2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

ආසියානු යොවුන් කුසලාන ලංකාවට අහිමි වුණේ “තකතීරු” වැඩකින්!

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 108

මැලේසියාවේදී පැවැති ආසියානු කුසලාන යොවුන් ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නිලධාරියකුගේ අනවබෝධය සහ නොසැළකිලිමත්කම හේතුවෙන් ශ්‍රී ලංකාවට ශූරතාව දිනාගැනීමේ අවස්ථාව අහිමිවූ බවට චෝදනා එල්ල වී තිබේ. ඕනෑම පුද්ගලයකුගෙන් අතපසුවීමක් හෝ වැරැද්දක් විය හැකි අතර එය සාමාන්‍ය තත්ත්වයකි. එය එසේ යැයි මෙවැනි විශාල වැරැද්දක් අතහැර දැමිය නොහැක.

මෙහිදී එක නිලධාරියකුට පමණක් වරද පැටවීම කළ නොහැක. මෙවැනි දෙයකට වගකීමෙන් බැදී සිටින නිලධාරීන් කීපදෙනකු කණ්ඩායමේ සිටින අතර ඒ සියලූම දෙනාට මෙම චෝදනාව අදාළය.

ශ්‍රී ලංකාවේ සිටින ක‍්‍රීඩාලෝලීන් පවා තරගාවලියේ ප‍්‍රසාද ලකුණු පුවරුව පිළිබඳව අවබෝධයෙන් සිටියදී ශ්‍රී ලංකාවේ නමක් දිනා සිටින අත්දැකීම් සපිරි නිලධාරියකු වෙතින් මෙවැනි අතපසුවීමක් වීම වඩාත් බරපතළ සිද්ධියකි.

ශ්‍රී ලංකා පිල පළමු තරග දෙක ජය ලැබීමෙන් පසුව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ඇති බවට උපකල්පනය කරමින් පාකිස්තානයට එරෙහිව පැවැති පළමු වටයේ අවසන් තරගයේදී ප‍්‍රබල ක‍්‍රීඩකයන් විවේක ගන්වා කණ්ඩායම දුර්වල කළ බවට චෝදනා එල්ල වී තිබේ.

මෙම තීරණයට එළඹි නිලධාරියා මෙම තරගාවලියට සංචිතය තේරීමේ සිට අත්තනෝමතිකව ක‍්‍රියා කළ බවට චෝදනා එල්ල වී තිබුණි. අදාළ නිලධාරියා ඔහුගේ පාසලට සම්බන්ධ යැයි කියන කැපී පෙනෙන දස්කම් නොදැක්වූ ක‍්‍රීඩකයකු සංචිතයට රිංගවීමට උත්සාහ කළ බව ද පැවසේ. අදාළ නිලධාරියා තේරීම් කමිටුව පවා අභිබවා කටයුතු කරන බවත් කණ්ඩායම දුර්වල කිරීමට ගත් තීරණය පිළිබඳව දැන ගැනීමට එම නිලධාරියා සම්බන්ධකර ගැනීමට ක‍්‍රිකට් නිලධාරීන්ට පවා දින කීපයක් ගතවූ බවත් වාර්තා වේ. 

ශ්‍රී ලංකා යොවුන් පිල ලබන පෙබරවාරි මස නවසීලන්තයේදී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට නියමිතය. මෙම නිලධාරීන් එම තරගාවලියේදී ද මෙවැනි ඔලමොට්ටල වැඩ කළහොත් එහිදී ද හිස් අතින් නැවත පැමිණීම වැළැක්විය නොහැක. ආසියානු කුසලාන තරගාවලියේදී අදාළ නිලධාරියාගේ ක‍්‍රියාව හේතුවෙන් ශ්‍රී ලංකා පිලට පළමු වටයෙන් ඉවත්වීමට සිදු වූ බව සිහි තබා ගැනීම අවශ්‍යය.

ඇෆ්ගනිස්තානය පළමු වටයේ අවසන් තරගයේදී එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිල පරාජය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය තරග දෙක බැගින් ජය ලබා සිටීම නිසා ශුද්ධ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකාවට ඉවතට විසිවිය.

ශ්‍රී ලංකා යොවුන් පිලේ අත්දැකීම් ඇති ක‍්‍රීඩකයන් වන කඩුලු රකින ක‍්‍රීඩක ක‍්‍රිෂාන් සංජුල සහ තිසරු ඩිල්ෂාන්, පාකිස්තානයට එරෙහිව තරගයේදී විවේක ගන්වා තිබේ. වමතින් වේගපන්දු යවන කලන පෙරේරා එම තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිතව සිටිය ද අවසන් පූර්ව තරගයට ක‍්‍රීඩා කිරීමට යැයි පවසමින් ඔහු විවේක ගන්වා තිබිණි. 

සටහන: යොහාන් භාසුර