2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

ඉන්දීය තරගාවලියේදී ශ්‍රී ලංකාවට අපරාජිත ආරම්භයක්

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 108

ශ්‍රී ලංකා ටෙස්ට් පිල ඉන්දියාවට එරෙහිව තරග ත‍්‍රිත්වයකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු කඩඉම පසුගිය සඳුදා පැනගත්තේය. කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න් ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය විසඳුමකින් තොරව අවසන් කරගත හැකිවීම ඊට හේතුව විය.

වර්තමාන ඉන්දීය පිලට හමුවේ ටෙස්ට් තරගයක් ඉන්දියාවේදී විසඳුමකින් තොරව අවසන් කිරීම ද ජයග‍්‍රහණයකි. විරාට් කෝලි ප‍්‍රමුඛ ඉන්දීය පිලට නම් මෙම ප‍්‍රතිඵලය වේදනාවක් වූවාට සැක නැත. මෙම තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් කිරීම ශ්‍රී ලංකාවට ප‍්‍රමාණවත්ය. කෙසේ වෙතත් චන්දිමාල් සටනට බැස්සේ ඉතිහාසගත ජයක් ලැබීමේ අරමුණ සිතේ තබාගෙනය. විරාට් කෝලි දෙවැනි ඉනිමේදී රුස්කළ වාර්තාගත ශතකය නොවෙන්නට චන්දිමාල්ගේ බලාපොරොත්තුව මල්ඵල ගැන්වීමට බොහෝ දුරට ඉඩ තිබුණි.

පස්වැනි දිනයේ අවසන්  ඕවර 47 තුළදී ශ්‍රී ලංකා පිලට ජයග‍්‍රහණය සඳහා ලකුණු 231 ක ජයග‍්‍රාහි ඉලක්කයක් බාර වු අතර අයහපත් ආලෝක තත්ත්වය මත තරගය අවසන් කරන විට ශ්‍රී ලංකා පිල  ඕවර 26.3 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 75 ක් පමණක් රැස්කර අසීරු අඩියක සිටියේය. ඉන්දීය පිල නොසිතූ ලෙස තරගයේ සිවුවැනි දිනය දක්වා ශ්‍රී ලංකා පිල වාසිය රඳවා ගැනීම කැපී පෙනේ. මෙය ශ්‍රී ලංකා පිලට කාලයකට පසුව වේගපන්දු යවන්නන් එකතුව වාසියක් ගෙන දුන් තරගයක් විය.

ප‍්‍රබල ඉන්දීය පිල පළමු ඉනිමේදී ලකුණු 172 කට සීමා කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එහිදී සුරංග ලක්මාල් කඩුලු හතරක්, ළහිරු ගමගේ සහ දසුන් ශානක කඩුලු දෙක බැගින් දවා ගනිමින් කඩුලු අටක් වේග පන්දු යවනන්ගේ නම ඉදිරියේ සටහන් වෙද්දී ඩිල්රුවන් පෙරේරා ඉතිරි කඩුලු දෙක දවා ගනිමින් සිය වාර්තාවට සෙමින් සෙමින් ළං වෙමින් සිටියේය.

මෙම තරගය අවසන් වන විට ඩිල්රුවන් පෙරේරා තරග 23 කදී කඩුලු 96 ක් දවාගෙන සිටි අතර නාග්පූර් ටෙස්ට් තරගයේදී කඩුලු 4 ක් දවා ගැනීමට හැකිවුහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ටෙස්ට් කඩුලු 100 ක් දවාගත් ක‍්‍රීඩකයා වීමේ අවස්ථාව ඩිල්රුවන්ට හිමිවේ. මුත්තයියා මුරලිදරන් තරග 27 කදී කඩුලු 100 සම්පූර්ණ කරමින් එම වාර්තාවට හිමිකම් කියයි. 

මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ප‍්‍රධාන චරිතයට පණ පොවන රංගන හේරත්ට මෙම තරගයේදී ඉනිම දෙකේදීම කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වීම ද විශේෂ සිද්ධියකි. 

රංගන මෙම තරගයේ ඉනිම දෙකේදීම  ඕවර අටක් පමණක් යැවූ අතර ඒ අනුව ඔහුගේ නම ඉදිරියෙන් 2008 වසරෙන් පසුව එනම් වසර 10 කට ආසන්න කාලයකට පසුව ඉනිම දෙකේදීම පන්දු යවා කඩුල්ලක් දවා නොගත් තරගයක් සටහන් විය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ කඩුලු 17 ක් බිඳ වැටුණ ද ලෝක ටෙස්ට් පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින දඟ පන්දු යවන්නන් වන රවීන්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අෂ්වින් හිස් අතින් යෑම කැපී පෙනුණි. 

