකු එම තනතුරට පත් කළේය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් වර්තමාන පාලකයන්ගේ හිතවතකු යැයි කියන අදාළ නිලධාරියාද එදින පටන් සුපිරි වැටුපක් ලබන බව අමුතුවෙන් කිවයුතු නැත. එම පත්කිරීම සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පත්කිරීමේ පටිපාටිය අනුමනය කළේද යන්න පත්කළ පිරිස පමණක් දැනුවත්ව ඇත. එම පත්කිරීම කරන මොහොත වනවිට හෝ මේ දක්වා නාළිකාවක් ආරම්භ කිරීමට අවශ්‍ය කිසිදු උපකරණයක් හෝ ක‍්‍රිකට් ආයතනය සතුව නොමැති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප තනතුර දරණ නිලධාරියාගේ මස්සිනාගේ ප‍්‍රධානත්වයෙන් රූපවාහිනී නාළිකාවේ පරීක්‍ෂණ විකාශයක් පසුගියදා එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ වයස 15න් පහළ පළාත් අවසන් මහා තරගයේදී සූදානම් කර තිබූ බව වාර්තා වේ. වර්ෂාව හේතුවෙන් එම තරගය කල්දැමීමට සිදුවිය. එම පරීක්‍ෂණ විකාශය සඳහා විශාල මුදලක් වැයකර තිබුණද වර්ෂාවෙන් ක‍්‍රීඩාංගණය ආරක්‍ෂා කර ගැනීමට කවර යොදා නොතිබුණු බව තතු දන්නෝ පවසති.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මේ වනවිට විශාල මුදලක් වැය කරමින් අන්තර්ජාතික තරගවලදී ‘වෙබ් රේඩියෝ’ යැයි පවසමින් ගුවන් විදුලි විකාශයක් පවත්වාගෙන යයි. කෙසේ වෙතත් එම විකාශයද ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට සතු නොවන බවත් එය ක‍්‍රිකට් ආයතනයේ තොරතුරු තාක්‍ෂණ අංශයේ සේවය කරන පුද්ගලයකුට අයිති බවත් වාර්තා වේ. එම විකාශ තුළ ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන ගුවන් විදුලි නාළිකාවල සේවය කරමින් සිටියදී දූෂණ චෝදනාවලට ලක්ව ඉවත් කළ පුද්ගලයන් කීපදෙනකු කටයුතු කරන අතර ඔවුන්ට ඒ වෙනුවෙන් විශාල මුදලක් ගෙවන බව ද වාර්තා වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට මුදල් ඉතිරිකර ගැනීමට රූපවාහිනී නාළිකා ආරම්භ කිරීමේ අවශ්‍යතාවක් නොමැත. පරමාර්ථය මුදල් ඉතිරි කිරීම නම් පළමුවෙන් කළ යුත්තේ “අපේ ලොක්කට විරුද්ධව ලිව්වොත් අපි ගහනවා” යැයි වෙරි මතින් මාධ්‍යවේදීන්ට ක‍්‍රීඩාංගණ තුළදී තර්ජනය කරන දූෂිතයන්ට ගෙවන දීමනා නතර කිරීමය. එවැනි පියවරක් ගතහොත් මාසිකව අවම වශයෙන් රුපියල් ලක්‍ෂ 20 කට අධික මුදලක් ඉතිරි කරගත හැකිවනවාට සැක නැත.
♦ විශේෂ ලියුම්කරුවකු විසිනි