රංගන කඩුලු දවා නොගත්ත ද පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 122 ක වාසියේ ප‍්‍රධාන කොටස්කරු බවට පත්විය. රංගන රැස්කළ ලකුණු 67 නොතිබුණේ නම් ඉන්දීයාව සිවුවැනි දිනය ආරම්භයේදීම වාසිය අත්කර ගැනීමේ අවස්ථාව හිමිවේ. විරාට් කෝලි දෙවැනි ඉනිමේදී නොදැවී රැස්කළ ලකුණු 104 තරගයේ හැරවුම් ලක්‍ෂය බවට පත්විය. මෙය කෝලිගේ 18 වැනි ටෙස්ට් ශතකය මෙන්ම 50 වැනි අන්තර්ජාතික ශතකය ද විය.

වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ  ඕවර 147 ක් අපතේ යෑම දෙපිලටම අවාසියකි. නමුත් මෙය නිකම්ම නිකන් විසඳුමකින් තොරව අවසන් වූ තරගයක් නොවූ අතර ඇතැම් සිද්ධීන් තරුණ ක‍්‍රීඩකයන්ට අත්දැකීම් ලබා ගැනීමට මහගු අවස්ථාවක් බවට පරිවර්තනය විය. ඩිල්රැවන් පෙරේරා විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථාව ලබා ගැනීමේ සිද්ධිය මෙන්ම නිරෝෂන් දික්වැල්ල සහ මොහොමඩ් ශමී අතර ඇතිවූ බහින්බස්වීම කැපී පෙනුණි.

ඩිල්රුවන්ට විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථාව ලබා ගැනීමට ක‍්‍රීඩාගාරයෙන් උපදෙස් ලැබුණු බවට විස්තර විචාරකයන් ප‍්‍රකාශ කිරීමත් සමඟ එම සිද්ධිය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරන තත්ත්වයට පත්විය. අත්දැකීම් සපිරි ක‍්‍රීඩකයෙක් ලෙස රංගන හේරත් එම සිද්ධියට මැදිහත් වූ ආකාරය ප‍්‍රසංසනීයය. අනෙක් පස පිතිකරු වූ රංගන තරගයෙන් පසුව පැවසුවේ එහිදී ඩිල්රුවන්ට කී‍්‍රඩාගාරයෙන් කිසිම සංඥාවක් නොලැබුණ බවයි.

“විමසීමේ අවස්ථා තියෙනවාද කියා මා නයිජල් ලොන්ග් මහතාගෙන් ඇහැව්වා. මා හිතන්නේ ඩිල්රුවන්ටත් ඒක ඇහෙන්න ඇති. ඒක නිසා එයා අවස්ථාව ගත්තේ” යැයි රංගන වැඩිදුරටත් පැවසීය.

නිරෝෂන් දික්වැල්ල විවිධ ක‍්‍රම මගින් කාලය යවා ගැනීමේ සටනක යෙදී සිටි අතර ඒ පිළිබඳව ඉන්දීය පිලට ද වැටහී තිබුණි. ඒ අතර වාරයේ ‘අඬන්න ඉන්න කෙනාට ඇගිල්ලෙන් අනින්නාක්’ මෙන් පන්දු යැවූ මොහොමඩ් ශමීගේ ප‍්‍රකාශයක දික්වැල්ල එල්ලෙමින් ප‍්‍රයෝජනය ලබාගත්තේය. 

මෙහිදී විනිසුරුවන් මැදිහත් එය සමතයකට පත්කළ අතර මේ පිළිබඳව හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවා ප‍්‍රශංසනාත්මකව අදහස් පළකර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා පළකර තිබුණි. දෙවැනි ටෙස්ට් තරගය පසුගිය සිකුරාදා නාග්පූර්හිදී ආරම්භ විමට නියමිතව තිබු අතර මෙහිදී ඉන්දියාව වේගපන්දු යවන්නන්ට වේගපන්දු යවන්නන්ට හිතකර තණතීරුවක් ලබාදීම කෙරෙහි දෙවරක් සිතනවාට සැක නැත.
  
සටහන: වරකාගොඩ ගමගේ